Opinion

මගෙ දෙයියෝ

Summary

පිනක් දහමක් කරපු වෙලාවට දෙවියන්ට පින් අනුමෝදන් කළාම හොඳට ම ඇති කියලා තමයි මම හිතන්නේ. ඒ තමයි දෙයියොත් එක්ක මට තියෙන ගනුදෙනුව.

දෙවියෝ ගැන කතාව ඉස්සරහට ඇවිල්ලා. අපේ රටේ නොසෑහෙන්න විද්‍යාඥයෝ ඉන්න හින්දා මේ දවස්වල දෙවියෝ, යක්කු වුනත් සෑහෙන්න විනෝද වෙනවා ඇති. මේ ලෝකයේ වැඩිම විද්‍යාඥයෝ පිරිසක් පහල වෙලා තියෙන්නේ අපේ ලිබ්බෝ සෙට් එක අතරින්. ඉතින් මේ විද්‍යාඥයන්ට පින්සිද්ද වෙන්න දෙවියන් පිළිබඳ සංවාදයත් නැගලා යනවා.

හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙව් ආගම්වල බොහොම තදින් දේව විශ්වාසය තියෙනවා. දෙවියෝ නැතිනම් ඒ ආගම් ඇති වෙන්න සහ පවතින්න විදිහකුත් නෑ. බෞද්ධයෝ විදිහට අපිත් දෙවියන් ගැන සැළකිලිමත් වෙනවා. අපි කරන පින්කම් හින්දා දෙව් ලෝ සැප සම්පත් ලබන්න පුළුවන් කියලා අපි පිළිගන්නවා. කර්මය සහ පුනර්භවය පිළිගන්නේ නැති අපේ ලිබරල් බෞද්ධයන්ට නම් මේවා මහ විකාර කතා. ඒ අය මොනවා කිව්වත් අපි පිළිගන්න දේ අත අරින්න ඕනකමක් අපිට නෑ.

බෞද්ධ ලෝකය ඇතුළේ දෙවියෙක් වෙන්න පුළුවන් පින් කරපු තරමට. කොච්චර පින් කළත් සදාකල් භුක්ති විඳින්න පුළුවන් දේව සම්පත්තියක් ලබාගන්න අපිට බෑ. පින් පිරිහුනාට පස්සේ තව තව ලෝකවලට පල්ලම් බහින්න අපිට සිද්ද වෙනවා. අපිට ආපහු මිනිස් ලෝකයට එන්න පුළුවන්. එහෙමත් නැතිනම් තිරිසන් ලෝකයේ බල්ලෙක්, බූරුවෙක්, මීයෙක්, කාක්කෙක්, මාළුවෙක්, ගැඩවිලෙක් වෙලා උපදින්න වුනත් පුළුවන්. අපාගත වෙන්න බැරිකමකුත් නෑ.
දිව්‍යමය භවයක් කියන්නේ අවිද්‍යාව හින්දා අපි හදාගන්න තවත් එක ගෙයක් විතරයි. මේ ගෙවල් හැදිල්ල ඉවර කරන්න පුළුවන් විදිහ ගැන අපිට බුදුදහමින් කියලා දෙනවා.

ඒ කොහොම වුනත් බෞද්ධ අපිට දෙවියන් ගැන පිළිගැනීමක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ට දෙන තැන අපි දෙවියන්ට දෙන්නේ නෑ. හොඳට දොහොත් මුදුන් තියලා බුදුන් වඳින් අපි “එත්තාවතා ච අම්හෙහි”, “ආකාසට්ඨාච භුම්මට්ඨා” ගාථා කියන්න පටන් ගත්ත ගමන් ම අත් දෙක පහළට ඇරගෙන ගුලි කර ගන්නවා. දොහොත් මුදුන් දීලා දෙවියෝ ඉස්සරහ බැගෑපත් වෙන සිරිතක් අපි ළඟ නෑ.

හැබැයි අපිට කරන්න බැරි සමහර වැඩ දෙවියන්ට කරන්න පුළුවන් කියලා අපි දන්නවා. බල්ලෝ, බළල්ලු, හරක් වුනත් අපිට බැරි සමහර වැඩ කරනවානේ. ඉතින් තවත් සත්තව කොට්ඨාශයක් විදිහට අපි පිළිගන්න දෙවියන්ටත් කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඉතින් ඒ වැඩ කරවාගන්න අපි දෙවියොත් එක්ක ගනුදෙනු කරනවා.

පිනක් දහමක් කිරීමෙන් ලබාගත්ත පින් අනුමෝදන් කරලා මහා සෘද්ධි ඇති ආකාසට්ඨ, භූමාටු හැම දෙවි කෙනෙක්ගෙන් ම නාගයෙක්ගෙන් ම අපි යම් ආරක්‍ෂාවක් අපේක්‍ෂා කරනවා. කොහොම වුනත් ආකාසට්ඨ දෙවිවරු මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන බවක් අපි පිළිගන්නේ නෑ. අපි හැම වෙලාවේ ම සෘජු ගනුදෙනු කරන්නේ භූමාටු දෙවිවරු එක්ක විතරයි.

අවුරුදු පහළොවකට විතර කලින් නාථ දෙවියන්ගේ කතාව ඉස්සරහට ආවම අපේ බෞද්ධ දැනුම් පද්ධතිය ගැන අවබෝධයක් තියෙන අය ඒ ගැන හිතුවේ වෙන විදිහකට. නාථ නමින් හැඳින්වෙන්නේ කියන්නේ ආකාසට්ඨ දෙවි කෙනෙක්. ඉතින් ඒ වගේ දෙවි‍ කෙනෙක් මාලබේ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ක ගනුදෙනු කරන්න ඉඩක් නෑ.

එහෙම වෙච්ච පමණින් එතුමිය කළේ බොරුවක් කියලා අපි හිතුවේ නෑ. යම් භූමාටු දෙවි කෙනෙක් හෝ කිහිප දෙනෙක් එතුමිය එක්ක ගනුදෙනු කළා වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට මළගිය ප්‍රාණකාරයෝ මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දරුවන්ට උදව් කරනවා. ඉතින් ප්‍රියන්තා මහත්මියට සම්බන්ධ වුනේ එහෙම කවුරු හරි කියලා තමයි අපි හිතුවේ. ඒ විදිහට තමන් එක්ක සම්බන්ධ වුනේ විපස්සක නමින් හැඳින්වෙන දෙවි කෙනෙක් කියලා ප්‍රියන්තා මහත්මිය පස්සේ කාලෙක කිව්වා.

බෞද්ධ ලෝකයේ පිළිගැනෙන දෙවිවරුන්ගෙන් අතිමහත් බහුතරයක් පෘථග්ජන අය. අපිට කරන්න බැරි යම් යම් දේ කළ පමණින් ඒ අය මාර්ග ඵල ලබපු අය නෙවෙයි. ඉතින් පෘථග්ජන අපේ තියෙන සමහර දුර්වලකම්, වැරැදි හැසිරීම් ඒ දෙවිවරු ළඟත් තියෙනවා. තමන්ට නැති ශක්තියක් තියෙනවා කියලා එහෙම අය පාරම්බාන්නත් පුළුවන්. ඉතින් නාථ දේව මණ්ඩලේ කතාවත් එහෙම එකක් වෙන්න ඉඩ තියෙනවා.

හතරවරම් දෙවිවරු ගැන කතාව අපේ පොඩි කාලෙන් පස්සේ අතුරුදහන් වෙලා ගියා. දැන් කාලේ ඉන්න පොඩි අය ඒ ගැන වගේ වගක් දන්නේ නෑ. චීනයේ හැම පන්සලකම වගේ හතරවරම් දෙවිවරුන්ට ප්‍රධාන තැනක් දීලා තියෙන බව නම් මම දැකලා තියෙනවා. ඒත් ලංකාවේ පන්සල්වලින් ඒ දෙවිවරු පිටමං කරලා ඉවරයි. තවමත් සීවලී පිංතූරයේ හතර කොනේ ඒ දෙවිවරුන්ගේ රූප තියෙන බව නම් අපිට දකින්න පුළුවන්.

මීට අවුරුදු දාහකට කලින් සිද්ද වෙච්ච මහා චෝළ ආක්‍රමණයෙන් පස්සේ අපේ බෞද්ධ දේව වන්දනාව බරපතල විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. ගම්පොළ, ජයවර්ධනපුර යුගවල දී හින්දු දෙවිවරු අපේ සංස්කෘතියට ආවා. ඉංග්‍රීසි පාලකයන් විසින් පාරවල් හදන්න සහ වතුවල වැඩට දෙමළ කම්කරුවෝ ගෙනාවට පස්සේ ඒ පස්සෙන් ආපු දෙවිවරුත් අපි අතරට ආවා. ඉතින් කතරගම දෙවියන් වෙනුවට මුරුගන් වඳින්න, උපුල්වන් දෙවියන් වෙනුවට විෂ්ණු දෙවියන් වඳින්න අපිට සිද්ද වෙලා. කාලි දෙවඟනගේ ආගමනයත් ඒ කාලයේ සිද්ද වෙච්ච එකක්. මේ ගැන විස්තරයක් 2016 අවුරුද්දේ පළ කරපු “පෙරදිගට ගමනක්” පොතේ මම සඳහන් කරලා තියෙනවා.

සමන් දෙවියෝ, මහසෙන් දෙවියෝ ඇතුළු අපේ දෙවි පිරිසක් තමත් ඉතිරි වෙලා ඉන්නවා. බෞද්ධයෙක්, සිංහලයෙක් විදිහට මම කැමැති අපිට ම උරුම වෙච්ච ඒ දෙවිවරුන්ට වඳින්න පුදන්න. එහෙම කිව්වාට මම දෙවියොත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නෙවෙයි. දෙවියෝ ඉන්නවා කියලා පිළිගත්තත් ඒ අය පස්සේ යන්න, ඒ අය ගෙනැල්ලා ගේ අස්සේ දාගන්න ඕනකමක් මට නෑ. පිනක් දහමක් කරපු වෙලාවට දෙවියන්ට පින් අනුමෝදන් කළාම හොඳට ම ඇති කියලා තමයි මම හිතන්නේ. ඒ තමයි දෙයියොත් එක්ක මට තියෙන ගනුදෙනුව.

හැබැයි ලිබි විද්‍යාඥයෝ සෙට් එක සංවිධානගත වෙලා අපේ මිනිස්සුන්ගේ දේව ඇදහිල්ලට කොලොප්පම් කරද්දි මම බලාගෙන ඉන්නේ නෑ. මගේ දේව වන්දනාව මොකක් වුනත් මම අපේ මිනිස්සුන්ගේ පැත්ත ගන්නවා. ඒ වගේ ම, ලිබ්බන්ට ගහන්න ඕන කරන ආයුධ හොයලා, හදලා අපේ අයට දෙනවා.

මේ පෘථග්ජන දෙවිවරු සහ යක්කු විසින් පිටට පෙන්නන නම මොකක් වුනත් ඒක මට අදාළ නෑ. දේව ඇදහිල්ල අපේ සංස්කෘතියට අදාළ මූලික දෙයක්. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේ ම, මේ දෙවිවරු සහ යක්කු විසින් යම් යම් වැඩ කරලා දෙන බවත් මම දන්නවා. මිනිස්සු කාගෙන් හරි උදව්වක් ඉල්ලන්නේ තමන් අසරණ වෙලා ඉන්න වෙලාවට. ඒ අසරණකම දැකලා ඒකට කොලොප්පම් කරන අයව හඳුන්වන්න පුළුවන් වචනයක් සිංහල භාෂාවේ තියෙනවා ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *