Opinion

භූමිය රඳවා ගැනීම එය ජයගැනීමට වඩා වැදගත්ය

Summary

යම් දේශපාලන ව්‍යාපාරයක සාරය පවතින්නේ එකී ව්‍යාපාරයේ මධ්‍යගත තීන්දු ගන්නා ස්ථානයෙන් හිතා මතා සිදු කරන දේ, ප්‍රකට කරන අදහස් වල පමණක් නොව, ඒ වටා ගොඩනැගෙන ජන බලවේගය විසින් සිදු කරන සම්පූර්ණ ක්‍රියාදාමය තුලමය.

වඩමාරච්චි මෙහෙයුම යම් දීර්ඝ කාලයක්  ගත වන අයුරින් සැලසුම් කරන්නේ ඇයිද යන්න ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතියන්ගෙන්  ඇසූ කල ඔහු ඊට ලබා දුන්නේ අපූරු පිළිතුරකි. භූමිය අල්ලා ගැනීම දින කිහිපයකින් වුව කල හැකි වුවද,  වඩා වැදගත් රාජකාරිය  වන භූමිය රඳවා ගැනීම එසේ කල නොහැකි බවත්, එම ධාරිතාවය ලබා ගැනීම සඳහා යම් දීර්ඝ කාලයක් ගත වන බවත් ඒ සඳහා යුධ මෙහෙයුම යම් කාලයක් ගත වන සේ සැලසුම් කල යුතු බවත් ඔහුගේ පිළිතුර විය. සුද්දන්ගේ  ආයුධ බලය කොතරම් වුවද මානව සහ ස්වභාවික පරිසරයේ  සහයෝගය උඩරට වෙත  තිබෙන තාක් කල් ඔවුනට උඩරට රාජ්‍යය  බිඳ වැට්ටවීම කල හැක්කක් නොවීය. මෙම ඉංග්‍රීසීන්ටම උතුරු බුරුම රාජධානීය යටත් කරගැනීමට සියවසක් ගත විය.

මහින්ද රාජපක්ෂ මහතාද සටන්කාමි සෙන්පතියෙකි.  යුධ ජයග්‍රහණයේ ආස්වාදය මගින් ඔහුගේම අතීත සටන්කාමි ජවනිකා මේ වන විට  අපේ මතකයෙන් ගිලිහි තිබෙයි. අසූව දශකයේ පාද යාත්‍රා , මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා යාම වැනි ක්‍රියාන්විතයන්  මහින්ද රාජපක්ෂ තම සන්නාමයට සරිකොට ගත් මෙහෙයුම් වෙයි. මහින්ද රාජපක්ෂ යනු විපක්ෂයේ සිටියදී එක මිනිත්තුවක් අපතේ හරින පුද්ගලයකු නොවේ. 2015 ජනේලයේ එල්ලුණු දිනට පසු දින ඔහුගේ මීළඟ ක්‍රියාන්විතය ආරම්භ විය. එය විශ්වාස කල නොහැකි අන්දමින් ශක්තිමත් වුනු අතර යහපාලන ආණ්ඩුව  පළමු වරද කරන මොහොත වන විට සංවිධිත , ශක්තිමත් යාන්ත්‍රණයක් බවට පත් වී තිබිණ. බලය ලබා ගැනීමෙහි ලා මහින්ද රාජපක්ෂ යනු අති දක්ෂයකු බව අමුතුවෙන් කිව යුතු නැත.

අප නැවතත් කොබ්බෑකඩුවගේ  වදන් වලට ගියහොත්  , වඩා වැදගත් වන්නේ බලය ලබාගැනීම නොව එය රඳවා ගැනීමයි. 2019 සහ 2020 මැතිවරණ වලින් ආණ්ඩුවට  සුවිශාල ජනබලයක් සහ අනුමැතියක් ලැබුණු බව පැහැදිලිය. මේ අනුමැතිය ලැබුනේ  ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිතා කල අයගෙන් පමණක් නොව  විරුද්ධ පක්ෂයට ඡන්දය භාවිතා නොකර සිටි අයගෙනුත්  වීමද අමතක නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය භාවිතා කර තිබුනේම  නැත. අතිශයින් දේශපාලනීකරණය වූ පරිසරයක මධ්‍යස්ථ අස්ථානයන්ට ඉඩ නැත. එවැනි වටපිටාවකදී හුස්ම ගැනීම පවා දේශපාලනික වෙයි. එනයින් ගත් කල පසුගිය මැතිවරණ වලදී ඡන්දය භාවිතා  නොකර සිටි එක්සත් ජාතික පාක්ෂිකයන්ද කර ඇත්තේ බරපතල දේශපාලනික ක්‍රියාදාමයක් බව  කිව යුතුය. මෙය, ආණ්ඩුවට ලබා දුන් නිහඬ අනුමැතියකි.

දැන් එළඹී තිබෙන්නේ භූමිය රඳවා ගැනීමේ සටනයි. යුද්ධය ජයග්‍රහණය කල සෙන්පතියන් භූමිය රඳවා ගැනීමටත් ඒ  පරිමාණයෙන්ම  දක්ෂද?

ආණ්ඩුව පත් වීමේ ක්‍රියාදාමය තුල වැඩිපුරම ප්‍රකට කෙරුණු  දේශපාලන දෘෂ්ඨිය වුයේ දේශප්‍රේමයයි. ජාතික ආරක්ෂාව, අන්තවාදයට එරෙහි වීම , සමාන නීතියක් රට පුරා ඇති කිරීම සහ අහිතකර විදේශ බලපෑම් වලින් රාජ්‍යය බේරා ගැනීම වැනි  සටන් පාඨ  වලට විශාල ජනතා අනුමැතියක් ලැබිණි. අත්සන් කරන්නට යනවා යයි කියූ MCC ගිවිසුමට එරෙහිව ප්‍රසිද්ධ හිමි නමක් උපවාසයකට පවා එළැඹි  අතර මාස කිහිපයක් මුළුල්ලේම පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අත් අඩංගුවට ගැනීමට බල කරමින් රට පුරා උද්ගෝෂණ සිදු කෙරිණි.

යම් දේශපාලන ව්‍යාපාරයක සාරය පවතින්නේ එකී ව්‍යාපාරයේ මධ්‍යගත තීන්දු ගන්නා ස්ථානයෙන් හිතා මතා සිදු කරන දේ, ප්‍රකට කරන අදහස් වල පමණක් නොව, ඒ වටා  ගොඩනැගෙන ජන බලවේගය විසින් සිදු කරන සම්පූර්ණ ක්‍රියාදාමය තුලමය. කුරුණෑගල  රෝහලේ සේවය  කල එක්තරා මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් හිතා මතා සිංහල කාන්තාවන්ට ව්‍යන්දකරණ සැත්කම් කල බවට වූ විශාල මතයක් පසුගිය වසරේ රටේ ප්‍රචලිත වූ අතර , එම මතය ආණ්ඩුවට පොදුවේ හිතවත් පිරිස සමන්විත වන  “පැතිරුණු ජන මූල කඳවුර” විසින්  විශ්වාසයෙන් යුතුව ප්‍රකට කල බව රහසක් නොවේ. එනිසා මෙවැනි සිද්ධි පිලිබඳ රාජ්‍ය තන්ත්‍රයේ කිසිවකුට ඍජු වගකීමක් නැතැයි  යමෙකුට කිව හැකි වුවත් “ භූමිය රඳවා ගැනීමෙහි ලා” කල්පනා කරන විට , මෙවැනි සිද්ධි වලට සාධාරණ ප්‍රතිචාරයක් දැක්වීම අවශ්‍යය. MCC ගිවිසුම පිලිබඳ කිව හැක්කේද මෙවැන්නකි. එම ගිවිසුමට දැන් සිදු වන්නේ කුමක්ද? එහි අහිතකර වගන්ති  තිබුනාද? එසේ නම් ඒ මොනවාද ? එම ගිවිසුම නැවත අප හමුවට එන්නේද? එසේ  එන්නේ නම් එම අහිතකර වගන්ති වලට සිදු වන්නේ කුමක්ද? කුරුණෑගල වෛද්‍යවරයා ඇත්ත වශයෙන්ම සිංහල මව් වරුන් වඳ කලේද? නැතිනම් එම චෝදනාව අසත්‍යද? චෝදනාව සත්‍ය නම් වෛද්‍යවරයාට දෙන දඬුවම කුමක්ද? අසත්‍ය නම් එම චෝදනාව එල්ල කලවුන්ට දෙන දඬුවම කුමක්ද?

මේ සියල්ල සමග කරලියට විත් තිබෙන තවත් කරුණක් නම් කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන්නට යෝජනා කෙරුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියයි. දැනගන්නට ඇති අයුරින් මේ වන විට ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ. එම ව්‍යාපෘතියට මුල පිරූ  අයගේ කල්පනාව නම් එම ව්‍යාපෘතිය මෑත කාලයකදී ලංකාවට ලැබුණු  වටිනාම ව්‍යාපෘතිය බවත් එය අවලංගු කිරීම ජාතික අපරාධයක්  බවත්ය. මේ අවලංගු කිරීම පිලිබඳ රජයේ පාර්ශවයෙන් යම් පැහැදිලි කිරීම් සිදු වී තිබුනද ඒවා ප්‍රමාණවත් යයි කිව හැකි නොවේ. මෙවැනි දේ පිලිබඳ ජනතාවට තේරුම් යන මට්ටමේ සාකච්ඡාවක් ඇති විය යුතුය.

සිංහල ශිෂ්ඨාචාරය ප්‍රධාන අවස්ථා හතරකදී පමණ ඛණ්ඩනය වී තිබේ. ඒ සෑම  අවස්ථාවක්ම සලකුණු වී තිබෙන්නේ “ භූමිය රඳවා ගැනීමේ “  හි ලා රාජ්‍ය තන්ත්‍රය දක්වන ලද අසමත්  කම සමගය. මෙහිලා ආණ්ඩුව දක්වන  සමත් අසමත් කම අනුව ඉදිරිය තීන්දු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *