Opinion

මා නිදහස්ය…

Summary

ලිවීමෙන් කාවවත් සනසන්නට වත් එසේ සනසා පුද්ගලික අර්ථයෙන් මොනවා හෝ කරගත් ඉතිහාසයක් අපට නැත. ඒ එසේම තිබෙන තාක් මා නිදහස්ය…

දින කිහිපයකට පෙර මහාචාර්ය මලික් පීරිස් හා මහාචාර්ය කාමිනී මෙන්ඩිස් විසින් ප්‍රතිපත්ති සම්පාදකයන් උදෙසා ඉදිරිපත් කළ අට වැදෑරුම් යෝජනා පදනම් කරගෙන රට දින දහහතරකට සම්පූර්ණයෙන් වසාදමන්නයි කුඩා සමාජ මාධ්‍ය ලියන්නකු ලෙස ජනපතිවරයාට යෝජනා කර සිටියෙමි.  රටේ වෛද්‍ය සංගම්වල යෝජනාවද එය විය…
ඒ අනුව ජූනි 07වනදා දක්වා සංචරණ සීමා පනවා ඇත. වෛද්‍ය නිර්දේශ පදනම් කරගෙන රජය දේශපාලන තීරණයක් ගෙන ඇත. දින දහහතරකට රට වසා දැමීමේදී සාමාන්‍ය මිනිහාට වන අපහසුතාවයන් හා ඔන්ලයින් පහසුකම හැමතැනම නැතිකම වැනි අප රටේ සමාජ ආර්ථික යතාර්ථයන් පදනම් කරගෙන ඒ තීරණය ගන්නට ඇත. එය හොඳය. ගරු කටයුතු තීරණයකි….
දැං අප කළ යුත්තේ එලියට යාමට අවසර ඇති දිනවල පරිස්සම් සහගත වී වැඩ ටික කරගෙන රජයට සහාය වීමය. වගකීම් සහගත පුරවැසියාගේ යුතුකම එයය…
⁣මලික් පීරිස් යෝජනා පදනම් කරගෙන රට වසාදමන්නට අප යෝජනා කළ විට බොහෝ අය අපට  පරිස්සම් වන ලෙස අනතුරු හැඟවූහ. එහෙත් මලික් පීරිස් වැනි ප්‍රාමාණික විද්වතකුගේ මතයක් උපුටා දක්වා රජයට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස යෝජනාවක් කිරීමේ වරදක් මම නොදුටුවෙමි. සමාජයට මතවාදී බලපෑමක් කරන්නට ඇති හැකියාව පොදු අර්ථයෙන් යොදාගැනීම වරදක් නොවන බව මම සිතමි….
ප්‍රාඩෝ රථ 227 ගෙනඑන යෝජනාව අපේ ඇස ගැටුණේ දවස් දෙකතුනකට කලින්ය. සහතිකෙන් මා සිතුවේ එය Fake news එකක් කියලාය. රට ආර්ථික වශයෙන් ඉතාම අසීරු සහගත තැනක සිටියදී ප්‍රාඩෝ රථ ගෙන්වීම බුද්ධිමත් තීරණයක් විය නොහැකිය.  එහෙත් එහි යම් සත්‍යයක් ඇතිබව දැනගත් වහා අපි හඬ නැගුවෙමු. සමාජ මාධ්‍යයේ සෙසු ක්‍රියාකාරිකයෝද හඬ නැගූහ. අතිශය ආණ්ඩු හිතවාදී මිත්‍රවරුන් පවා ඒ හඬ නැගූහ. පැය කිහිපයක් ඇතුලත තීරණය වෙනස් වූ බව කියවෙන මාධ්‍ය නිවේදනයක් නිකුත් විය…
එම පෝස්ටුවට මගේ මිත්‍රයෙක් ⁣කොමෙන්ටුවක් ලෙස දමා තිබුණේ හොඳ දේ ලියා උපයාගත් වැදගත්කම මෙවැනි දේ ගැන ලියා නැති කරනොගන්නා ලෙසය…
ආදරණීය මිත්‍රවරුනි,
නන්දා මාලිනිය ගයන “උඩඟු ලියන් ගොතා බඳින” ගීතය මගේ හදවතට සමීපය…ඒ එහි තේරුම ජීවිතයට බැඳිලා තියෙන හින්දාය…
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ….
මගේ වෘත්තිය දන්ත සංරක්ෂණයය…එහි වැඩි වැඩක් තිබෙන්නේ සල්ලි තියන මිනිස්සුන්ටය…අපේ ප්‍රතිකාර පුද්ගලික අංශයේ වුනත් කරගන්නට පුලුවන් හොඳට සල්ලිය බාගෙ ඇති උදවියටය…මට මගේ ජීවිතයේ පහසුව ගැන හිතනවා නම් සරලම option එක රජයේ සේවයෙන් අස් වී පුද්ගලික අංශයට බැඳෙන එකය. එහෙත් උඩඟු ලියකගේ හිස සරසන මලක් වන්නට මට වුවමනාවක් නැත. ඈත පිටිසර බදුල්ලේ අප ගොඩ නැගූ දන්ත සංරක්ෂණ ඒකකයේ අහිංසක දුප්පත් මනුස්සයෙකුට ප්‍රතිකාරයක් කරන්නට පරිසරය හදා ලබන සතුට සල්ලි මිටි වලින් මට ලැබෙන්නේ නැත…
ලිවීම ගැන වුනත් මගේ තියෙන ප්‍රවේශය එච්චරය. පොදු මහාජනතාවගේ යහපත වෙනුවෙන් හරි හෝ වැරදි වන්නට පිළිවන් මුත් මගේ පපුවට එකඟ සහ හෘදයසාක්ෂිය නොකෙලසන දෙයක් විතරක් ලියන එකය..
ලිවීමෙන් කාවවත් සනසන්නට වත් එසේ සනසා පුද්ගලික අර්ථයෙන් මොනවා හෝ කරගත් ඉතිහාසයක් අපට නැත. ඒ එසේම තිබෙන තාක් මා නිදහස්ය…
අපේ රටේ ඈත කොණක දුක්විඳින මිනිහෙකුගේ ප්‍රශ්නයක් විසඳා මා ලබන තෘප්තිය වෙනස්ය. ඒ වෙනස්කම තුල සමහර තැන්වල ගුටි කන්නට වන බවද මා දැනුවත්ය…එහෙම ගුටි දෙන්නට බලා සිටින පිරිසක් සිටින බවත් ඒ බලා සැනසෙන්නට පිරිසක් සිටින බවත් මා දැනුවත්ය…
එහෙත්, මා නිදහස්ය…තෘප්තිමත්ය…
රණ විරුවෙකුගේ අවසන් ගමනේ
යන මහජනතා පාදූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙමි…
එමගට මා විසි කරන්න….
මගේ පරම පැතුම එයයි…
නිදහස් අධ්‍යාපනයෙන් උගත් අප කාගේත් පැතුම එය වන්නේ නම් මේ රට සුන්දර තැනක් කරන එක අසීරු නැත…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *