Opinion

මහින්ද මහත්තයා හා සරත් මහත්තයා මනුස්ස දෘෂ්ටිකෝණයකින්

Summary

ඇත්තටම රාජපක්ෂ මහත්තුරු අද ටිකක් හරි හැදිලා ඉන්නවා නම් ඒ අපි වගේ ගැත්තො නිසා නෙමෙයි සරත් පොන්සේකා මහත්තයා වගේ වීරයෝ නිසා.

  • Save

[සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව ]

අපි යුද්දෙට යනවට වඩා බයයි ඇත්ත කියන්න. අපි කියන්නෙ බය නැති ඇත්ත විතරයි. අපි ඇත්ත කියන එක අපට පාඩුවක් නොවන තැනින් නතර කරනවා.

අපි කියන්නෙ අපිට පාඩුවක් නොවන බවට අපට විශ්වාස ඇත්ත විතරයි. එහෙම නැතිනම් අපට වාසි ඇත්ත විතරයි.

එහෙම ඇත්ත කතා කරලා වීරයෝ වෙනවා. පාඩුවෙන ඇත්ත කතා කරලා දුෂ්ටයෝ වෙනවට වඩා වාසි ඇත්ත කතා කරලා වීරයෝ වෙනවා.

ඉතින් ඒක නිසා ම මේ ඇත්ත තේරුමක් නැති වෙලා තියෙනවා.

යුද්දෙට ගියොත් ටිකක් හරි බේරුමක් තියෙනවා. ඒත් ඇත්ත කිව්වොත් ටිකක්වත් බේරුමක් නෑ. ඇත්තම කියනවා නම් ඇත්ත කියන්න අවශ්‍ය නිර්භයකම හරි ආත්ම පරිත්‍යාගශීලීත්වය හරි අපට නෑ.
ඒක තමයි ඇත්ත.

සමහර විට අපි හිතන දේ ඇත්ත නොවෙන්න පුලුවන්. ඒ නිසා අපි කියන දේ ඇත්ත නොවෙන්න පුලුවන්. එහෙම වුණත් අපි ඇත්ත කියලා හිතෙන දේ අපි කියන්න ඕනැ. ඒක තමයි අවංකකම.
අවංක දෙයකින් විතරයි අවංක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

දැං මං කියන්න යන්නෙ ඒ වගේ කතාවක්. සරත් පොන්සේකා මහත්තයා අද රාජපක්ෂ මහත්වරුන්ගෙන් ඈත්වෙලා ඉන්නෙ. ඒක සරත් පොන්සේකා මහත්තයගෙම වැරැද්දද?
රාජපක්ෂ මහත්වරුන්ට යටත් නොවී රාජපක්ෂ මහත්තුරු ළග ඉන්න පුලුවන්ද?

රාජපක්ෂ මහත්තුරු ගාව දැන් ඉන්න ඔක්කොම සරත් පොන්සේකා වගේ නොවන අය නේද? රාජපක්ෂ සහෝදරයෝ තමන් ලග ඉන්න දෙන්නෙ ඒ වගේ අයට විතරයි නේද?

මහින්ද මහත්තයා මං දෙවියෙක් වගේ අදහනවා. උතුර ජයගන්නවටත් වඩා අමාරැ වැඩක් හැටියට තිබුණෙ දකුණ සමගි කිරීම. මහින්ද මහත්තයා ඒක කළා. ඒක දෙයියෙකුට පවා කරන්න අමාරු වැඩක්.

ඒත් කොටි පැරැද්දුවේ සරත් මහත්තයා.

කොටි පරද්දන්න කරුණු දෙකක් ඕනැ වෙලා තිබුණා. එකක් තමයි දකුණ එක මතයකට ගේන එක. ඒකට තමයි දේශපාලන නායකත්වය කියන්නෙ.

අනික තමයි කොටි යුද්ධමය වශයෙන් පරද්දන්න පුලුවන් ඒ කියන්නෙ ප්‍රභාකරන් වඩා ශක්තිමත් සෙන්පතියෙක්.

පළවෙනි එක මහින්ද මහත්තයා කළා. දෙවෙනි එක සරත් මහත්තයා කළා.

ඉතින් ඒ නිසා දෙන්නට දෙන්නා දෙයියන්ට වගේ සලකන්න ඕනැ. ඒත් ඒක එහෙම වුණාද?

සරත් පොන්සේකා මහත්තයා අයින් වෙනකොට අපිට හිතුණෙ එයාගෙ හිතුවක්කාරකමට ගියා කියලා.

ඒත් දැන් හිතෙනවා යටත් වෙන්නෙ නැතිව ඒ කියන්නෙ කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි හින්ද සරත් මහත්තයා ගියා කියලා.

මට එහෙම දැන් හිතෙන්නෙ ද්විත්ව පුරවැසිකම එක්ක මේ විසිවෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරගත්ත හැටි දැකලා. ඊට පස්සෙ තමයි මට හිතුණෙ සරත් පොන්සේකා මහත්තයා එදා යන්න ඇත්තෙ කොන්ද ඇති වීරයෙක් හැටියට එතන ඉන්න බැරි හින්ද කියලා. ගැත්තො හිටියට වීරයො ඉන්නෙ නෑ. විශේෂයෙන් ප්‍රභාකරන් පවා පරද්දපු වීරයෙක්.

ඒත් එකට සරත් මහත්තයට දුන්න දඩුවම. කොන්දක් තබා ගැනීමේ වැරැද්දට රාජපක්ෂ මහත්තුරැ සරත් පොන්සේකා මහත්තයට දුන් දඩුවම.
ඒක සරත් මහත්තයා වීරයෙක් වගේ දරාගෙන හිටපු උදාර ලීලාව.

ඇත්තටම රාජපක්ෂ මහත්තුරු අද ටිකක් හරි හැදිලා ඉන්නවා නම් ඒ අපි වගේ ගැත්තො නිසා නෙමෙයි සරත් පොන්සේකා මහත්තයා වගේ වීරයෝ නිසා.
ඒත් මේ ඇත්ත කියන්නෙ කවුද? මං මේක කියන්නෙ දේශපාලන කෝණයකින් නෙමෙයි මනුස්ස කෝණයකින්.

මට දෙන්නම ඒ කියන්නේ මහින්ද මහත්තයා සහ සරත් මහත්තයා එක වගේ වීරයෝ. එක්කෙනෙක්වත් අනික් කෙනාට වඩා පල්ලෙහාට දාන්න මට ඕනෑ නෑ. මේ දෙන්නම හිටියේ නැතිනම් අද මේ දෙන්නගෙන එක්කෙනෙක්වත් වීරයෝ නොවෙන්න තිබුණා.

එතකොට ඒ අසමගි වීමෙදි මං දකින්නෙ මේ ද්විත්ව පුරවැසිකම එක්ක 20 සංශෝධනය කරගත්ත ආකාරය දැක්කට පස්සෙ මට හිතෙන්නෙ වැඩි වැරැද්ද තියෙන්නෙ මහින්ද මහත්තයගෙ පැත්තෙ කියලා.

ඒත් එක නොදැක්ක වගේ එහෙම නැතිනම් සරත් මහත්තයගේ වීරත්වය නොදැක්කා වගේ ඉන්නෙ ඇයි? යුද ජයග්‍රහණයට ලබාදුන් දායකත්වය නායකත්වය වෙනුවෙන් ලැබිය යුතු සියලු දේ මහින්ද මහත්තයට ලැබුණා.

ඒත් සරත් පොන්සේකා ලබාගත් දේ කුමක්ද?

අවුරුදු දෙකක් හිරේ සිටීම හා ඇමතිකමක් හා මන්ත්‍රීකමක් ලබාගැනීම. ඒත් මේ මන්ත්‍රීකමෙන් සරත් මහත්තයා ජනාධිපතිකම ලැබුණටත් වඩා තෘප්තිමත්.
ඒකත් වීරකම.

මිනිසුන්ගේ වීරකම් අපි කියන්න ඕනැ. ඇත්ත කියනවා කියන්නෙ ඒකට. ඒත් ගොඩක් වීරයෝ එහෙම කරන්නෙ නෑ.

අන්තිමට මටත් හිතෙනවා මාත් ඇත්ත කිව්වා මදි කියලා. මාත් බයට සම්පූර්ණ ඇත්ත කිව්වේ නෑ කියලා.

ඔව් ඇත්තටම මිනිස්සුන්ට ඇත්ත කියන්න බැරි ඇත්ත නොදන්න නිසා නෙමෙයි බය නිසා.

මං දන්න ලොකුම ඇත්ත මහින්ද මහත්තයයි සරත් මහත්තයි එක වගේ වීරයෝ. අපි නොකිව්වාට ඒක ඉතිහාසයේ ලියැවෙන එකනම් වලක්වන්න බෑ. මහින්ද මහත්තයා වීරයෙක් වෙලා ඉවරයි. ඒත් අනාගතය විසින් සරත් මහත්තයාගේ වීරත්වය මතු කරනු ඇත. ජනාධිපති හෝ අගමැති නොවුණත් සරත් මහත්තයාගේ වීරත්වය නම් දවසින් දවස පෙනෙන්නට පටන් ගනු ඇත.

ද්විත්ව පුරවැසි වගන්තිය සමග 20 සම්මත කරගැනීමෙන් පසු එය වඩාත් පෙනෙන්නට පටන් ගැණිනි.

දැන් ලියන්න ලියන්න මෙතන ඇත්ත මැකෙනවා වගේ හිතෙනවා. නවතිනවා.’

මේ ජයවීර සිහිනයෙන් ලියූ පුවත්පත් ලිපියකි. හැබැහින් නම් කවදාවත් ඔහු මෙවැන්නක් නොලියනු ඇත.

පසුගිය කොටස් 

කාටවත් කවුරැවත් නැති ලෝකයක්

ධනපති පංතියේ මෝඩදරුවන්ට ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලින් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න?

ප්‍රභාකරන් පරද්දලා දිනාගත්ත නිදහස අපි චීනෙට හරි ඇමරිකාවට පාවලා දෙනවා නම් ඒක වීරකම නෙමෙයි

අපට ඕනෑ බලතණ්හාව නැති නායකයන් නෙමෙයි දරු ස්නේහය නැති නායකයන්

ඒක හරියට ආදරේ කරන්නෙ නැතිව ළමයි වඩා ගන්නවා වගේ වැඩක්.

ජාතිකවාද නිසා විනාශවන ජාතිකත්වය

One thought on “මහින්ද මහත්තයා හා සරත් මහත්තයා මනුස්ස දෘෂ්ටිකෝණයකින්
  1. සරත් මහත්තයාගේ කොන්ද කොපමණ “කෙලින්”ද යන වග ඊයේ පෙරේද ද දුටුවෙමි. තවත් සරත් කෙනෙකුට, එනම් සරත් වීරසේකර මහතාට ප්‍රහාර එල්ල කල විලාසයෙනි. ඒ අනුව අපට පෙනී යන්නේ සරත් මහතාට මහින්ද මහතා ලග ඉන්න බැරි උනේ කොන්දේ නැවෙන හෝ දිග හැරෙන ප්‍රමාණය අනුව නොව, ඔහු තුල පවතින ගුණමකු භාවය නිසා බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap