COLUMN

මරුගේ ඉසව්වෙන් I : එක් විකාරරූපී රාත්‍රියක්

Summary

මෙය ලියන්න හිතුනේ අපේ සහෝදර සේවකයෙක්ගෙ පියාගෙ අවමංගල්‍ය කටයුතු ඊයේ සිදුකල නිසා කොළඹින් බොහෝ දුර. අපේ සේවකයා මට කතා කරල තදින්ම කිව්ව “සර් මරණෙ හෙටම ගන්නව – කොළඹින් කවුරුවත් එවන්න එපා..” කියල.

ලංකාවේ කෙනෙක් මියගියහම සිදුවෙන විප්‍රකාර නිමක් නැහැ. මේ දේවල් ගැන මට තියෙනව පුළුල් අත්දැකීම්… මොකද මම කලක් ආදාහනාගාර ඉදිකරන ව්‍යාපාරයක් පිලිබඳ වගකීම් දැරූ නිසා. ඒ නිසා මගේ ‘මරණය’ පිලිබඳ අදහස් සම්පුර්ණයෙන් වෙනස් උනා. ඒ ගැන තිබුණු අකමැත්ත සහ අප්‍රසන්න බව තුරන් වෙලා යම් ගෞරවයක් තමයි දැන් තියෙන්නෙ. මේ කතාව ”මරුගේ ඉසව්වෙන් I” කියල නම් කරේ තව ගොඩක් කතා මේ සීරීස් එකේ එන නිසා. මේ කතාව මගේ ලඟම ඥාතියෙකුගේ මළගෙයක් පිලිබඳ – වසර 2007. අපේ මළගෙවල් සම්ප්‍රදාය කියන්නෙ package එකක්. ඒකෙ නැත්තෙ එහෙමත් දෙයක් පමණයි. සෑම දේ – කෑම බුෆේ, නෙස්කැෆේ, කැරම්, දාම්, බූරුව ගැසීම, ඕමි බැලීම සහ අත්‍යවශ්‍යයෙන්ම බෝතල් මේවයේ වරදින්නෙ නෑ. මළගෙය දවස් කිහිපයක් නම් තවත් හොඳයි.

මෙය ලියන්න හිතුනේ අපේ සහෝදර සේවකයෙක්ගෙ පියාගෙ අවමංගල්‍ය කටයුතු ඊයේ සිදුකල නිසා කොළඹින් බොහෝ දුර. අපේ සේවකයා මට කතා කරල තදින්ම කිව්ව “සර් මරණෙ හෙටම ගන්නව – කොළඹින් කවුරුවත් එවන්න එපා..” කියල.ඉතින් අපේ ආයතනේ සැලසුම් වෙනස් වෙලා ගමන අවලංගු කරා. මම කල්පනා කරා ඔහු මොනතරම් වටිනා පණිවිඩයක්ද මට උදෙන්ම කිව්වෙ කියල. අපේ කිහිප දෙනෙකුගේ නිකරුනේ වැය වෙන්න ගිය වෙලාව, ශ්‍රමය සහ වාහන ඉන්ධන සියල්ල ඉතුරුයි. ඔහු යහපත් මිනිසෙක්, ඒ වගේ පුතකු හැදූ දිවංගත පියාට මම සසරේ සැනසුම පැතුව…

ඉතින් මමත් මේ කියන මළගෙදර නයිට් එකේ හිටියෙ. විවිධ අය එනව යනව රෑ වෙනකොට සෙනග වැඩිවෙනවා – ඒ වගේම මළගෙදර සක්‍රිය වෙනවා. මේ වෙලාවේ රෑ දෙකට විතර ඇති. කලින් ආපු වැදගත් මහත්මයෙක් හිටිය ගොඩක් රෑ වෙනකම්, ඒ මියගිය අයගේ පුතාගේ ඉතා කිට්ටු හිතවතෙක් නිසා. මම පසුව දැනගත්තෙ ඒ සම්බන්ධය. මේ වෙලාවෙ කඩා පාත් උනා මගේ හොඳම හිතවතුන් පිරිසක් වෙනත් තැනක සෙට් වෙලා හොඳ පදමකින්. කුඩා කල සිට මගේ යහළුවන්. ඉතිං ඔවුන් කියවන්න පටන් ගත්ත – අලගියතැන් මුලගියතැන් පරණ රසවත් කතා. කොටින්ම පවුලෙ කවුරුහරි අහගෙන හිටියනම් ගෙදරින් එලවන සයිස් කතා. කුණුහරප ඉවරයක් නැහැ. කුඩා කල වෙච්ච – ගෙවල් වලින් වසන් කරගෙන හිටපු භයානක කතා ඔක්කොම දිගහැරෙනවා. මම ඒ වෙනකොට ආයතන ප්‍රධානියෙක්, වැදගත් විදියට ජීවත්වෙන, නමුත් අර භයානක අතීතය දැන් මගේ ජීවිතයෙ ඉන්න අය දන්නෙ නැහැ. මම පුළුවන් තරම් මේ සාකච්චාවෙන් ගැලවිලා යන්න හදනවා, උං දිගටම අතීතය අදිනවා. ඒ මදිවට ආණ්ඩුවට බනින්න ගත්තහම ආණ්ඩුවේ එකම නියෝජිතයා විදියට වෙනද වගේම මට කුණු බැනුම් අහන්නත් සිද්ධවුනා .! රැය ගෙවුනෙ මගේ කාඩ් කුඩු කරමින්. මම කලින් කියපු මහත්මයා මේ කතා වලට සම්බන්ධ උනේ නැති උනාට ඒවා විශ්මයෙන් අහං ඉන්න බව ඔහුගේ මුහුණේ ලියවී තිබුන.

ඉතිං පහුවදා සතියේ වැඩ කරන දවසක් නිසා මම ගියා පොඩ්ඩක් හෝ ඇහැ පියාගන්න මගේ මිතුරන් විසිර ගිය පසු පාන්දර පහට විතර. මිහිරි මතක වගේම උන් කියපු කුණුහරප නිසා නින්ද ලැබුනෙ අඩුවෙන්. නමුත් වැඩට යන්නම ඕනේ මම වෙන අමාත්‍යංශයක ටෙන්ඩර් මණ්ඩලයක සාමාජිකයකු හැටියට වැදගත් රැස්වීමක් යෙදී තිබුණු නිසා. ඉතින් මම ගිය නිදිමරගාතේ ඒ රැස්වීමට සවස දෙකට විතර. ගියහම එතන ඉන්න නිලධාරියෙක් ටිකක් හුරු පුරුදු කෙනෙක්, මා අඳුරගන්න වෑයම් කරන බව මට දැනුන. ඔහු ඒ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ ටෙන්ඩර් මණ්ඩලේ කැඳවුම් කරු. ඔහු අහනව “ඔබතුමාගේ පවුලෙ අයිය හෝ මල්ලි ඉන්නව නේද කිරිබත්ගොඩ..?” කියල… මම කිව්ව, නැහැ… පවුලෙ එකම පිරිමි දරුව මම, හැබැයි ඉන්නෙ කිරිබත්ගොඩ තමයි කියල. ඔහු තැටමුව… ”එතකොට එතකොට… ඊයේ රෑ අර මළගෙදර හිටියෙ ඔබතුමාමද..?” කියල. එතකොට මට ක්ෂණිකව මතක් උනා අර විකාර මැද්දෙ මුවින් නොබැන හිටපුවැදගත් මහතා තමයි මේ කියල. එතකොටම රැස්වීම පටන්ගත්ත. නමුත් ඔහුගේ විමසිලිමත් දෑස වරින් වර මා වෙත එල්ල වුනේ වෙච්ච දේ ගැන දැඩි සැකයකින්. රැස්වීම අවසන් වෙලා මම යන්න හදනකොටම ඔහු ඇවිත් ඇසුව ඔබතුමාගෙ යාළුවොනම් හරිම අමාරුකාරයො ටිකක් නේද කියල. මම ඉතින් මුවින් නොබැන ආව හිනාවෙලා.

