Opinion

මාතෘකාව ගෝටා. තහනම් වචනය බැසිල්

Summary

වාද සියල්ල බිද වැටී ඇත. මාතෘකා සියල්ල අහෝසිවී ඇත. රටට ඇති එකම මාතෘකාව ගෝටා වී ඇත. ගෝටා පේල් වුණොත් රටම පේල් ය.

  • Save

දැන් අපේ රටේ මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. සමාජවාදය ද නොවේ. සංවර්ධනය ද නොවේ. ජාතික චින්තනය ද නොවේ. මහින්ද චින්තනය ද නොවේ. සභ්‍යත්ව රාජ්‍යය ද නොවේ. ස්ත්‍රීවාදය නොවේ. බෙදුම්වාදය ද නොවේ. ඉන්දියානු ව්‍යාප්තවාදය හෝ චීන ව්‍යාප්තවාදය හෝ ඇමරිකානු ව්‍යාප්තවාදය ද නොවේ. මානව අයිතිවාසිකම් සුරැකීම ද නොවේ. රට දියුණු කරන සමාජ ආර්ථික වැඩපිළිවෙළ හෝ යහපාලනය හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. පශ්චාත් නූතනවාදය ද නොවේ. මේ එකක්වත් අද රටේ මාතෘකා නොවේ. අවුරුදු දෙක තුනක සිට රට ට ඇත්තේ එකම එක මාතෘකාවක් පමණි. ඒ ගෝටා ය. ගෝටා ගැන විනා ඉහත මාතෘකා එකක්වත් ගැන කතාවක් හෝ සංවාදයක් අද නැත. කොටින්ම ඒ එකක්වත් මාතෘකා නොවේ. ඒ නිසා ගෝටා පේල් වුණොත් රට ම පේල් ය.

සංවර්ධනය පිළිබද සංවාදය ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව ඇත. ජාතික චින්තනය පිළිබද සංවාදය ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව ඇත. සමාජවාදය පිළිබද සංවාදය ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව ඇත. පශ්චාත් නූතනවාදය පිළිබද සංවාදය ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව තිබේ. මානව අයිතිවාසිකම් පිළිබද සංවාදය ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව ඇත. දුප්පත්කම නැති කිරීම ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව ඇත. පරිසරය සුරැකීම ද ගෝටා පිළිබද සංවාදයක් බවට පත් ව ඇත. ගෝටා ගැන සංවාදයක් විනා වෙනත් සංවාදයක් අද රටේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජනතාවගේ බලාපොරොත්තු බිද වැටිණි. සමාජවාදය පිළිබද ජනතාවගේ බලාපොරොත්තු බිද වැටිණි. මහින්ද චින්තනය පිළිබද ජනතාවගේ බලාපොරොත්තු බිද වැටිණි. යහපාලනය පිළිබද ජනතාවගේ බලාපොරොත්තු බිද වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ ගෝටා ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට පත්වීමය. ජනතාවගේ එකම මාතෘකාව බවට පත්වීමය. අවුරුදු දෙක තුනකට කලින් එය සිදුවිය. අදටත් එය එසේ ම ය. ගෝටා හැර වෙන මාතෘකාවක් ගැන අද කතාවක් නැත. ඒ සියල්ල බිද වැටී ඇත. දැන් බිද වැටෙනවා නම් බිද වැටෙන්නට ඇත්තේ ගෝටා පිළිබද බලාපොරොත්තුව පමණි.

ගෝටා යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. සමාජවාදය ද නොවේ. සංවර්ධනය ද නොවේ. යහපාලනය ද නොවේ. නීතියේ ආධිපත්‍යය ද නොවේ. සංහිදියාව ද නොවේ. නවීකරණය ද නොවේ. දුප්පත්කම නැති කිරීම ද නොවේ. තරුණයන්ට රැකියා දීම ද නොවේ. බුද්ධ ශාසනය රැකගැනීම ද නොවේ. ජීනීවා තර්ජනවලට මුහුණ දීම ද නොවේ. පළාත් සභා අහෝසි කිරීම ද නොවේ. ඒ සියල්ල ම ය. ඒ නිසා ගෝටා පේල් වුණොත් රට ම පේල් ය. ඉතිහාසයේ කවරදාකවත් මුලු මහත් රටේ ම බර මේ විදිහට එක් අයෙක් මත පැටවී නැත. එයට හේතුව අනෙකක් නොව අන්  සියල්ල බිද වැටී තිබීම ය. ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීම තිබීම ය. සමාජවාදය බිද වැටී තිබීම ය. සංවර්ධන න්‍යායන් බිද වැටී තිබීම ය. ඒ මාතෘකා සියල්ල අහෝසි වීම ය. ජනතාවටත් රටටත් ඉතිරි වී ඇත්තේ ගෝටා පමණි. ඉතිරි වී ඇති එකම මාතෘකාව ගෝටා පමණි. ගෝටා පේල් වුණොත් රටම පේල් වන්නේ ඒ නිසා ය.

ඒ නිසා එක අතකට අද රටේ න්‍යාය පත්‍රය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම හෝ නැති කිරීම නොවේ. සමාජවාදය ඇති කිරීම හෝ නැති කිරීම නොවේ. ගෝටා රැක ගැනීම හෝ ගෝටා එළවීම ය. මේ දෙක වටා පමණක් පිරිස ගොනු වී සිටිති. එනම් ගොනු වී ඇත්තේ එක ම මාතෘකාවක් වටාය. එහෙත් දෙපැත්තකටය. ගෝටා එළවීම හෝ රැකගැනීම ය. ඒ හැර වෙනත් මාතෘකාවක වැඩපිළිවෙළකට රට දැන් නැත.

මා මේ කියන්නේ ගෝටාගේ හොද හෝ නරක නොවේ. පත් ව ඇති දෙය පමණි. අන් සියලු නායකයන් ද මතවාද ද විශ්‍වාසය බිදගෙන තිබීම පිලිබද ව ය. අප සිතිය යුත්තේ අන් කිසිවක් නොව ගෝටා රටේ එකම මාතෘකාව වුයේ මන්ද වී ඇත්තේ මන්ද යන්න පමණි. එයට හේතුව අන් සියල්ල බිද වැටී තිබීම ය.

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාවක් නැත. සංවර්ධනය ගැන කතාවක් නැත. පළාත්සභා ගැන කතාවක් නැත. ගෝටා ගැන කතාවක් පමණි.

ජාතියක බලාපොරොත්තු එකම පුද්ගලයෙකු වටා මෙතරම් ගොනු වූ කාලයක් නැත. යම් ජන කොටසක විරෝධය ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් මාතෘකාවක් නොව තනි පුද්ගලයෙකු එරෙහි විරෝධයක් බවට පත් වූ වෙනත් කාලයක් නැත.

මෙයින් පෙනී යන්නේ ගෝටා පේල් හෝ පාස් යන්න නොවේ. අන් සියලූ නායකයන් පේල් වී ඇති බව ය. සියලු මතවාද පේල් වී ඇති බව ය. එකම මාතෘකාව ගෝටා පමණක් බවට පත් වී ඇති බව ය.

ගෝටා තවම පේල් වී ඇතැයි නොසිතමි. එක් පිරිසකගේ එකම බලාපොරොත්තුව ගෝටා පේල්වීමයි. තවත් පිරිසකගේ එකම බලාපොරොත්තුව ගෝටා සාර්ථක වීම යි. ඉතිහාසයේ සෑහෙන කාලයක් වල් මත් වී පැමිණ ගමනක් කෙළවර වී ඇති ස්ථානය එය යි. මේ මහා අභියෝගය ජයගැනීමට ගෝටාට හැකි ද? හැකිවීම කෙසේවුවත් ගෝටා එයට අවංක ව මුහුණ දීමට උත්සාහ කරන්නේ යැයි මම සිතමි. සියලු දෙනාගේ මාතෘකාව ගෝටා වුවත් ගෝටාගේ එකම මාතෘකාව රටේ යහපත යැයි මම තාමත් සුබවාදී ව සිතමි. ගෝටාට ජය වේවා 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap