Comment

මහා සයිරස්, පණ්ඩුකාභය සහ ඇලෙක්සැන්ඩර්

Summary

බුදුදහම ගැන හාංකවිසියක්වත් නොදැන හිටිය පර්සියානුවන් එක්ක විතරක් නෙවෙයි බුදුදහමට එරෙහි වුනු බමුණන්, නිඝණ්ඨයන්, පාෂාණ්ඩයන් එක්ක පවා පණ්ඩුකාභය රජතුමා ඇයි හොඳයිකම් පවත්වලා තියෙනවා. මුටසීව රජතුමාටත් ඒ ආභාසය ලැබෙන්න ඇති.

  • Save

ක‍්‍රිස්තු පූර්ව 585 ඉඳලා අවුරුදු 35 ක් මීදියානු පර්සියන් අධිරාජ්‍යය තිබුණේ අස්ථ්‍යාගස් යටතේ. එක දවසක් ඔහු මහ පුදුමාකාර හීනයක් දැක්කා. ඒ හීනෙන් ඔහු දැක්කේ තමන්ගේ කුඩා දියණියගේ – ඒ කියන්නේ මන්දානා කුමරියගේ මුත‍්‍රාවලින් මුළු ආසියාව ම යටවෙනවා. ඒ “මහා ගංවතුර” ගැන ඔහු නිමිතිකරුවන්ගෙන් කරුණු විමසුවා. ඒ අය කිව්වේ මන්දානා කුමරියට උපදින දරුවා විසින් ඔහුගේ අධිරාජ්‍යය අල්ලාගනියි කියලා.

ඉතින් අස්ථ්‍යාගස් අධිරාජ්‍යයා ඒක මග අරින්න පුළුවන් උපායක් ගැන හිතුවා. විසඳුමකුත් හොයාගත්තා. ඔහු කළේ තමන්ට යටත් ප‍්‍රාන්ත රාජ්‍යයක පාලකයෙක්ට – ඒ කියන්නේ පළමුවැනි කම්බුජියා රජතුමාට තමන්ගේ දියණිය විවාහ කරලා දෙන එක. පවුලට බොහො ම ලැදි, ඉතාමත් තැන්පත් පුද්ගලයෙක් විදිහට තමයි පළමුවැනි කම්බුජියා රජතුමාව පිළිගැනුණේ.

ඒ හින්දා තමන්ට අවනත මුණුපුරෙක් හදාගන්න පුළුවන් වෙයි කියලා අස්ථ්‍යාගස් හිතුවා.
ඒ විවාහයෙන් ටික කාලයකට පස්සේ – හරියට ම කියනවා නම් ක‍්‍රිස්තු පූර්ව 577 අවුරුද්දේ දී විතර අස්ථ්‍යාගස් අධිරාජ්‍යයා තවත් පුදුමාකාර හීනයක් දැක්කා. ඒ වෙනකොට මන්දානා කුමරිය ගැබිනියක්. ඒ හීනෙන් අස්ථ්‍යාගස් දැක්කේ තමන්ගේ දියණියගේ කුසයෙන් පැන නැගිච්ච මිදි වැලක් මුළු ලෝකය ම වෙලාගෙන පැතිරෙන බවක්. අස්ථ්‍යාගස් ආයෙත් වතාවක් නිමිතිකරුවන්ගෙන් කරුණු ඇහුවා. කලින් දැනගත්ත අනාවැකිය ම ආයෙත් කියැවුනා. ඒ විතරක් නෙවෙයි. මේ වතාවේ නිමිතිකරුවෝ කිව්වා ඒ විදිහට උපදින කුමාරයා මහා අධිරාජ්‍යයක් ගොඩනගයි කියලා. අස්ථ්‍යාගස් බයෙන් තැතිගත්තා.