මෙම ටෙන්ඩරය හුඟක් සංකීර්ණ එකක් අපිට ගොඩක් වැඩ තිබුන එකේ (financial evaluations). තව දින ගණනාවක්ම අපේ රැස්වීම් තිබුණ. මගේ අළුත් මිත්‍රය පස්සේ දවසක මගෙන් අහනවා ”ඔබතුමා මේ වැඩ හොඳින් අල්ලගෙන නේද..!” කියල. ඉන්පස්සෙ ඇතිවෙච්ච දෙබස රසවත්….
එච්චර අමාරු නැහැ, අපි ඉගෙනගත්ත දේවල්නෙ… මම කීව.
ඔහු විශ්මයෙන් අහනව මේව කොහෙද ඉගෙනගත්තෙ..? කියල…
මගේ පශ්චාත් උපාධියේදී කියල කිව්වම ඔහු පුදුමයට පත් උනා.
ඔබ තුමාට පේපර් කොලිෆිකේෂනුත් තියෙනවද..?
නැතිනම් මේ රැකියාවට මම සුදුසුකම් ලබන්නේ කොහොමද..? මම ඇහුව…
එතකොට ඕක දේශපාලන පත්වීමක් නෙවෙයිද..?
හපොයි නැහැ… මම කිව්ව. ඔහු නිහඬ උනා…

තව මීටින් ගණනාවකින් පස්සේ අපි හුඟක් යාළුවුණා. ටෙන්ඩර් වැඩේ අවසන් කරලා අත්සන් කරපු දවසේ ඔහු මගෙන් සමාව ඉල්ලුව…
“එදා යාළුවො කියපු දේවල් වල හැටියට මම කීයටවත් හිතුවෙ නැහැ ඔයා මෙහෙම කෙනෙක් කියල…හිතුවෙ පොලිටිකල් පත්වීමක් කියල… ඒ වගේ පසුබිමකින් ඇවිත් මෙහෙම ඉන්න එක මොනතරම් පුදුමයක්ද කියල. මට වෙන පැහැදිලි කරන්න දෙයක් නැහැ. මගෙ යාළුවො එදා මට ගහපු කාඩ් බොරුයි කිව්වොත් ඔහු මාව විශ්වාස කරන එකක් නැහැ. ඒවගේම උන් මොන විකාර කියෙව්වත් උනුත් හොඳ මිනිස්සු කියල තේරුම් කරන්නත් මට හැකියාවක් තිබුනේ නැහැ.
“යාළුකම් එහෙමමයි – රස්සාව මෙහෙමයි – මම මමමයි…” කියල මම සමුගත්ත…

මම තදින්ම විශ්වාස කරනවා අපේ මළගෙවල් සංස්කෘතිය වෙනස් කලයුතුයි කියල. මැරුණු වහාම කොරෝන මරණයක් සේ රෝහලින්ම පිටත්කොට එදාම ආදාහනය කලයුතුයි. රෑ දවල් බුෆේ දමමින් අඩි ගසමින් – බූරු ගසමින් කරන මේ විප්‍රකාරය වහා නවතා දැමිය යුතුයි. ආගමික කටයුතු ඉටු කරල දින කිහිපයකින් මියගිය අයගේ ගුණසමරු සාදයක් තියන්න ඕනේ. මියගිය අය ගැන විචිත්‍ර දේ කතා කරමින්, බෙදා හදා ගනිමින්… ඕනෙනම් හීනියට අඩියකුත් ගසමින්…. මම වෙන රටකදී එහෙම remembrance vigil එකකට සහභාගී වෙලා තියෙනව. ඒක මියගිය මිතුරාගේ මතක සටහන් පින්තූර projector එකක යනගමන් වයින් සහ කුකීස් විතරක් සප්පායමට තිබුන අඩු වියදම් සාදයක්. එය මියගිය ඔහු අපිට කොතරම් හොඳ යාළුවකු නෑයකු ව සිටියාද කියල කතා කරන, වාද-විවාද නොමැති ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වූ සුන්දර රාත්‍රියක්….

Leave a Reply

Your email address will not be published.