Opinion

මහාවිහාරයේ ‘ඩබල් ස්ටෑන්ඩ(ර්)ඩ්ස්’ ගැන යමක්

Summary

ඉතිහාස පොත ලියන කතුවරයාගේ වැඩේ තමයි ඉතිහාසය ලියන එක. විනය කාරණා පැහැදිලි කරන එක නෙමෙයි.

වළගම්බා රජ්ජුරුවන්ගේ කාලේ මහා විහාරයේ කුත්ථික්කුල තිස්ස සහ හම්බුගල්ලක විහාරවාසී තිස්ස කියලා මහතෙරුන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. වලගම්බා රජ්ජුරුවන් සතුරන්ගෙන් සැඟ වෙලා හිටපු කාලෙ මේ මහ තෙරුන් වහන්සේලා දෙනම ම රජ්ජුරුවන්ට උදව් කරනවා. එක අවස්ථාවකදී කුත්ථික්කුල මහා තිස්ස හාමුදුරුවෝ තමන්ට ලැබෙන පිණ්ඩපාතය කැප විදිහට රජ්ජුරුවන්ට දීලා පෝෂණය කරනවා. හම්බුගල්ලක විහාරවාසී තිස්ස හාමුදුරුවෝ රජතුමා සහ ඇමතිවරු අතර ආරවුලක් ඇති උන වෙලාවක ආරවුල සමථයකට පත් කරන්න උදව් කරනවා.

මේ විදිහට මේ හාමුදුරුවෝ දෙනම වහන්සේලාම රජ්ජුරුවන්ට උපකාර වෙනවා. රටේ තිබ්බ දේශපාලනික ප්‍රශ්න සංසිඳිලා රජතුමා බලයට පත් වුණායින් පස්සේ ආරාම පූජාවල් දෙකක් සිද්ධ වෙනවා. රජතුමා කුත්ථික්කුල තිස්ස හාමුදුරුවන්ට පෞද්ගලික ආරාම පූජාවක් විදියට අභයගිරිය පූජා කරනවා. රජතුමාගේ ඇමතිවරු හම්බුගල්ලක විහාරවාසී තිස්ස හාමුදුරුවන්ටත් විහාර පූජා කරනවා. නමුත් මහා විහාරය කුල සංසාර්ග චෝදනාව යටතේ මහා විහාරයෙන් නෙරපා දමන්නේ කුත්ථික්කුල මහා තිස්ස හාමුදුරුවෝ විතරයි.

ඒක මූලාශ්‍ර පරිශීලනය කරද්දී තේරුම් අරගත්තු පර්යේෂකයෙක් මේ විදිහේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. “අභයගිරිය පිළිගත්, වෙස්සගිරි උපවනයෙදි රජතුමාට හමු වුණු හා උපකාර කළ, පරමශික්ෂාකාමීත්වයක් තිබුණු භික්ෂූන් වහන්සේ කෙනෙක් විදියට මහාවංස ටීකාව සඳහන් කරන කුත්ථික්කුල මහාතිස්ස හිමියන්ට කුල සංසර්ග චෝදනාව එල්ල කරමින් මහාවිහාරයෙන් නෙරපීමටත්, වළගම්බා රජතුමා ගෙ ඇමැතිවරු කරවපු විහාරාරාම පිළිගත්, මහාවංසය කියන විදියට බහුශ්‍රැත හා චතුනිකායික භික්ෂූන් වහන්සේ නමක් වූ හම්බුගල්ලක විහාරයේ තිස්ස හාමුදුරුවන්ට ඒ චෝදනාව කර මහාවිහාරයෙන් නෙරපූ බව සඳහන් නො වීමටත් හේතු කවරේ ද?

සරල ව ඇහුවොත්, සමාන ක්‍රියාකලාපයක් දකින්න පුළුවන් භික්ෂූන් වහන්සේලා දෙනමක් වුණු කුත්ථික්කුල මහාතිස්ස හිමියන් හා හම්බුගල්ලකතිස්ස හිමියන් යන භික්ෂූන් වහන්සේලා දෙනම අතරින්, කුත්ථික්කුල මහා තිස්ස හිමියන්ට එක් විදියකටත්, හම්බුගල්ලක තිස්ස හිමියන්ට තවත් විදියකටත් මහා විහාරය විසින් ප්‍රතිචාර දැක්වීමට හේතු වූ කාරණා මොනවා ද?

කාලාන්තරයක් තිස්සෙ මට තියෙන ප්‍රශ්නයක් ඕක. දන්නා අයෙක් ඇත්නම් ශාස්ත්‍රානුග්‍රහයක් වශයෙන් අප ව දැනුවත් කරත් වා!” (ශාස්ත්‍රනුග්‍රහයක් වශයෙන් අහල තිබ්බ මේ ප්‍රශ්නය vulgar විදිහට හැම දෙයක් ම දකින සමහර කට්ටියකට පෙනිලා තිබුනේ ‘policyless Mahaviharaya’ කියලා.තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වොත් ‘double standard’ කියලා)

දැන් ශාස්ත්‍ර අනුග්‍රහය. පළමුවැනි දේ තමයි කුල සංසර්ග චෝදනාව යටතේ හාමුදුරු නමක් විහාරයෙන් නෙරපනවා, ඒ කියන්නේ පබ්බාජනීය කර්මය කරනවා නම් ඒක හිතෙන හිතෙන විදිහට කරන්න පුළුවන් කමක් නෑ. ඒක විනයානුකූලව කරන්න ඕනේ. ආරාමයක් පෞද්ගලිකව පිළිගත්ත පලියට කුල සංසර්ග චෝදනාව යටතේ පබ්බාජනීය කර්මය කරන්න බෑ. ඒ විනය කර්මය කරන්න නම් ගිහියන්ගේ ශ්‍රද්ධාව නැති වෙන විදිහේ තවත් කාරණා සම්පූර්ණ කරපු හාමුදුරුවො නමක් වෙන්න ඕනෙ. ඒ කාරණා සම්පූර්ණ වෙනවා නම් පෞද්ගලික ආරාමයක් පිළි නොගත්ත හාමුදුරු නමකට වුණත් පබ්බාජනීය කර්මය කරන්න පුළුවන්. ( සම්පූර්ණ විස්තරය පාරාජිකා පාලියේ දහතුන්වැනි සංඝාදිසේසයෙ තියෙනවා. අහිංසකපාල හාමුදුරුවෝ ඒ ගැන විස්තර කරන්න මහන්සි වෙන්නේ නෑ)

ඉතින් බොහොම පැහැදිලි යි කුත්ථික්කුල මහා තිස්ස හාමුදුරුවෝ කලින් ශික්ෂාකාමියෙක් වෙලා හිටියත් අභයගිරිය පිළිගන්න කාලෙ වෙද්දි දහතුන්වෙනි සංඝාදිසේස ශික්ෂා පදයෙ එන විදියට ගිහියන් සමග යම් යම් නොමනා කටයුතු සිද්ධ කරලා තියෙන බව. ඒ නිසා උන්වහන්සේට පබ්බාජනීය විනය කර්මය සිදු කළ බව. උන්වහන්සේට අනුවර්තනය වෙච්ච මහදැලියා තිස්ස හාමුදුරුවෝ ඒ විනය කර්මයට චෝදනා කිරීම නිසා උත්ක්ෂෙපනීය විනය කර්මය සිදු කළ බව.

හම්බුගල්ලක විහාරවාසී තිස්ස හාමුදුරුවන්ට මොකද උනේ කියල අපිට හිතන්න වෙනවා. ඇමතිවරු විහාර හදලා ‘ස්වාමීනි මේ විහාර අපි ඔබ වහන්සේට පූජා කරනවා’ කියලා ඒ විහාර හාමුදුරුවොන්ට පූජා කරා කියලා තමයි ටීකාව කියන්නේ. හැබැයි ඉතිං එපමණකින් ම උන්වහන්සේ ඒ විහාර පෞද්ගලිකව පිළිගත්ත ද නැද්ද කියන එක ගැන සඳහනක් නැහැ. මේ විදිහට ගිහි අය පෞද්ගලිකව ආරාම පූජා කරන්න හදද්දී හාමුදුරුවන්ට පුළුවන් ඒක පෞද්ගලිකව පිළිගන්නේ නැතිව ආරාමික පූජාවක් විදිහට සංඝරත්නයේ පරිහරණයට පිළිගන්න. කොහොම නමුත් උන්වහන්සේ පබ්බාජනීය කර්මයකට සුදුසු වෙන මට්ටමේ වරදක් සිදු කරපු බවක් පේන්න නැහැ.

ඇයි මෙච්චර දෙයක් මහාවංසයේ වත් මහාවංස ටීකාවේ වත් කියන්නෙ නැත්තෙ? ඉතිහාස පොත ලියන කතුවරයාගේ වැඩේ තමයි ඉතිහාසය ලියන එක. විනය කාරණා පැහැදිලි කරන එක නෙමෙයි. සමහරවිට මේ විනය කාරණා එ් කාලෙ හිටපු හාමුදුරුවන්ගේ සාමාන්‍ය දැනුම වෙන්න ඇති. හැමෝටම තේරෙන දෙයක් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්න නැහැනෙ. හැබැයි වැරදිලා හරි උන්වහන්සේලා දැනගෙන හිටිය නම් ‘Policyless Mahaviharaya’ කියලා මහා විහාරයට ගල්මුල් එල්ල කරන්නට කට්ටියක් බිහිවෙන බව මේ ගැන අනිවාර්යෙන් ලියනවා ලියනවාමයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *