Opinion

මගේ බුදුන් මට දෙන්න : මගේ වෙසක් මට දෙන්න

Summary

වෙසඟ, වෙසක් මංගල්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ නිකම් නොවේ. සිංහලයන්ගෙන් (සිංහල බෞද්ධයන්ගේ) එක්තරා සමාජ පංතියකට පහලින් සිටින කුදු මහත් බහුතරයාට තිබෙන්නා වූ සාමූහික ප්‍රීති උත්සව දෙකෙන් එකකි වෙසක් (අනෙක පොසන්).

පිට පිට වසර තුනක් වෙසක් සැමරුනේ නැත. හේතු සාධාරණය. කරන්නට දෙයක් නැත. මේ තෙවසර අමතක කලද ඉන් පෙර ගතවුණු වසර කීපය ගෙන බැලුවද වෙසඟේ සිරිය අඩු වී තිබුණු බවද, එය ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පැවතුනු බවද මට මතකය. ඒ හේතු ඇතුවය. එම හේතු මට නම් සාධාරණ නැත. මෙය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, එසේත් නැතහොත් අන්‍යාගමික කුමන්ත්‍රණයක් වැනි දෙයක් නොව අපි අතරම තිබෙන්නා වූ සංස්කෘතික අසාක්ෂරතාවය නිසා සිදු වන්නකි.

මගේ මතකය නිවැරදි නම් 2016 දී පමණ රජය විසින් වෙසක් දින තොරණ ප්‍රදර්ශණය කිරීම තහනම් කරමින් නියෝගයක් පැනවීය. තව දුරටත් මගේ මතකය නිවැරදි නම් මේ නියෝගය පනවනු ලැබූවේ කිසිදු දේශපාලඥයකුගේ තනි වුවමනාවට නොව සංඝ රත්නයේ බලවත් පාර්ශව කීපයක් විසින් කරන ලද ඉල්ලීමකට ඇහුම්කන් දීමක් ලෙසටය. මේ මතකය නිවැරදිද යන්නත් , එය නිවැරදි නම් මේ තහනම අදටත් පවතින්නේද යන්නත් මට නිච්චියක් නැත. කෙසේ වෙතත් පසුගිය දශකය තුල බෞද්ධ සමාජය තුල වර්ධනය වුනු සදාචාර මූලධර්මවාදයක් වැනි අදහස් ගොන්නක් මගින් මිනිසුන්ගේ සියලු සංස්කෘතික හැසිරීම් එක් රීතියකට යටත් කිරීමේ උත්සාහයක් පැහැදිලිවම විද්‍යාමාන විය. කොළඹ කේන්ද්‍රීයව දහම් දෙසන තරුණ භික්ෂූන් වහන්සේ ගණනාවක්ම වෙසක් දිනය වෙළෙන්දන්ගේ මාෆියාවක් වෙමින් පවතින බවට මැසිවිලි නගමින් සිටිනු දක්නට ලැබිණි. මේ කියන වෙසක් සම්බන්ධ වෙළඳ මාෆියාව කුමක්දැයි යන්න පැහැදිලි නැත. එයින් අදහස් වන්නේ වෙසක් ලඟා වන විට කූඩු , සව් කොළ හා ඉටි පන්දම් විකුණන වෙළෙන්දන්ද නැතහොත් වෙසක් දින වීදි දෙපස වෙස් මුහුණු, ලාබ සෙල්ලම් බඩු සහ කඩචෝරු විකුණන වෙළෙන්දන්ද යන්න අපැහැදිලිය. යම් හෙයකින් මේ කියන්නේ ඉහල මට්ටමේ වෙළඳ දැන්වීම්කරණය ගැන නම් , වෙසක් දිනය නොව ඕනෑම මානුෂීය හෝ ශිෂ්ඨාචාරමය වටිනාකමක් මේ වෙළඳ චක්‍රය තුල විකිනෙන බව උන් වහන්සේ දත යුතුය. එය වැලක්වීමට නම් කල යුත්තේ ධනපති අර්ථ ක්‍රමයට විරුද්ධ වීම මිස බෞද්ධයන්ගේ සංස්කෘතික විනෝදයට හරස් වීම නොවේ.

මේත් සමගම කියවුණු අනෙක් අදහස නම් වෙසක් දිනයෙන් අර්ථවත් වන්නේ පාරට බැස බාල් නැටීම නොව සිත පහදවාගෙන එය දහමට යොදවා ධර්මයෙහි හැසිරීමෙන්ය යන්නය. මතුපිටින් බැලූ කල ඉතාම විදග්ධ යයි පෙනෙන, ප්‍රකාශ කල විට පහසුවෙන් ප්‍රවීණතාවයට පත් වීමට උපකාරී වන්නේ යයි සිතෙන සුළු, එසේ නමුත් ගැඹුරින් සලකා බැලූ කල අර්ථ ශූන්‍ය හිස් අදහස් මෙලොව තිබේ. බොහෝ විට මේවා ජනප්‍රියවාදී ඒවාය. සමාජවාදී දේශපාලන අදහස් තිබෙන දේශපාලඥයන් ඇඳුම් නොඇඳ විනෝද ගමන් නොගොස් නොකා නොබී ඉතා දුක්ඛිතව ජීවත් විය යුතුය කියන ජනප්‍රියවාදී අදහස මෙවැනි එකකි. පිට රටක ජීවත් වන්නකුට රට ගැන කතා කිරීමේ අයිතියක් නැතැයි සිතීමද මෙවැනි අදහසකි. වෙසක් දවසට එළියට බැස කිසිත් නොකොට කොහේ හෝ මුල්ලකට වී බණ භාවනා පමණක් කල යුතුය යන්නද මෙවැනි මුග්ධ, බොළඳ, සහ අන්තිම අඥාණ අවර ගනයේ කතාවකි. බුදු හාමුරුවන්ගේ තෙමගුල දින සංඛේතාක්මකව සහ අධිෂ්ඨානශීලීව ආගමික වතාවක් සිදු කිරීම මුල් බැසගත් සිරිතකි. නමුත් එය ඒ වටා ගොඩනැගෙන අතුරු සංස්කෘතික උපාංගයන් කෙරෙහි සදාචාර විනිශ්චයන් පමුණුවන අධිකාරිවාදී සිරිතක් නොවේ. වෙසක් දවසට අසවල් දේ කල යුතුය, අසවල් දේ නොකළ යුතුය යනුවෙන් රීති පැමිණවීම පිටුපස තිබෙන්නේ බුදු සසුන “නොහොබිනා” ලෙස ක්‍රමවත් කිරීමේ වුවමනාවයි. බුදු දහම ක්‍රමවත් කිරීමේ ඉතිහාසය මා අනෙක් තැනක යම් තරමක් දීර්ඝව කතාකොට ඇති මුත් සුළුවෙන් හෝ මෙහිදීද එය සඳහන් කල යුතුය.

යටත්විජිතවාදීන් (ඉංග්‍රීසීන් විශේෂයෙන්) මේ භූමියට පා තබන විට තිබුණු වර්ණවත්, විවිධත්වයෙන් යුතු ස්වදේශික බුදු සසුනේ ස්වභාවය ඉන් පසු කාලය තුලදී නොවැලක්විය හැකි ලෙස යටත්විජිත ශික්ෂණය අනුකරණය කරමින් යලි සංස්කරණය වීමකට, එසේත් නැතහොත් අලුතෙන් ආයතනගත වීමකට යටත් විය. ඒ මොහොතත් අප ජීවත් වන මේ මොහොතත් අතර සරල වශයෙන් ඍජු රේඛාවක් ඇඳීම උගහට නමුත් අද දවසේ අප මුහුණ දෙමින් තිබෙන්නේත් යම් ඒකීය ස්වභාවයකින් සමස්ථ බෞද්ධයාම හැසිරිය යුතුය යනුවෙන් සිතන , යටත්විජිතවාදී මනෝ භාවයට වැඩිපුර නෑ කම් කියන, සදාචාරවාදී සිතුවිල්ලකටය. ඉහතදී සඳහන් කෙරුණු ආකාරයට, මෙවැනි කතා කීමෙන් තමන් ඉතා විදග්ධ , සමය සමයාන්තර ඥාණයෙන් හෙබි තැනැත්තෙකු ලෙස තම ශ්‍රාවකයන්ට ඒත්තු ගැන්විය හැකියයි සිතන තරුණ භික්ෂූන් වහන්සේ සිටිති. සැලකිය යුතු භික්ෂූන් වහන්සේ පිරිසක් අනවශ්‍ය තරමට දේශපාලනයට නැඹුරු වී සිටීමත්, ඕනෑ දෙයටත් එපා දෙයටත් හොට දමමින් මාධ්‍ය ඉදිරියේ විහිළුකාර දෙඩුම් ශිල්පීන් වී සිටීමත් නිසා මෙවැනි කතා කීමෙන් තමන්ට වටිනා කියන බරැති ප්‍රතිරූපයක් තනා ගත හැකි බව එම තරුණ භික්ෂූන් වහන්සේ සිතනවා විය හැකිය.

කෙසේ වෙතත් මෙවන් අදහස් මගින් එලි වන්නේ සංස්කෘතික අෂාක්ශාරතාවය මිස අනෙකක් නොවේ. අර්ථයෙන් ධර්මයෙන් උවදෙස් දෙන්නකු යම් සදාචාර විනිශ්චයකට අනුව සමාජය හිකමවීමේ වගකීම කරමත තබාගෙන තිබීම අන්තිම අවාසනාවන්ත සිදු වීමකි. මෙවැනි විනිශ්චයන් සහ වගකීම් කර දරාගෙන සිටියේ ඒක දේවවාදී ඒබ්‍රහමික ආගම් වල පූජකයන් මිස විවිධත්වය ඉවසන , මිනිසුන් විනිශ්චයට ලක් නොකොට ඔවුන් වෙත මෛත්‍රිය පිරිණමන ස්වදේශීය බෞද්ධ භික්ෂූන් වහන්සේ නොවේ. ඒබ්‍රහමික ආගම් තුල “විනිශ්චය” සහ “වගකීම” නිරන්තරයෙන් හමු වේ. ඔවුන් සියලු දෙනාම “අවසන් විනිශ්චයක්” ලැබෙන දිනයකට සූදානම් වෙති. සුදු යටත්විජිතවාදීන් ලොව පුරා රටවල් ආක්‍රමණය කිරීමේදී එය සාධාරණීකරණය කිරීම උදෙසා භාවිත කල මතවාදය නම් ” සෙසු ලෝකයා ශිෂ්ඨසම්පන්න කිරීමේ වගකීමක් සුදු පිරිමියා මත පැටවී තිබෙන බවත්” එය ඉෂ්ඨ කිරීම සඳහා වහ වහා පෙරදිග , අප්‍රිකානු සහ ඇමෙරිකානු භූමීන් යටත් කල යුතු බවත්ය. White Man’s Burden යනුවෙන් ඉංග්‍රීසියෙන් කියවෙන්නේ මේ අදහසයි. වෙසක් මංගල්‍යයේ සංස්කෘතික වින්දනයට වැට බඳින ඇතැම් මතධාරීන් දකින විට මට සිහියට නැගෙන්නේත් මුළු ලෝකයම හොඳින් හෝ නරකින් යටත් කොට ශිෂ්ඨසම්පන්න කිරීමේ වගකීමෙන් බරිතව , මධ්‍ය කාලීන යුරෝපීය පල්ලි වල කළු ලෝගු දමාගෙන සිටි පූජක වරුන්ය.

කරුණු කොයි හැටි වෙතත් අපේ තොරණ සංස්කෘතියත් වෙසක් මංගල්‍යය සම්බන්ධ “පොදු ජන සාමූහික විනෝද සංස්කෘතියත් ” වියැකී යමින් තිබේ. වෙසක් නොපැවැත්වුණු පසුගිය වසර තුනට පෙර සිටම මේ වියැකී යාම විද්‍යාමාන වෙමින් තිබිණ. දන්නා ඉතිහාසය තුල වෙසඟේ සතුට පාදක වුයේ තොරණ මතය. ගෙදර වෙසක් කූඩු දැල්වීමෙන් අනතුරුව පන්සල් ගොස් එතනින් නික්මී තොරණ බැලීමට යාම අනෙක් සියලු සාමූහිකත්වයන්ගේ මූලය විය. වෙසක් දිනයේ තොරන් තහනම් කිරීම මේ විනෝදයේ මුදුන් මුල උදුරා දැමීමකි. යම් හෙයකින් මගේ මතකය වැරදි නම්, එනම් දැනට එවැනි තහනමක් නැති නම් වුවද එසේ කල යුතු යයි අදහසක් ඇතැමුන් කෙරේ ඇති බැවින් මේ ලිපිය තව දුරටත් වලංගුය.

ප්‍රතිපත්ති පූජාවන් කුළු ගැන්වීම උදෙසා ආමිස පූජාව යටහත් කිරීමට සිදු වේ නම් එම සමාජයේ විශාල අර්බුදයක් තිබෙන බව අප තේරුම් ගත යුතුය. ආමිසයන් බලෙන් කප්පාදු කල තැනක ප්‍රතිපත්තිය පවතින්නේ නැත. යම් කෙනෙකුගේ ආමිස පූජාවක් හෝ අහිංසක සතුටක් වෙනත් කෙනෙකුගේ ප්‍රතිපත්තියකට බාධාවක් වන්නේ කෙසේද යන්න මට වැටහෙන්නේ නැත. සිංහල සමාජය තුල ඉතා සෝචනීය ලෙස සාමූහික ප්‍රයත්නයන් සහ විනෝද අවස්ථා කප්පාදුවට ලක් වෙමින් තිබේ.

සෑම බෞද්ධ රටකම පාහේ කුමන හෝ විදිහක කූඩු දැල්වීම් දක්නට ලැබේ. නමුත් ජාතක කතා අනුසාරයෙන් නිර්මාණය කෙරෙන තොරණ , මගේ දැනුමේ හැටියට නම් තිබෙන්නේ ලංකාවේ පමණි (මෙය වැරදි වීමට පුළුවන). එය එසේ වුවද නොවුවද අප කුඩා කල සිට අත් විඳ තිබෙන තොරණ සංස්කෘතිය ඉතා අලංකාර ලෙස ස්වදේශික භාවය තැවරුණු කටයුත්තක් බව කිව යුතුය. මගේ කල්පනාව නම් දළදා පෙරහැර හැරුණු කොට විශාල ප්‍රමාණයේ සාමූහික සංස්කෘතික ප්‍රයත්නයක් ලෙස අපට ප්‍රදර්ශණය කරන්නට තිබෙන්නේ වෙසක් තොරණ සහ ඒ ආශ්‍රිත කටයුතු බවය (තොරණ වලට විරුද්ධ බොහෝ දෙනෙක් දළදා පෙරහැරේ අලි ගෙනියනවාටද විරුද්ධ බව සඳහන් කල යුතුය).

මගේ වෙසඟ යනු සැදැහැ සිතින් සිල් සමාදන් වී එකත්පසව පමණක් ගෙවන වෙසඟක් නොව සාමූහිකව එලියට බැස, අවට හාත්පස සාධු නාදයෙන් ගිගුම් නංවමින්, පන්සල් මෙන්ම දන්සැල්ද වඳිමින්, තොරණ බලමින්, ඔලු බක්කන් නටමින්, කඩචෝරු කමින් වීදි සංචාරය කරන සතුටු සවාරියකි. මේ සවාරිය අතරතුර ලොරි බට්ටන් සහ ට්‍රැක්ටර් වල පිටුපස පවුල් පිටින් නැගගෙන වන්දනා ගමන් යන නඩ මට දක්නට ලැබේ. ඒ අතර සිටින කුඩා දරුවන්ගේ සිඟිති අත වැනුම්ද , තරුණ ගැහැණු දරුවන්ගේ සිරික්කියද මගේ නෙත් කන් වැකේ. මට වෙසක් දැනෙන්නේ මේ සියල්ල හරහාය.

වෙසඟ, වෙසක් මංගල්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ නිකම් නොවේ. සිංහලයන්ගෙන් (සිංහල බෞද්ධයන්ගේ) එක්තරා සමාජ පංතියකට පහලින් සිටින කුදු මහත් බහුතරයාට තිබෙන්නා වූ සාමූහික ප්‍රීති උත්සව දෙකෙන් එකකි වෙසක් (අනෙක පොසන්). ප්‍රීති වෙසක් යනුවෙන් සුභ පැතුමක් සිංහල භාෂාවට එකතුව තිබෙන්නේ අහම්බයෙන් නොවේ. මේ අසිරිමත් ආගමික සංස්කෘතික උළෙල සදාචාර අගතීන්ගෙන් විනිශ්චය කිරීම අපරාධයක් පමණක් නොව, මේ පන්තියේ මිනිසුන්ට කරන්නා වූ සංස්කෘතික අසාධාරණයක්ද වෙයි.

Leave a Reply

Your email address will not be published.