ක‍්‍රිස්තු පූර්ව 576 අවුරුද්දේ ඒ දරුවා මේ ලොකේ එළිය දැක්කා. රාජ සභාවේ හිටිය තමන්ට බොහො ම අවනත සෙනෙවියාට – ඒ කියන්නේ අර්බාකු සෙනෙවියාට අස්ථ්‍යාගස් කිව්වා ඒ දරුවා ව මරලා දාන්න කියලා. ඒත් ඒ විදිහට කිරි සප්පයකුගේ ලේ හලන්න අර්බාකු කැමැතිවුනේ නෑ. ඔහු ඒ දරුවා ව පැහැරගෙන ගිහිල්ලා මිත‍්‍රදේතස් කියන ගොපල්ලාගේ ගෙදර හැංගුවා. ඒ දරුවා ගොපල්ලන් අතර හැදී වැඩුනා.

ඒ දරුවාගේ නම තමයි සයිරස්. ඒ නමේ තේරුම “සූර්යයා වගේ” කියන එක. මේ හිරු සදිසි කුමාරයා තරුණ වියට එළැඹෙද්දි බොහොම සටන්කාමී, එඩිතර අයකු බවට පත්වුනා.
අස්ථ්‍යාගස් අධිරාජ්‍යයා තමන්ගේ මුණුබුරාගේ හමුදාවට මුහුණුදුන්නේ පාසාර්ගාද්වල දී. අර්බාකු සෙනෙවියා පවා සයිරස්ට එකතුවුනා. ඉතින් අස්ථ්‍යාගස්ට බලය අහිමිවුනා. එතකොට සයිරස් ගේ වයස අවුරුදු 26 යි.

ඔහු එතැනින් නැවතුනේ නෑ. ඔහු ගේ බලය තව තවත් දේශ දේශාන්තරවලට පැතිරිලා ගියා. නිරිතදිග ආසියාවට, මධ්‍යම ආසියාවට විතරක් නෙවෙයි ඉන්දු නිම්නය දක්වා ම ඔහු ගේ බලය පැතිරුනා.

ඉතින් ඔහුව දැනටත් හඳුන්වන්නේ මහා සයිරස් අධිරාජ්‍යයා කියලා. ඔහු ගොඩනගපු ආකයිමනිද් අධිරාජ්‍යය තමයි ඒ වෙද්දි ලෝකයේ වැඩි ම බිමක් පාලනය කරපු තනි පාලනය. තමන්ගේ සීයාගේ මීදියාවට අමතර ව ලිදියාව, බැබිලෝනියාව පවා සයිරස්ගේ අධිරාජ්‍යයේ කේන්ද්‍රීය ප‍්‍රදේශ බවට පත්වුනා. යුදෙව්වෝ පවා ඔහුට ගරුකළා. බයිබලයටත් ඔහුගේ නම ඇතුල්කළා. තමන්ගේ ගැලවුම්කාරයෙක් විදිහට යුදෙව්වෝ හඳුනාගත්ත එක ම යුදෙව් නොවන පුද්ගලයා තමයි සයිරස්.

සයිරස්ගේ බලයේ ආනුභාවයෙන් පර්සියානු බලය පැතිරෙමින් තිබුණු බව පැහැදිළියි. ඉතින් ක‍්‍රිස්තු පූර්ව 543 අවුරද්දේ විජයාගමනය වෙද්දී අපේ රටට යම් ආකාරයක පර්සියානු සංක‍්‍රමණයක් වෙලා තිබීම පුදුමයට කාරණයක් නෙවෙයි. මොකද ක‍්‍රිස්තු පූර්ව 559 දී වැවෙන්න පටන්ගත්ත සයිරස්ගේ මිදිවැල ඒ වෙද්දී තව තව රාජ්‍යයන් වෙලාගනිමින් පැතිරෙමින් තිබුණේ. පර්සියානුවෝ කියන්නේ මුහුදේ පවා හපන්කම් පෙන්නපු ජාතියක්.

ඉතින් සයිරස් අධිරාජ්‍යාගේ කාලය වෙනකොට පර්සියානු සංක‍්‍රමණිකයෝ අරාබි මුහුද හරහා අපේ රටට ආවා කියන එක කිසිම පදනමක් නැති අනුමානයක් කියලා කියන්න බෑ. කලින් පරිච්ඡේදයෙන් කියපු විදිහට ඒ අය අපේ රටට ඇතුල්වෙන්න ඇත්තේ බටහිර පැත්තෙන්. මොකද අරාබි මුහුද තියෙන්නේ ඒ පැත්තෙනේ. ඉතින් දැදුරු ඔයට උතුරින්, මල්වතු ඔයට දකුණින් පදිංචිවෙන්න ඒ අය උත්සාහකිරීම තේරුම්ගන්න පුළුවන්.

නාගයන් සහ ශාක්‍යයන් අපේ රටට ආවේ ඉන්දියානු උපමහාද්වීපයේ ඊසානදිග පැත්තෙන්. ඒත් පර්සියාව පිහිටලා තියෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ වයඹ කොණටත් ඔබ්බෙන්. ඒ කියන්නේ පර්සියානුවෝ හැදුනු වැඩුණු සංස්කෘතික ලෝකයට හාත්පසින් ම වෙනස් සංස්කෘතික ලෝකයක තමයි නාගයෝ සහ ශාක්‍යයෝ හැදිලා වැඩිලා තියෙන්නේ. ඉතින් එකිනෙකට වෙනස් සංස්කෘතික ලෝක දෙකකින් ආපු පිරිස් අතර නොගැලපීම් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. මේ නොගැලපීම් මුල්කරගෙන ඇතිවුනා කියලා හිතන්න පුළුවන් සංස්කෘතික ගැටුම් යුද්ධ බවට පෙරලෙන්නත් ඇති.

නාග-ශාක්‍ය එකතුවට විජයාගමනය නිසා යුද නායකත්වයක් ලැබුණා. ඒ ගැටුමේ මුල් වටයෙන් විජයගේ නායකත්වය වටා පෙළගැසුණු පිරිස් ජයගත්තා. පර්සියානුවෝ පසු බැස්සා.

රාජ්‍යත්වය තමන්ගේ ම කෙනෙක්ට උරුමකරලා දෙන්න විජයට බැරිවුනා. පඬුවස්දෙව් ඇතුළු පිරිස එන්නේ ඒ අඩුව මකන්න. ඒත් ඔහුගෙන් පස්සේ ආයෙත් අස්ථාවර කාලයක් ආවා. රජගෙදර ඇතුළේ පවා ගැටුම් ඇතිවෙන්න පටන්ගත්තා. පණ්ඩුකාභය කියන්නේ දීඝගාමිණි කියන ශාක්‍යයාගේ පුතා.

පණ්ඩුකාභය කුමාරයාගේ කතාව සයිරස්ගේ කතාවට බොහෝ දුරට සමානයි. උන්මාද චිත‍්‍රාවට උපදින දරුවා තමන්ගේ මාමාලා මරලා රජවෙන බවට අනාවැකි පළවුනා. ඒත් ඔහුට රජකම දෙන්න ඒ මාමාලා කැමැතිවුනේ නෑ. ඉතින් ඉපැදුනු ගමන් ව ඔහු ව මාළිගයෙන් පිටමං කෙරුණා. ඔහු හැදී වැඩුණේ යක්‍ෂයන් අතර. යක්‍ෂයන්ගේ – ඒ කියන්නේ මුල් වටයේ ගැටුමෙන් පහු බැහැලා හිටිය පර්සියානු සංක‍්‍රමණිකයන් ගේ උදව් ලබාගත්ත ඔහු විජයගේ උරුමක්කාරයන්ට එරෙහි ව සටන්වැදුණා. ඒ සටනින් ඔහු ජයගත්තා.

ග‍්‍රීක සහ ඊජිප්තු කැරැලි හා යුද්ධ හින්දා ආකයිමනිද් අධිරාජ්‍යය යම් තරමකින් හෙම්බත්වෙලා හිටියත් පණ්ඩුකාභය බලයට එන කාලය වෙද්දි පවා බටහිර ආසියාවේ ආධිපත්‍යයට හිමිකම් කිව්වේ පර්සියානුවෝ. ඒ විතරක් නෙවෙයි. නැගෙනහිර පැත්තෙන් – ඒ කියන්නේ ඉන්දු නිම්නය පැත්තෙන් ඔවුන් ගේ අධිරාජ්‍යයට අභියෝගයක් එල්ලවුනු බවක් වාර්තාවෙන්නෙත් නෑ. ඇත්තෙන් ම ක‍්‍රිස්තු පූර්ව 475 ඉඳලා 375 දක්වා ගතවුනු අවුරුදු 100 සළකන්නේ පර්සියානු ආකයිමනිද් අධිරාජ්‍යය තව තවත් ව්‍යාප්ත වුනු, සංස්කෘතික වශයෙන් බලවත්ව හිටිය යුගයක් විදිහට.

පණ්ඩුකාභය කුමාරයා ඉපැදිලා තියෙන්නේ ක‍්‍රිස්තු පූර්ව 474 දී විතර. රජවුනේ ක‍්‍රිස්තු පූර්ව 437 දී. ඒ හින්දා පණ්ඩුකාභයට පර්සියානු සංක‍්‍රමණිකයන්ගේ සහයෝගය හිමිවීම තේරුම්ගන්න පුළුවන්.

බලයට ආවට පස්සේ පණ්ඩුකාභය තමන්ට උදව් කරපු පර්සියානු සංක‍්‍රමණිකයන්ට – ඒ කියන්නේ යක්කුන්ට සැළකුවා. චිත‍්‍රරාජ කියන යක්‍ෂයාත් එක්ක සම අසුනක ඉඳගෙන නැකැත් කෙළි දවසේ නැටුම් බලන්නත් ඔහු කටයුතු කළා. කාලවේල යක්‍ෂයා වෙනුවෙන් දෙවොලකුත් (මාළිගාවක්?) ඉදිකළා. චිත‍්‍රරාජයාට අභයවැව යටපැත්තේ වාසස්ථානයක් හදලා දුන්නා. තමන්ට උදව්කළ “යක්‍ෂ යෝනියෙහි උපන්” දාසියට අනුරාධපුරයේ දකුණු දොර අසළ වාසස්ථානයක් දුන්නා. වළාවාමුඛ යකින්නියට රජ උයන ඇතුළේ ම නවාතැන්දුන්නා. එයට අමතර ව කාළවේළත්, චිත‍්‍රරාජත් එක්ක පණ්ඩුකාභය රජතුමා සම්පත් අනුභව කළ බවත් කියනවා. ඉතින් මේ සම්බන්ධය නිසා පර්සියානු සංක‍්‍රමණිකයන්ගේ බලය නැවත වතාවක් හිස ඔසවපු බවක් හිතන්න පුළුවන්.

තාපසයන්, නිඝණ්ඨයන්, පාෂාණ්ඩයන්, ශ‍්‍රමණයන්, බමුණන්, මිථ්‍යා දෘෂ්ටිකයන්, පරිබ‍්‍රාජකයන්, ආජිවකයන් වෙනුවෙන් අසපු, ආරාම, දෙවොල්, ගෙවල්, ශාලා හදලා දෙන්නත් පණ්ඩුකාභය රජතුමා කටයුතුකරලා තියෙනවා. උපතින් ශාක්‍ය සම්බන්ධයක් තිබුණත් බුදුදහම වෙනුවෙන් එතුමා යමක් කළ බවක් අපේ වංශ කතාවල කොතැනකවත් සඳහන් වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි. නාගයන් එක්ක සම්බන්ධකම් පවත්වපු බවක් කියන්නෙත් නෑ. පණ්ඩුකාභයාභිෂේක කතාව හැරෙන්නට එතුමා කළ වෙනත් කිසිම දෙයක් ගැන කිසිම සඳහනක් කරන්නෙත් නෑ.

ඒත් එතුමා අවුරුදු 70 ක් ම අපේ රට පාලනය කරපු බව කියනවා. ඇත්තෙන් ම අපේ ඉතිහාසයේ අපැහැදිළි කාලවකවානුවක් විදිහට සළකන්න පුළුවන් පණ්ඩුකාභය රාජාභිෂේකයේ ඉඳලා ඔහු ගේ පුතා විදිහට වංශකතා කියන මුටසීව රජුගේ මරණය දක්වා ගතවුනු අවුරුදු 130. මහමෙව්නා උයන ඉදිකිරීම ගැන හැරෙන්න මුටසීව රජු කළා කියන වෙනත් කිසි ම දෙයක් අපේ වංශකතාවල සඳහන්කරලා නෑ. ඒත් ඔහු අවුරුදු 60 ක් රට පාලනය කළ බවක් කියනවා.

මෙහෙම වුනේ ඇයි? පණ්ඩුකාභයගේත් මුටසීවගේත් මිථ්‍යාදෘෂ්ටික ආශ‍්‍රය මේ කාරණයට හේතුවුන බවට සැකයක් නෑ. බුදුදහම ගැන හාංකවිසියක්වත් නොදැන හිටිය පර්සියානුවන් එක්ක විතරක් නෙවෙයි බුදුදහමට එරෙහි වුනු බමුණන්, නිඝණ්ඨයන්, පාෂාණ්ඩයන් එක්ක පවා පණ්ඩුකාභය රජතුමා ඇයි හොඳයිකම් පවත්වලා තියෙනවා. මුටසීව රජතුමාටත් ඒ ආභාසය ලැබෙන්න ඇති. ඉතින් ඒ රජවරු දෙන්නා කරපු කියපු දේවල් ගැන වාර්තා කරන්න ඕනකමක් අපේ වංශකතාකරුවෝ ළඟ තියෙන්න නැතුව ඇති.

මහින්දාගමනය සම්බන්ධ කතාවේ දී පවා අපේ වංශකතා කියන්නේ “මුටසීව රජ මහළු” හින්දා ඔහුගේ පුත‍්‍රයා – ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජ වන තුරු ඒ ගමන කල් දැම්මා කියලා. ඒත් මේ රටේ තිබුණු මිථ්‍යාදෘෂ්ටික බලය බිඳවැටෙන කල් ඒ ගමන කල්දැම්මා කියලා හිතන්න පුළුවන්.

පණ්ඩුකාභය, මුටසීව කාලයේ දී තිබුණු මිථ්‍යාදෘෂ්ටික බලය දේවානම්පියතිස්ස කාලය වෙද්දී බිඳවැටුණා කියලා කියන්නේ කොහොම ද? ක‍්‍රිස්තු වර්ෂ 375 න් අවුරුදු 40 ක් 45 ක් ඇතුළත පර්සියානු ආකයිමනිද් අධිරාජ්‍යය පිරිහිලා, බිඳවැටුණා. මහා ඇලෙක්සැන්ඩර් පර්සියාව ආක‍්‍රමණය කළේ ක‍්‍රිස්තු පූර්ව 334 දී. අපි දන්නවා එයින් අවුරුදු 8 ක් ගතවෙද්දී ඇලෙක්සැන්ඩර් ඉන්දු නිම්නයටත් පහරදුන්න බව. වයස අවුරුදු 32 දී – ඒ කියන්නේ ක‍්‍රිස්තු පූර්ව 323 දී ඇලෙක්සැන්ඩර් මියගියත් පර්සියාවේත් ඉන්දියානු උපමහාද්වීපයේ උතුරු ප‍්‍රදේශවල යවන (ග‍්‍රීක) බලය තවත් කාලයක් ඒ විදිහට ම රැකුනා. ආයෙත් වතාවක් පර්සියානුවන්ට ඔළුව උස්සන්න පුළුවන් වුනේ ක‍්‍රිස්තු පූර්ව 247 දී පාර්තියානු අධිරාජ්‍යය පිහිටුවා ගත්තාට පස්සේ. පර්තියානු අධිරාජ්‍ය පාලනයේ නිල භාෂාව විදිහට පවා සැළකුණේ ග‍්‍රීක. මහා ඇලෙක්සැන්ඩර් විසින් ඇති කරපු බලපෑමේ තරම ඒ කාරණයෙන් පවා පැහැදිළි කරගන්න පුළුවන්.

කොහොම වුනත් ඒ වෙද්දී අශෝක මගධය කේන්ද්‍ර කරගෙන තමන්ගේ අධිරාජ්‍යය ගොඩනගලා අවසන්. මුළුමහත් බටහිර ආසියාව ම ග‍්‍රීක බලයට යටත් වූ නිසා පර්සියානුවොත් එක්ක අපේ තිබුණු සබඳතා අත හැරෙන්න ඇති. ඊට අමතර ව අශෝකගේ සංග‍්‍රාමවලින් පීඩාවට ලක්වුනු කාලිංග ජනයා පවා මේ රටට පළා එන්න ඇති. මේ තත්ත්වය පර්සියානු සංක‍්‍රමණිකයන්ගේ අධිකාර බලය පිරිහීමට හේතුවක්.

දේවානම්පියතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයා සමඟ මිත‍්‍රත්වයක් ගොඩ නගාගෙන හිටිය බව අපේ වංශකතා කියනවා. තවත් වැදගත් කාරණයක් අමතක කරන්න හොඳ නෑ. ඒ තමයි සංස්කෘතික වෙනස්කම්. යක්‍ෂයන් අතර හැදිලා වැඩිලා ඒ සංස්කෘතිය උරුම කරගත්තේ පණ්ඩුකාභය රජතුමා. ඒත් ඒ උරුමය එක පරම්පරාවකට දෙකකට වඩා ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා සංස්කෘතික සමානකම් උඩ විජයගේ උරුමක්කාරයෝ එක්ක ශාක්‍ය – නාග එකතුවක් ආයෙත් ඇතිවෙන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ වගේ හවුලක් ඇති වෙද්දි, පර්සියාවෙනුත් උදව්වක් ලබාගන්න බැරි ව හිටිය යක්‍ෂ ජනතාව පැත්තකට තල්ලූවුනා කියලා හිතන්න පුළුවන්.

ඒ අය ආයෙත් ඔළුව ඉස්සුවේ පාර්තියානු අධිරාජ්‍යය පර්සියාවේ ඇතිවුනාට පස්සේ. ඒ අධිරාජ්‍යය බිහිවුනේ ක‍්‍රිස්තු පූර්ව 247 දී. ඊට අවුරුදු 10 කට පස්සේ අශ්ව වෙළෙඳාමේ මේ රටට ආපු සේන සහ ගුත්තික දෙන්නා සූරතිස්ස රජතුමා ව ඝාතනය කරලා අනුරාධපුරයේ බලය අල්ලාගත්තා. රට ඇතුළෙන් උදව්වක් නැති ව ඒ වගේ දෙයක් කරන්න බෑ. අවුරුදු 22 ක් ම තමන්ගේ බලය රැකගන්න ඒ දෙන්නාට පුළුවන් වෙන්න ඇත්තෙත් ඒ හින්දා. අසේල රජතුමා ඒ පාලනය අවසන් කළත් ඔහුට රට පාලනය කරන්න පුළුවන් වුනේ අවුරුදු 10 ක් විතරයි.

ඊ ළඟට ආවේ එළාර. ඔහුගේ පර්සියානු සම්බන්ධය මෙයට පෙර පරිච්ඡේදයෙන් විස්තර කළා. ගැමුණු මහ රජතුමා අපේ රටේ මහා වීරයා විදිහට සළකන්නේ මේ පර්සියානු ආක‍්‍රමණ මුළුමනින් ම අවසන් කළ තැනැත්තා වීම නිසා බව පැහැදිළියි. ඒ මහා යුද්ධය නිසා රට ඇතුළේ තිබුණු පර්සියානු බලයත් තීරණාත්මක විදිහට අඩුවෙන්න ඇති.

සේන හා ගුත්තිකත් එළාරත් දෙමළ විදිහට හඳුන්වන්න අපේ වංශකතා කටයුතු කරන්නේ පසුකාලීන අවශ්‍යතාවක් හින්දා. දෙවැනි රාජසිංහ රජතුමා “සෙංකඩගල පටං පේරාදෙනිය ද ගන්නොරුව දක්වා සිටිය ප‍්‍රතිකාල් සේනාව වනසා දැමූවාහා. එදා කොට හෙළු දෙමළුන්ගේ ලේ මාවැලි ග‍ඟේ ආ හෙයින් ලේවැල්ල යයි නම් තැවූහ” කියා රාජාවලිය කියන්නේත් ඒ සම්ප‍්‍රදායට අනුගමනය කරමින්.

[“පෙරදිගට ගමනක්” පොතේ 17 වැනි පරිච්ඡේදය.]

  • Save
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap