Opinion

මල් පූජාව හා රැඩිකල් වීම

Summary

පිච්චමල් පූජාව ගැන සමාජ ජාලයේ ඇති කසුකුසු හා තැනින් තැන දුටු විවාද කීපයක් දැකීමෙන් පසු බොහෝ ජනයාගේ හිතසුව පිණිස මෙසේ ලිවීමට සිත් විය.

■ මල් පූජා කරන්නේ ඇයි?
බෞද්ධයන් බොහෝ දේවල් කරන්නේ පුරුද්දට මිස අවබෝධයෙන් නොවේ. මල් පුජා කිරීමෙන් බුද්ධානුස්සතිය හා කායගතාසතිය වැඩිය හැකි බව බොහෝ බෞද්ධයන් නොදන්නා බව පහැදිලිය. මල් පුජා කිරීමේදී කියනා ගාථා දෙකම සියලු බෞද්ධයන්ට කටපාඩම් නමුදු එවායේ තේරුම හෝ ඇති ප්‍රයෝජන දන්නේ දැයි සැක සහිත ය.
“වණ්ණ ගන්ධ ගුණෝ පේතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමී මුනින්දස්ස
සිරිපාද සරෝරුහේ”
(වර්ණයෙන්, ගන්ධයෙන්, ගුණයෙන් යුතු මේ මල් බුදුරජාණන් වහන්සේ ගේ සිරිපාදයන් ට පූජා කරමි, පූජා වේවා!)
ඉහත සඳහන් ගාථාව ගැන මනා අවබෝධයකින් මල් පූජා කරන්නෙකුට බුද්ධානුස්සතිය වැඩිය හැකිය. එයින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩේ. මෙය තත්පර කීපයක කාර්යයක් වුවුද කල්ප ගණනාවකට පුන්‍ය විපාක ඇත. (පසුව උදාහරණ දක්වමි)
“පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ච හොතු මොක්ඛං
පුප්පං මිලායාති යථා ඉදං මේ
කායො තථායාති විනාසභාවං”
(නොයෙකුත් ආකාරයේ මේ මල් බුදුන්ට පුදමි.මේ පින මට නිවන අවබෝධ කරගැනීමට ප්‍රයෝජනයක් වේවා! මේ මල් පරව යන්නේ යම් සේද එසේම මාගේ ශරීරයද විනාශයට/ මරණයට පත් වන්නේය.)
ඉහත සඳහන් ගාථාව ගැන මනා අවබෝධයකින් මල් පූජා කරන්නෙකුට කායගතාසතිය වැඩිය හැකිය. එයින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩේ. මෙහි කල්ප ගණනාවකට පුන්‍ය විපාක ඇත.

■ මල් පුජා කිරීමෙන් නිවන් අවබෝධ වේ ද?
නැත.
නිවන් අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍යය අවබෝධ විය යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුය. නමුත් මේ සියල්ල කිරීමට මනුෂ්‍ය බවය ආදී වූ ක්ෂණ සම්පත්තිය ලබා තිබිය යුතු ය. ඒ සඳහා මල් පූජාව උපකාරී වේ.

■ මල් පූජා කිරීම බුදුන් අනුමත කළ දෙයක් දෙයක් ද?
“තං ච කම්මං කතං සාධු-යං කත‍්වා නානුතප්පති,
යස්ස පතීතෝ සුමනෝ-විපාකං පටිසේවති”
(යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ල ට පත් නො වේ ද, යම් ක්‍රියාවක ගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්ත ව විඳීන්නේ ද, ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි.)

● උදාහරණ 1
ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක ( සුමන මාලාකාරයා ගේ කථාව)

● උදාහරණ 2
හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක්‌ පහන් සිතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍යභෝජනාදී වස්‌තු මට ඒ පිනෙන් පහළවන්නේ යැයි කීය ( විමානවත්ථු)

● උදාහරණ 3
එවිට තෙරුන් වහන්සේ කියන්නේ උපාසකය, මොහු පෙර ජාතියේ චේතිය විහාරය අසල ගමක ගොපලු දරුවෙක්‌ව සිටියේය. දිනක්‌ අනෙක්‌ ගොපලු දරුවන් සමඟ ගවයන්ට තණ කෑමට හැර වැලි තලාවක ක්‍රීඩා කරමින් වැලි එකතු කොට සෑයක්‌ තනවා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවිත් එම සෑයට පුදා මල් වියළී නොයනු පිණිස අතු කඩා ගෙනවිත් ආවරණයක්‌ කොට සිත පහදා සවස ගවයන් රැගෙන නිවසට ගියේය. එදින රාත්‍රියේ හටගත් ආබාධයකින් මියගොස්‌ දෙව්ලොව උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළ සේක ( ධම්මපදට්ඨ කතාව )
අරියපරියේසන සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය ආදී සූත්‍ර ගණනාවක මෙවැනි උදාහරණ රාශියක් ඇති නමුදු ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වන නිසා නොලියමි.

■ මල් ලක්ෂ ගණනින් පුජා කළ යුතු ද?
නැත.
නමුත් විශාල මල් විශාල සංඛ්‍යාවක් පූජා කිරීමට නම් විශාල ශ්‍රමයක් හා පිරිසක් අවශ්‍ය වේ. පින්කම් සිදු කිරීමේදී බෝහෝ පිරිස් එකතු කරගෙන කිරීම හේතුවෙන් ඔවුන් කීර්තිය හා පරිවාර සම්පත් ලබයි. මෙය බුද්ධ දේශනාවකි.

■ මල් කඩා පූජා කිරීම නිසා මී මැස්සන් ගේ ආහාර හිඟ වී මිය යයි ද ? වඳ වෙයි ද?
මී මැස්සන් වඳවී යන්නේ මල් කැඩීම නිසා නොවේ.මී මැස්සන් රොන් ගැනීමට භාවිත කරන්නේ බුදුන්ට පුජා කරන මල් පමණක්ම නොවේ. මී මැස්සන් වඳවී යෑමට ප්‍රධාන හේතු වශයෙන් පර්යේෂණ කණ්ඩායම් දක්වා ඇත්තේ දේශගුණ විපර්යාසය යි. ඉන්පසු කෘෂි රසායන භාවිතය, දිලීර නාශක භාවිතය, ජාන වෙනස් කරන ලද ශාඛ සහ ජංගම දුරකථන භාවිතය යි.
මී මැස්සන් ගැන අනුකම්පාව දක්වන්නේ පරම අවිහිංසාවාදී නිගන්ඨනාථ පුත්ත සරණ ගිය ගොබිලන්ය. විලාසිතාවට රැඩිකල් වූ ගොබ්බයන්ය. පිනට ගරහන අපතයන් ය. පොර මානසිකත්වයෙන් පෙලෙන මන්ද බුද්ධිකයන් ය. සිංහල භාෂාවට හා බෞද්ධ සංස්කෘතියට පහර දීම එක රැයින් රැඩිකල් වීමට පහසුම මාර්ගයක් නිසා ඔළුවට එන සෑම කුණු ගොඩක්ම බුකියේ අතහැරීම ඔවුන්ට ඇති එකම විනෝදාස්වාදය යි.

Leave a Reply

Your email address will not be published.