Opinion

මයික් පොම්පෙයෝට ‘රතු’ පලසක්

Summary

කොලඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ආචාර්යවරයෙක් වන නිර්මාල් රංජිත් දේවසිරි ‘බටහිර අධිරාජ්‍යවාදය’ ඊනියා ‘චීන අධිරාජ්‍යවාදයට’ වඩා හොඳ යැයි තර්ක කරයි.

  • Save

කොලඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ආචාර්යවරයෙක් වන නිර්මාල් රංජිත් දේවසිරි ‘බටහිර අධිරාජ්‍යවාදය’ ඊනියා ‘චීන අධිරාජ්‍යවාදයට’ වඩා හොඳ යැයි තර්ක කරයි.

මේ අතර, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරට අනුව ‘චීන ණය උගුලට’ වඩා පිස්සන් තද කොට බැඳ තබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘හිර ඇඳුම’ සාධනීයය.

එකම රිදී කාසියේ දෙපැත්ත එබඳුය.

මෙම විවේචන පල වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වන යැංග් ජියෙශි පසුගිය දා ලංකාවේ සංචාරය කිරීමත් සමගය. මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, එකඟතා කිහිපයක් ඇති වූ අතර ලංකාව යහපාලන වර්ගයේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩපිලිවෙලකට යාමෙන් වලක්වා ගැනීමට මෙම ආධාර උදවු වනු ඇත.

මෙම තත්වය නිසා සමරවීරට රිදී තිබීම තේරුම් ගත හැක. එහෙත් නව වාමාංශික බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන චීන විරෝධී අලංකාරොක්තීන් අභියෝගයට ලක්කිරීම අවශ්‍යයය. සියල්ලට පලමු, අප මතක තබා ගත යුත්තේ නූතන යුගයේ ලංකා-චීන සබඳතා යන්නම වාමාංශික ව්‍යාපාරයේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් බවය.

දේවසිරිට අනුව ශ්‍රී ලංකාවට වොෂිංටනයේ දී හෝ ලන්ඩනයේ දී විරෝධතා පල කිරීමට අවකාශය තිබෙන නමුදු බීජිංවල එම නිදහස නැත. එක්සත් ජනපදයට ඉරණවිරල ‘වොයිස් ඔෆ් ඇමරිකා’ පරිශ්‍රයක් ගොඩනගා තම සබ්මැරීන ත්‍රිකුණාමලයේ ගාල් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවේ ඇමරිකානු-විරෝධී විරෝධතාවලට ප්‍රතිචාර දැක්වූ ආකාරය ඇතැම් විට ඔහුට මතක් කර දීමට අපට සිදුවනු ඇත.

හොංකොංවල මේ වනවිට වසරක ආසන්න කාලයක් තිස්සේ උද්ඝෝෂණ පැවැත්වෙන නමුදු තවමත් එක පුද්ගලයෙක් හෝ පොලිසිය විසින් මරා දමා නැත. මෙම තත්වය, කහ කබා උද්ඝෝෂණ සමග ප්‍රංශයේ සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සමග ඇමරිකාවේ ඇති වූ මහත් මර්දනකාරී තත්වය සමග සංසන්දනය කර බැලීම යෙහෙකි.

චීනය එක්සත් ජනපදය එහි ඉතිහාසයේ කවර කලෙක සිටියාටත් වඩා ‘සෑහෙන තරම් මානුෂවාදී’ බව වරෙක යානිස් වරුෆාකිස් චීන ෆෝබියාවෙන් පෙලෙස හිස්ටරික ප්‍රශ්න විමසන්නෙක්ගේ පැනයකට ප්‍රතිචාර ලෙස පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපා මධ්‍යම බැංකුව මෙන්ම චීනය සමග ද ග්‍රීක මුදල් ඇමති ලෙස පෞද්ගලිකව ගනුදෙනු කල වරුෆාකිස්ට මේ ගැන හොද අදහසක් තිබීම පුදුමයක් නොවේ.  

පසුගිය වසර දහ අට තුල ඇමරිකානු ඩොලර් බිලියන දහයකට ආසන්න ණය චීනය විසින් කපා දමා තිබේ. මේ ණය සහනවලින් අඩක්ම ලැබී තිබෙන්නේ කියුබාවටය. තම රජයේ ආයතනවලට ඉරාකය ගෙවිය යුතුව තිබූ ණය සියල්ල චීනය විසින් කපා හල අතර පෞද්ගලික අංශයේ ආයතනවලට තිබුණු ණයවලින් සියයට අසූවක් ආපසු අය කිරීමෙන් තොරව අත් හරින ලදී. කෝවිඩ් 19 අර්බුදයෙන් පසු රටවල් 77 කට අදාලව ණය මුදල් ඉල්ලා සිටීම චීනය තාවකාලිකව අත් හිටුවා තිබේ.

ශ්‍රී ලංකාවේ සමහර චීන විරෝධී ‘වාමාංශිකයින්’ චේ ගුවේරා තොප්පි පලඳින අතර ෆිදෙල් කැස්ත්‍රෝව පරමාදර්ශයට නංවති. එම ෆිදෙල් කැස්ත්‍රෝ වරෙක චීනය හැඳින්වූයේ ‘තුන්වෙනි ලෝකයේ රටවල්වලට තිබෙන වඩාත්ම බලාපොරොත්තුසහගත අපේක්ෂාව හා හොඳම ආදර්ශය’ ලෙසය. ෂී ජින්පින්ව ඔහු විස්තර කලේ ‘වඩාත්ම ශක්තිමත් හා ප්‍රතිභාපූර්ණ විප්ලවවාදී නායකයෙක්’ ලෙසය.  

හියුගෝ චාවේස්, ඊවෝ මොරාලේස් හා ලූලා ද සිල්වා වැනි නායකයින් තමන්ගේ රටවල දේශීය කර්මාන්ත හා සුබසාධන වැඩසටහන් දියත් කිරීමේ දී කොතරම් ප්‍රමාණයකට චීන සංවර්ධන මූල්‍ය අරමුදල් හා තාක්ෂණික උදවු වෙත නැඹුරු වූවා ද යන්න ගැන ලතින් ඇමරිකානු සමාජවාදය පරමාදර්ශයට ලංවන අප රටේ ‘වාමාංශිකයින්’ තුල අදහසක් තිබේද?

මෙම ‘වාමාංශිකයින්’ පලස්තීනයට සහයෝගය දක්වති. ගාසා තීරයේ ජල සම්පත්වලින් සියයට අනූවක් පරිබෝජනයට නුසුදුසු බව හෙලිදරවු වූ විට, දස දහසක් ජනයාට ජල පහසුකම් සැපයීමට චීනය උපකාර කල බව ඔවුන් දන්නවාද? ඉරානයට හා සිරියාවට චීනය ලබාදෙන ආර්ථික සහයෝගය පලස්තීන අරගලය නොනැසී පවත්වා ගැන්මට කොතරම් උපකාරී වනවා ද යන්න ගැන ඔවුන්ට අදහසක් තිබෙනවාද?

ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) චීනයේ බීආර්අයි ව්‍යාපෘතිය නිල වශයෙන් අනුමත කොට තිබෙන බව, එසේම ඉන්දියාවේ මුහුදුබඩ වෙලඳ ව්‍යාපෘතිය ඒ සමග ඒකාබද්ධ කල යුතු බවට අවධාරණය කොට තිබෙන බව දන්නේ නම් ලංකාවේ නව වාමාංශය පුදුම වනු ඇත. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට අනුව එය ‘ඒකධ්‍රැවීය ලෝකයක සිට බහුධ්‍රැවීය ලෝකයක් කරා වන ගමන ප්‍රබල ලෙස ශක්තිමත් කිරීමට’ හේතු වනු ඇත.

ලෝකයේ තිබෙන විවිධ සමාජවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල ජයග්‍රහණ අගය කරන නමුදු නව වාමාංශයට මේ රටවල් සමග සහයෝගීතාවයක් ඇත්තටම ගොඩ නගා ගන්නේ කෙසේද යන්න ගැන කිසිදු සංයුක්ත අදහසක් නැත. චීනය සම්බන්ධයෙන් ගත්කල, එවැනි සහයෝගීතාවයක් ඇති කරගැනීමට ඔවුන් ප්‍රබල ලෙස විරුද්ධ වෙති.

උත්‍ප්‍රාසය නම්, මෙම ප්‍රශ්නයේ දී නව වම ජාතිකවාදීන්ටත් වඩා බෙහෙවින් හුදෙකලාවාදී හා ස්වදේශිකවාදී ගති ලක්ෂණ පෙන්නුම් කිරීමයි. ජාතිකවාදී කඳවුර ඒ අතින් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් සමග වඩා හොඳ සම්බන්ධතා ගොඩ නගා ගැනීම කෙරෙහි යොමු වී තිබේ.

චීන ‘අධිරාජ්‍යවාදය’, ‘ණය උගුල’ හා ‘මුතු පොටේ උපාය මාර්ගය’ ආදිය ගැන වූ මිථ්‍යාවන් මේ වනවිට ‘චීන හිතවාදී’ යැයි කිසිසේත්ම සැලකිය නොහැකි බුද්ධිමතුන් විසින් පවා ප්‍රශ්න කොට ඇත. එම තත්වය තුල, මෙරට සමාජ ක්‍රියාධරයන් හා බුද්ධිමතුන් ඒ මිථ්‍යාවන් නැවත නැවත පුනරුච්චාරණය කිරීමට තීරණය කරනවා නම්, එය තමන්ගේ අභිරුචිය අනුව කෙරෙන තෝරාගැනීමකි.

නව වාමාංශික බුද්ධිමතුන්ගෙන් එන මේ චීන විරෝධී ප්‍රචාරයන්, ‘අපි බොරු කිවුවා, අපි වංචා කලා, අපි හොරකම් කලා’ යැයි වරෙක ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කල, හිටපු සීඅයිඒ ඒජන්ත, වත්මන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සාදරයෙන් පිලිගැනීම උදෙසා එලනු ලබන ‘රතු’ පලසක් ලෙස අප වටහා ගත යුතුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap