Opinion

මහින්ද කලබල නැත. කලබල වී කරන්නට දෙයක් නැත.

Summary

මහින්ද මහත්තයා වෙන කෙනෙකුට රජ වෙන්නට දුන්නේත් නැත. චීනාට හා ඉන්දියානුවාට රජවීමට දුන්නේත් නැත. දැන් ඒ යුගය අවසන්ය. ඔක්කොම රජවරු වී ඇති අතර චීනා හා ඉන්දියන්කාරයා මහරජ වී ඇත.

ගියවර මා ලියූ ලිපි ලිපියෙන් දොස්තර මහත්වරුන්ට රිදුණා වැඩි යැයි සිතමි. එයට හේතුව ඔවුන් ද අප මෙන් ම මේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් බව මට අමතකවීමයි. අපට කළ හැකි දේට වඩා දෙයක් ඔවුන්ට ද කළ නොහැක.

නැති වෙන්නට දෙයක් නැතැයි සිතා ලියන්නෝ දැන් නැත. ඇති වෙන්නට ඇති දෙයක් සිතා ලියන්නෝ ම වැඩිය. වහලාට නැති වෙන්නට ඇත්තේ යදම් පමණක් යැයි කීවේ ස්පාටකස් ද වෙනත් අයෙකු ද කියා මට මතක නැත.

මහින්ද මහතා මහරජ වීම එදා අපේ කෝපයට හේතු වී ඇත. එහෙත් මහින්ද මහතා එතනින් ඉවත්කිරීම තුළ චීනා හා ඉන්දියන්කාරයා ලංකාවේ රජවී ඇති බව අපට දැන් දැනේ.

මහින්ද මහත්තයා වෙන කෙනෙකුට රජ වෙන්නට දුන්නේත් නැත. චීනාට හා ඉන්දියානුවාට රජවීමට දුන්නේත් නැත. දැන් ඒ යුගය අවසන්ය. ඔක්කොම රජවරු වී ඇති අතර චීනා හා ඉන්දියන්කාරයා මහරජ වී ඇත.

මහින්ද මහතා මේ ගැන කලබල වන්නේ නැත. කලබලවී වැඩක් නැති බව එතුමා දනියි. කලබල විය යුතු තැනත් නොවිය යුතු තැනත් මේ රටේ හොදින්ම දැන සිටි නායකයන් අතරට මහින්ද මහතා ද අයත්ය.

අද මේ රටේ මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ. අමරපුර නිකායන් නැත. ඒ වෙනුවට බණ කියන නිකායන් ඇත. බණ කියන හාමුදුරුවරු මහානායක කරගත් අනුගාමිකයන් පිරිසක් බිහි ව තිබේ.

මේ කතාව මට ලැබුණේ මගේ මිත්‍රයෙක්ගෙනි. දක්ෂිණ අධිවේගය ආදී අධිවේග තිබේ. එ්වායේ තදබදය ඇතැම් කාලවලට ඉතා ඉහළය. එහෙත් එයටත් වඩා නිවන කරා වන අධිවේගී මාර්ග අද ඉතා ජනප්‍රිය වී ඇත. සෝවාන් අධිවේගී මාර්ග දක්ෂිණ හෝ වෙනත් අධිවේග මාර්ගවලට වඩා ජනකාන්ත වී ඇත. මාතරට පැය එකහමාරෙන් සේ එලෙසම සෝවාන් සොයන තත්වයක් ද උද්ගව ඇත. අධිවේගී මාර්ග චින්තනයට බලපා ඇත්තේ එසේය.

පියුමිට විනාඩි හතළිස්පහෙන් ඇප ලැබෙන අතර මොරටුවේ සමන්ලාල්ට මේ කපේට ඇප ලැබෙන පාටක් නැත. සමන්ලාල්ලා කූඩු වී පියුමිලා පියා සලන්නේ රජකම ඇත්තේ මහින්ද මහතාට නොව චිනාට හා ඉන්දියානුවාට වීම නිසාය. කෙසේවුවත් මහින්ද මහතා මේ ගැන කලබල නැත. කලබල වී කරන්නට දෙයක් නැත. ‌

ජෝතිගේ මෙන් ම ගෝඨාගේ ද හදවත රත්තරන්ය. එහෙත් රත්තරන් හදවත ගායනයට තරම් පාලනයට සුදුසු නැත. එහෙත් අපි පාලනයට වඩා ගායනයට කැමතිය.  

මේ සියලුම ප්‍රශ්නවලට ජේවීපී එකට දොස් කියා වැඩක් නැත. සියේට තුන රැකගැනීමට වඩා වැඩි වෙනත් අහිංසක ප්‍රාර්ථනාවක් ඔවුන්ට නැත. මා මේ ජේවීපී එකට දොස් කියනවා නොවේ. රට වැටී ඇති අසරන තැන කියනවා පමණි. අප වැටී ඇති අසරණ තැන කියනවා පමණි.

අප නොදැන සිටියාට රට ගමන් කරන්නේ මෙතනට බව මහින්ද මහතා දැන සිටියේය. එහෙත් එන්නට හැරියේය. එහෙත් මෙතනටම වැටේ යැයි මහින්ද මහතාවත් සිතන්නට නැතිව ඇත.

මහින්ද යටතේ බැසිල්ට ද ඉඩ ඇත. බැසිල්ට ද වැඩ ඇත. ඇත්තටම කාට වුණත් වැඩ ඇත. මර්වින් සිල්වලාට ද ගස් බැදීම වැනි හෝ වැඩ ඇත. එහෙත් දැන් රටටම බණ ඇසීමට වඩා වැඩ නැත. අධිවේගී සෝවාන් මාර්ගය ම වැනි අධිවේගී ආර්ථික සංවර්ධනයක් ද ඇත. එහෙත් මනසේ ම පමණි.

ජනතාව වැඩ අතහරිමින් සිටිති. අලුත් අවුරුද්දට නොව අවුරුද්දටමය. සමහර විට සදහටමය. නගරාධිපතිවරු පොලිසියට වී වැඩ අල්ලන විට ජනතාවට වෙන කරන්නට දෙයක් නැත.

මහින්දට වැඩ බැරි යැයි තීන්දු කළ ජනතාවම අද වැඩ බැරි ටාසන්ලා බවට පත්ව සිටිති. මහින්ද කලබල නැත. කලබලවී කරන්නට දෙයක් නැත. චීනාගෙන් හෝ ඉන්දියානුවාගෙන් කෙටිකාලයකින් රට ගලවාගැනීමට නොහැක. ඒ තාක් කල් ඕනම අවස්ථාවක පියුමිලාට ඇප ලැබෙනු ඇත.

මේවාද ජේවීපී ලියැවිලි පමණි. එයට වඩා දෙයක් අපට කළ නොහැක. නොලියන හා වැඩියෙන් නොසිතත මහින්දලා නැති කළ අපට ඇත්තේ වැඩි වැඩියෙන් ලියන්නට කියන්නට ට පමණි.

මහින්ද මහතා වැඩිය බණ කීවේ නැත. මහින්ද මහතා පමණට වැඩි පිංකම් කරන්නට ගියේ ද නැත. ඒ නිසා අපි මහින්ද මහතාට විරුද්ධ වූයෙමු. එහි කර්ම විපාක අද විඳිමු.  

මහින්ද මහතා සියල්ල අතහැරියාක් මෙන් සිටින විට රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙයි. ඒ වෙන ජෝගි නටන්නටය. මහින්ද මහතා එයට සතුටු වනු ඇත. රටම නටන ජෝගිය රනිල් මහතාගේ කේවල රංගනය තුළ දකිමින් පාර්ලිමේන්තුවේ සැනසිල්ලෙන් සිටින්නට මහින්ද මහතාට ලැබෙනු ඇත.

දැන් ඔක්කොම ලියලා ඉවරය. දැන් මට ද කරන්නට ඇත්තේ එකම එක වැඩක් පමණි. ඒ රනිල් පාර්ලිමේන්තු එනතුරු බලා සිටීමය. මේ කුණු දාන්නට පේස් බුක් හැර වෙන බක්කියක් ද නැත.

එදා අපට සටන් කරන්නට හෝ විරුද්ධ වන්නට හෝ මහින්ද කෙනෙකු සිටියේය.

Leave a Reply

Your email address will not be published.