Opinion

මාත් අනුර දිසානායක කෙනෙක්ද?

Summary

ගෝටා විවේචනය වැඩි වන තරමට ජවිපෙ ඡන්ද වැඩිවන්නේ නැත. ජවිපෙ නායකත්වය එය දැන සිටිති. එහෙත් ජවිපෙ බහුතරයට ඒ ගැන අවබෝධයක් නැත.

  • Save

ජවිපය විවේචනය කරන්නට සිතෙන්නේ ඇයි දැයි මට ද සිතාගැනීමට නොහැක. සමහර විට පේස්බුක් එකේ වැඩියෙන් ම දකින්නට ලැබෙන්නේ ජවිපෙ මතවාද වීම ද ඊට හේතු විය හැකි ය.

අනෙක් අතට 71 විරු සමරුව ජවිපෙ විසින් ආනන්දජනක ලෙස සමරමින් සිටින මොහොතක ජවිපෙ විවේචනය කිරීම ද වරදකි.

කෙසේ හෝ මේ සියල්ලට හේතුව ජවිපෙ සතුටට විරෝධයක් මා තුළ පැන නැගීම ද විය හැකි ය. ජවිපෙ සතුට මගේ අසතුට වීම ද විය හැකි ය.

කෙසේ හෝ ජවිපෙ විවේචනය කරන්නට මට සිතේ. එය මා විවේචනය කිරීමක් නොවන බවක් ද මට දැනේ. මා දැන් මේ වන විට ජවිපයෙන් ඒ තරම් ම ඈත් වී ඇති නිසා විය හැකි ය.

ගෝටාව විවේචනය කරන අය වැඩිවන තරමට ජවිපෙ ඡන්ද වැඩිවන බව අද ජවිපයේ අය සිටින ලොකුම මුලාවයි. කෙසේ වුවත් ඒ මුලාවේ සිටින්නේ ජවිපේ නායකයන් නොවේ අනුගාමිකයන් ය. තමන් ගෝටාව විවේචනය කළාට ජවිපෙට ඡන්ද වැඩි නොවන බව ජවිපෙ නායකයෝ දනිති. ඒ ඡන්ද වැටෙන්නේ යූඇන්පීයට බව ද ඔවුහු දනිති. එහෙත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. යූඇන්පීයට වැටෙන ඡන්දයක් තමන්ට වැටෙන ඡන්දයක් හා සමාන බව ජවිපෙ නායකයෝ දනිති. නායකත්වයට කිට්ටු අනුගාමිකයෝ ද දනිති. එහෙත් බහුතර ජවිපෙ අනුගාමිකයෝ නොදනිති. ඒ නිසා ගෝටා ව විවේචනය කිරීම වැඩිවන තරමට ජවිපෙට බලය හිමිවන්නට යන්නේ ය යන මුලාවක ඔවුහු වැටෙති. ඒ නිසා සුළු ප්‍රශ්න ලොකු කරගෙන ගෝටාට මඩ ගසති. බොරු කීම වරදක් බව ජේවීපීකාරයෝ දනිති. එහෙත් බලය ලබාගැනීම වෙනුවෙන් බොරු කීම වරදක් නොවන බව ජේවීපීකාරයෝ දනිති. නිර්ධන පංතියේ පක්ෂයට බලය ලැබෙන්නට හේතුවන බොරු කීම බොරු කීමක් නොවේ. ඒ නිසා පරිසරය ගැන හතර හතේ බොරු කියති. මේ සේරම කියන්නේ ජවිපයට හිමිවන ඡන්ද බලය වැඩිවෙතැයි සිතා ය. එමගින් රටට යහපතක් වෙතැයි සිතා ය.

එහෙත් එය නොවේ. එයට හේතුව ජවිපෙ ගැන පොදු ජන විශ්වාසය බිද වැටී තිබීමය. නොඑසේනම් පොදු ජන ආදරය බිද වැටී තිබීම ය. එය නගා සිටුවීමට අනුරලා උත්සාහ නොකරති. යූඇන්පීය ගැන ජනතාව තුළ තියෙන ආදරය ඔවුන්ට හොදටම ඇති ය.

හැට නම ලක්ෂයේ ඇතැම් අයට දැන් ගෝටා අවිශ්වාසය. එහෙත් එමගින් ඔවුන්ගේ විශ්වාසය ජවිපෙ වෙත නැඹුරුවන බව අදහස් නොවේ. ගෝටා ද අවිස්වාස කරන අය කවදාවත් ජවිපෙ විස්වාස නොකරති. ගෝටා ද අවිස්වාස නම් ඔවුන්ට ජවිපෙ කොහොමටත් අවිස්වාස ය. ඒ නිසා ගෝටා විරෝධයෙන් ජවිපයට අලූත් ඡන්ද එකක්වත් නොහැදේ. එය ඡන්දයක් ආවිට බලාගත හැකි ය. අනිත් අතට ජවිපෙ නායකයන්ට එය අවශ්‍ය ද නොවේ. යූඇන්පීයට අලූත් ඡන්ද ලැබේ නම් ඔවුන්ට එය හොදටම ප්‍රමාණවත් ය. යූඇන්පීය යනුවෙන් මෙහිදී මේ මොහොත තුළ අදහස් වන්නේ සමගි ජන බලවේගය බව කිව යුතුය.

ඇත්තටම දේවානී දොඩවන්නියකි. ඇය ඔක්සිජන් ගැන කතා කරන ආකාරය අසාගෙන සිටින විට ඔක්සිජන්වල අඩුවක් නැතත් ඇය තුළ යම් බුද්ධි මට්ටමේ නොඑසේනම් ව්‍යවහාර ඥානයේ අඩුවක් තියෙන බව පැහැදිලි ව පෙනී යයි. නැතිනම් ඇය සිතා මතා ම එය අඩු කරගෙන ඇති බවක් ද පෙනේ. කෙසේවුවත් දේවානී නිසා ජවිපෙයට එක ඡන්දයක්වත් අලුතින් නොලැබේ. යූඇන්පීයට නම් ලැබේ. මෙහිදී ජවිපෙ නායකයන්ට වඩා දේවානී අවංකය. ඇය පෙනී සිටින්නේ ජවිපෙ මතවාදය වෙනුවෙනි. එහෙත් වාසිය ලැබෙන්නේ යූඇන්පීයටය. ජවිපයේ සාමාන්‍ය අනුගාමිකයාට නොව ජවිපෙ වර්තමාන නායකත්වයටය. මේ කුහක පිළිවෙතට ජවිපෙ නායකත්වය හා ඊට සමීප පිරිස අද හුරු වී සිටිති. ඉතින් ඒ නිසා ජවිපෙ මූලිකත්වයෙන් කෙරෙන ආණ්ඩු විරෝධී සංවාදය ඇතුළතින් කුණු වූවකි. එය ඇත්තටම ජවිපෙ සංවාදයක් නොවේ පොදුජන පෙරමුණු යූඇන්පී ගැටුමේ එක් ප්‍රකාශනයක් පමණි. ඊට වඩා හරයක් එහි නැත.

එහෙත් අපි ඊට වඩා හරයක් හොයමු. පොදුජන පෙරමුණටත් යූඇන්පීයටත් දෙකටම බලපෑමක් කළ හැකි සංවාදයක් මත ගොඩනැගීමක් අපි අපේක්ෂා කරමු. එහෙත් ජවිපෙ නායකත්වයට සුඛෝපභෝගී අලස ජීවන රටාවකට හුරුවෙමින් පවතින ජවිපෙ නායකත්වයට එවැන්නක් අනවශ්‍යය. යූඇන්පීය දිනුවොත් හොදටම ඇති ය.

මේ නිවැරදි අදහස් මත සමාජ ගත කළ යුතු මොහොතයි. එවිට ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙකටම ඊට යටවීමට සිදු වේ. එහෙත් එවැන්නක් ජවිපෙ න්‍යාය පත්රයේ නැත. ඇත්තේ යූඇන්පීය වෙනුවෙන් ගෝටා පැරදවීම පමණි. එය කාලකණ්ණි වැඩකි. කාළකණ්ණි පක්ෂ දේශපාලනය වැඩි දෙයක් එහි නැත. පේස්බුක් බලන විට මට පිස්ස හැදෙන්නේ ඒ නිසා ය. දේවානිලාගේ සතුට ගැන අසතුටක් ඇති වන්නේ ඒ නිසා ය.

ආණ්ඩු පරදන සංවාදයකට වඩා නිවැරදි අදහස් ආකල්ප දිනවන සංවාදයක් සටනක් අපට අවශ්‍ය ය. එහිදී අපට ජවිපෙ යූඇන්පී හෝ පොදුජන පෙරමුනු භේදයක් නැත. පක්ෂ ඇගෑලුම්කම් ඉවත් කළ නොහැක. එහෙත් එය යම් තරමකට හෝ ඉවත් කර ගත හැක්කේ මව්බිමට වඩා යහපත් කුමක් ද යන්න පිළිබදව අවංක සංවාදයකට එළඹීමෙන් පමණි. දේවානිලාට එහෙම දැක්මක් නැත. අනුරට නම් මේ වන විට ඇත්තේ ම නැත.

මේ සියල්ල සම්පූර්ණ ඇත්ත නොවේ. එනම් සමහර විට අනුර දිසානායක කරන්නේ ඔහුට මේ වන විට කරන්නට හැකි එකම දෙය විය හැකි ය. එනම් අනුර දිසානායක යන නම අහෝසි වී යාමට නොදී කළ හැකි එකම දෙය විය හැකි ය. එහෙත් එසේ අනුර දිසානායක නාමය රැකගැනීම රටට යහපතක් ද යන්න ඔහු ම තීරනය කළ යුතුය.

මේ ආත්මීය ප්‍රශ්නයට ආත්ම පරිත්‍යාගය පිළිබද ප්‍රශ්නයට අපි මුහුණ දිය යුතුය. මේ ලිපිය ලියාගෙන යමින් අවසානයේ මම පැමිණ ඇත්තේ ද එතැනටය. මමත් අනුර දිසානායක කෙනෙක්දැයි මම මගෙන් ම ප්‍රශ්න කරගනමින් සිටිමි. මා දැන් පැමිණ නැවතී ඇත්තේ එතැනය. එයිට වඩා ලියන්නට දෙයක් මේ මොහොතේ මට නැත. ජවිපෙය විවේචනය කරන්නට ගිය මට මාව විවේචනය කරන තැනකින් නැවතීමට සිදුව ඇත්තේ එසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap