Opinion

මහීෂ ප්‍රශ්නය

Summary

මිනිසුන් සහ සතුන් සමාන යයි මම සිතන්නේ නැත. සතුන්ට අපගේ අනුකම්පාව මිස සත්ත්ව අයිතිවාසිකම් හිමි නැත. මෙයින් කියවෙන්නේ මා නග්න මානවවාදියකුය යන්න හෝ සතුන්ට කුරිරුකම් කලයුතුය යන්න නොවේ. සතකුගේ ජීවිතයට වඩා කොයි ආකාරයෙන් බැලුවත් අප මනුෂ්‍යයකුගේ ජීවිතයට මුල් තැන දෙන්නෙමු. මෙය අප තාර්කික ව්‍යුහයක් තුල පිළිගත යුතුය.

ලංකාව   දියර කිරි වලින් ස්වයංපෝෂිත කල යුතුය යන්න  මනෝරාජික , ප්‍රයෝගික නැති කල්පනාවකි.  අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් හැකි තරම් පංගුවක් ලංකාව තුලම   නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව ඉතුරු හරිය පිටරටින් ආනයනය කල යුතුය. ඇතැම් විට මේ ආනයනික පංගුව ඉදිරියේදී  ඉහල යනු ඇත.

ලංකාවේ   කිරි හරකුන් ඇති කිරීම පාඩු සහගතය. වර්ග කිලෝමීටර් හැටපන්දහසක භූමි භාගයක කෝටි දෙකහමාරක ජනයා වාසය කරන විට ඔවුන්ට අවශ්‍ය නගර, මංමාවත් , ගොවි බිම් යනාදිය සකස් කිරීමෙන් අනතුරුව අවශ්‍ය තරමට කිරි සපයා ගැනීම පිණිස කිරි හරකුන් ඇති කිරීමට සිදු වන්නේ ඉතුරු වී තිබෙන වනාන්තර එලි පෙහෙළි කිරීමෙනි. ඊට වඩා,  කිරි හරක් පාලනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුන්‍යයක් පුරුදු කොට තිබෙන  නවසීලන්තය වැනි රටකින් කිරි ආනයනය කිරීම වාසි සහගතය. මීට දශක කීපයටක ඉහතදී ලංකාවේ බොහෝ ඉඩ කඩ තිබෙන ගෙවල්  වල කිරි හරකකු දෙකකු ඇති කල යුගයක් තිබුනත් දැන් ඒ අතීතයට යාම ප්‍රයෝගික නැත. දැනට පවතින හරක් පට්ටි සම්බන්ධයෙන් පවා ප්‍රයෝගිකව ඇති වී තිබෙන්නේ ගැටළු සහගත තත්වයන්ය. උඩවලව , වස්ගමුව සහ යාල වැනි ජාතික වනෝද්‍යාන තුලට ගම්  වල හරක් රංචු කඩා වැදීම් පිලිබඳ නිතර අසන්නට ලැබේ. එවැනි තත්වයක් උඩ කිරි හරක් ඇති කිරීම වැඩි කිරීම ප්‍රයෝගික නැත. සිංහලයන් තුල තවමත් හරකා සම්බන්ධව ලෙන්ගතු හැඟීමක් ඉතුරු වී තිබෙන්නේ එම සතා කාලයකට ඉහතදී පවුලේම කෙනෙකු වී සිටි නිසාය. නමුත් දැන් ඒ තත්වය වෙනස්ය.

කිරි පිටරටින් ආනයනය කිරීමේදී  එම කිරි වල අසවල් රසායනය ඇත, ඒවා බීමෙන් අවසල් ජාන විකෘතිය ඇති වන්නේය යනුවෙන් ප්‍රචාරණය වන කට කතා වලට විශ්වසනීය විද්‍යාත්මක පිළිතුරු සැපයිය යුතුය.    එමෙන්ම රටට ආනයනය කරන කිරි වල ගුණාත්මක භාවය සහතික කිරීම උදෙසා වෙනත් බලපෑම් වලට හසු නොවී ඇත්ත වශයෙන්ම රජය  ඍජු ලෙස මැදිහත් වීම් කල යුතුය  ලංකාවට පිටරටින් ගෙන්වූ කිරි තොග වල ප්‍රමිතිය පිළිබඳවත්, ඒවා නිදහස් කරගැනීම සඳහා සිදු වුනු දේශපාලනික බලපෑම පිළිබඳවත් අප අසා ඇත්තෙමු. කිරි වලින් ස්වයංපෝෂිත වීමේ මනෝරාජික සාම්ප්‍රපලාප වලින් මෙන්ම මෙවැනි තක්කඩි කම් වලින්ද රට මුදවා තැබීමට ආණ්ඩුව උත්සුක විය යුතුය.

කෙසේ වෙතත් ලංකාවේ නිෂ්පාදනය කල හැකි කිරි ප්‍රමාණය හිතා මතා අඩු කල යුතු යයි  මෙයින් කියවෙන්නේ නැත. ලංකාව තුල කුඩාවට වුවත්,  ස්ථාපනය වුනු කිරි ගොවිතැනක් ඇති අතර එහි අතුරු පලයක් ලෙස පවතින මාංශ වෙළඳපලක්ද තිබේ. මේ දෙකම රැක ගැනීමත් පිරිසිදු කිරි සහ මාංශ පංගුවක් ජනයා වෙත පිරිනැමීමත් රජය තම වගකීමක් ලෙස සැලකිය යුතුය . හරක් මැරීම තහනම් කිරීම වෙනුවට එය විධිමත් කොට රටට දැනටමත් සැලකිය යුතු මට්ටමේ විදේශ විනිමයක් සපයා දෙන සම් කර්මාන්තයද  ඉහලට එසවිය යුතුය.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් නම් හරක් මස් නොකෑ යුතුය යන බෞද්ධ මනොභායට   අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නයි.  මේ මනෝභාවයෙහි ,මූලය   හින්දු බවත් එනිසාම එය ඉන්දීය බවත් අපි දනිමු. එසේ වුවත් අදටත් ඉන්දියාවේ සහ නේපාලයේ  ගව ඝාතනය තහනම්  නැති අතර බොහෝ අවස්ථා වලදී  ඉන්දියාව ලෝක ගව මස් වෙළඳ පලේද  ඉහලින්ම සිටියි. මේ අනුව අප තේරුම් ගත යුත්තේ ආගමකට රාජ්‍යයක් තුල ප්‍රමුඛස්ථානය පිරිනැමීමත් , එරට රාජ්‍යය පාලනයට   ආගමික සංවේදනා හිතා මතා මැදිහත් කරගැනීමත් යනු එකක් නොව දෙකක් බවය. ලංකාව නියත වශයෙන්ම බුදු දහම ප්‍රමුඛස්ථානයේ තැබිය යුතුය.   එසේ තැබීමෙන් අදහස් කෙරෙන්නේ  බෞද්ධ වෙහෙර විහාර සහ ආයතන වැඩි දියුණු කිරීම සහ ඒවා  අලුතෙන් ඇති කිරීම, බෞද්ධ අධ්‍යාපනය ලාංකිකව සහ ලෝක මට්ටමින් නගා සිටුවීම , බෞද්ධ තානාපති කම් වැඩි දියුණු කිරීම සහ ලෝක පරිමාන බෞද්ධ සහයෝගිතාවයක් දියුණු කිරීම සහ භික්ෂු  ශාසනය නගා සිටුවීම වැනි කාරනා මිස හරක් මස් කෑමෙන් බෞද්ධයන් මුදවීම වැනි පෞද්ගලික අවකාශයන් තුල සිදු විය යුතු ක්ෂුද්‍ර දේ කෙරෙහි අවධානය යොමු කිරීම නොවේ.

කෙසේ වෙතත් හරක් මසට විරුද්ධව තිබෙන සිංහල බෞද්ධ මනෝභාවය පිළිකෙව් කිරීමක්ද කල යුතු නැත. මේ හැඟීම ඉහතදී ද සඳහන් කෙරුණු පරිද්දෙන් , යම් ඓතිහාසික සන්දර්භයක් තුල හට ගත්තකි. ඊට අමතරව අනගාරික ධර්මපාල තුමන්ගේ ජාතික පුනරුද ව්‍යාපාරය තුලද හරක් මස් විරෝධය ජනප්‍රිය සටන් පාඨයක් විය. ඒ සංස්කෘතික මතකයද තවමත් සිංහලයා තුල තිබේ. හරක් මස් විරෝධීන්ගෙන් , වෙනත් මස් කෑවාට පව් නැද්ද, හාල් මැස්සන් කෑවාම ඔක්කොටම වඩා පව් නේද වැනි පැතලි තාර්කික ප්‍රශ්ණ ඇසීමෙන් පලක් නැත. සියලු සතුන්ගේ  ජීවිත අයිතිය සමාන යයි බුදු දහමේ ඉගැන්වෙයි. සියලු ජීවීන් පාරිසරික හා ජීව  විද්‍යාත්මකව වැදගත් යයි සත්ත්ව හා පාරිසරික විද්‍යාවන් තුල ඉගැන්වෙයි.  නමුත්  මානව සංස්කෘතික ජන මනස තුල මෙය මෙසේ නොවෙයි. සියලු සංස්කෘති වල මිනිසුන්ට වඩාත් වැදගත් ජීවියා මිනිසාය. සිංහල බෞද්ධයන්ට මිනිසා හැරුණු කල අනෙක් සතුන්ට වඩා විශේෂ ඇතැම් සතුන් සිටිති. ඔවුන්ට සියල්ලන්ට වඩා අලියා ලොකුය වැදගත්ය. ඉන් පසු හරකා වැදගත්ය. මනුෂ්‍ය විෂය යනු නියමිත තර්කයකට, නියමයකට අනුව හැසිරෙන ප්‍රපංචයක් නොවේ. එසේ හැසිරෙන්නේ යයි  සිතාගෙන පැතලි ප්‍රශ්න ඇසීම මුග්ධ කමකි.

ලංකාව තුල නිර්මාන්ශිකයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුවත් මාංශ අනුභව කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුවත් ජීවත් විය හැකි විය යුතුය . මෙහිදී කෙනෙකු අසන්නට ඉඩ තිබෙන ප්‍රශ්නයක් නම් හරකුන්ට මෙම නිදහස නැතිද යන්නය. මෙයට මට  පෞද්ගලික මට්ටමින් ඍජු පිළිතුරක් දිය හැකිය.

මිනිසුන් සහ සතුන් සමාන යයි මම සිතන්නේ නැත. සතුන්ට අපගේ අනුකම්පාව මිස සත්ත්ව අයිතිවාසිකම් හිමි  නැත. මෙයින් කියවෙන්නේ මා නග්න මානවවාදියකුය යන්න හෝ සතුන්ට කුරිරුකම් කලයුතුය යන්න නොවේ. සතකුගේ ජීවිතයට වඩා කොයි ආකාරයෙන් බැලුවත් අප මනුෂ්‍යයකුගේ ජීවිතයට මුල් තැන දෙන්නෙමු. මෙය අප තාර්කික ව්‍යුහයක් තුල පිළිගත යුතුය.

අප සතුන් කෙරෙහි ඉතා කරුණාවන්ත වන්නෙමු. මාංශ අනුභව කලත් සතකු විහින් මරාගෙන කෑමට අපට නොහැක්කේ එහෙයිනි. මේ වෙනුවෙන් වෙනම වෙන්වූ ගොවි පල තිබෙන අතර අප එම කාර්යය ගොවිපල වලට පවරා ඇත්තෙමු. දැන් කල යුත්තේ මෙම ගොවිපල කටයුතු ක්‍රමවත් කිරීමයි.  සාමාන්‍ය ජනයා අතර ගව මස් පරිභෝජනය කෙරේ විශාල විරෝධයක් හට ගත්තේම එය ඔවුන්ගේ අසල්වැසි වටපිටාව තුල ඔවුන්ට ඉතා සමීපව ඇස් පනා පිට සිදු වීම නිසාය. ඉතින් කල යුත්තේ තැනින් තැන සිටින ග්‍රාමීය හරක් මරන්නන්ගෙන් මේ කාර්යය ඉවත් කොට ක්‍රමවත් විශාල ගොවිපල වලට පමණක් මෙය පැවරීමය . අපට අවශ්‍ය කිරි ප්‍රමාණය මෙරට නිෂ්පාදනය කල නොහැකි වුවත් , නිෂ්පාදනය කෙරෙන කිරි වලට අදාලව නිපැයෙන මාංශ ප්‍රමාණය අපට ප්‍රමාණවත්ය. ඉතින් එම කොටසත් පිටරටින් ආනයනය නොකර එය  ලංකාව තුලදී නිෂ්පාදනය කිරීමට අප උත්සුක විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *