Opinion

මැතිණිය විසින් රැජිණව එළවූ දවස

Summary

“අපේම ජනතාව විසින් සකස් කර දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිතව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් ආරම්භ මෙම අවස්ථාවේදී මෙහි පැමිණ මෙම පොළොවේ සිට අපගේ ජාතික ධජය නැවත වරක් එසවීමේ භාග්‍ය මට හිමිවීම ගැන මාගේ ජීවිතයේ අමතක නොකල හැකි අවස්ථාවක් ලෙස මා සලකමි.”

1948 පෙබරවාරි 04 වැනිදා ස්වාධීනතාවය ලබාගත් ඩොමීනියන් සිලෝන් රාජ්‍යය එම තත්වයෙන් මිදුණු පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 වැනිදා එනම් අද වැනි දිනකය.ඩොමීනියන් තත්වය ලැබී ඉන් දශක දෙක හමාරක් යන තෙක් ශ්‍රී ලංකාවට එම තත්වයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට නොහැකි විය. එම කාලය තුල මෙරට රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිණයි. බ්‍රිතාන්‍ය කිරීටය විසින් පත් කළ අග්‍රාණ්ඩුකාරවරයෙක් බ්‍රිතාන්‍ය රජු හෝ රැජිණ වෙනුවෙන් මෙරට කටයුතු කළහ. එම කාලය තුල මෙරට ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුව (ද්වී මාණ්ඩලික) තුල සම්මත කළ නීති බ්‍රිතාන්‍යයේ රජුගේ හෝ රැජිණගේ නාමයෙන් සම්මත කර ඇත. වර්තමානයේ ආඥා පනත් යනුවෙන් හැදින්වෙන්නේ 1972 මැයි 22 ට පෙර මෙරට ව්‍යවස්ථාදායකය තුල සම්මත කළ පනත් ය.

නමුත් අසල්වැසි ඉන්දියාව 1947 දී ඩොමීනිය තත්වය ලබා 1950 වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර පූර්ණ ස්වාධීනතාවය ලබා ගැනීමට හැකිවිය. නමුත් එවක මෙරට ජාතික දේශපාලනයේ කටයුතු කල නායකයින් දේශපාලනමය වශයෙන් බෙදී පටු වාසි තකා කටයුතු කරනවා හැරෙන්නට ජාතික වශයෙන් ශක්තිමත් පදනමක් ඔස්සේ කටයුතු කිරීමට අපොහොසත් වීම කණගාටුදායක කරුණකි.

නමුත් 70 දශකයේ ආරම්භයේ සිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැඩිව මතුවිය. එයට හේතු ලෙස එතෙක් මෙරට ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාව තුලින් මහජන හා පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සීමා වීම, ඩොමීනියන් තත්වයෙන් පසුව ඇතිවූ සමාජ ආර්ථික වෙනස්කම් වලට අවශ්‍ය පසුබිම සෝල්බරි ව්‍යවස්ථාවෙන් ඉටු කර ගත නොහැකි වීම වැනි කරුණු විය. එම තත්වය තුල 1970 මැයි 27 පැවති මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමි කරගත් ගරු සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු ආණ්ඩුව සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුව වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු එතැන් සිට ආරම්භ කරන ලදී.

“මේ මැතිවරණයේදී ඔබ විසින් පත්කරගන්නා මන්ත්‍රීන් හට අප රටට නව ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කර ක්‍රියාත්මක කළ හැකි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමට වරමක් ඔබේ ඡන්දයෙන් පවරන ලෙස,” – 1970 මහ මැතිවරණයට සමගි පෙරමුණ ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටාගැනීමකි.

මෙම තත්වය තුල සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ඉදිරි නෛතික ගැටලුවකට මගපාදනු ඇතැයි සිතූ ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණිය 1970 ජූලි 19 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලූම මන්ත්‍රීවරුන් රාජකීය කනිෂ්ඨ විද්‍යාලයට කැදවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවන ලදී. එවක ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා ලෙස කටයුතු කලේ ගරු කොල්වින් ආර් ද සිල්වා මහතා මෙම ක්‍රියාවලියේදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී.

නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබදව ද්‍රවිඩ පක්ෂ වැඩි කැමැත්තක් නොදැක්වූ අතර විශේෂයෙන් ගරු ජේ.ඩබ්ලිව් චෙල්වනායගම් මතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙහි පෙරමුණ ගත්හ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ 1972 මැයි මසදී ගරු ජේ.ජේ.ඩබ්ලිව් චෙල්වනායගම් මහතා තම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමයි.

එක්සත් ජාතික පක්ෂය වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතියෙන් මිදී විධායක ජනාධිපති ක්‍රමයක් පිළිබද යෝජනාවක් මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළ අතර නමුත් පසුව එය යටපත්වී වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යාමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තීරණය කරන ලදී. යම් ලෙසකින් එක්සත් ජාතික පක්ෂයේ එම යෝජනාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිළිගත්තේ නම් මෙරට ප්‍රථම විධායක ජනාධිපති වන්නේ ගරු ජේ.ආර් ජයවර්ධන මහතා නොව ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියයි.

මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සමුළුවේ සභාපති ලෙස ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ හා ගරු ජේ.ආර් ජයවර්ධන මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන් ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා පත්විය. ගරු අයි.ඒ කාදර් මහතා උප සභාපති ලෙසත් ගරු ඊ.ඩබ්ලිව්.පී.එස් ජයවර්ධන මහතා මෙහි ලේකම් ලෙසත් පත්විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ලේකම් ලෙස නොයෙල් තිත්තවැල්ල මහතා කටයුතු කර ඇත. වසර දෙකක් තුල සම්පාදනය වූ මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡේද 16 කින් සහ වගන්ති 134 කින් සමන්විතය. මෙය 1972 මැයි 22 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර එදිනම සම්මත කිරීම හරහා 1972 මැයි 22 වැනිදා සිට ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත් විය.ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව මහනුවර දළදා මාළිගාව අභියස පැවති රාජ්‍ය සැමරුම් උත්සවයේදී ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණිය සිදු කළ ඓතිහාසික ප්‍රකාශයේදී මෙසේ ප්‍රකාශ කර ඇත.

“අපේම ජනතාව විසින් සකස් කර දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිතව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් ආරම්භ මෙම අවස්ථාවේදී මෙහි පැමිණ මෙම පොළොවේ සිට අපගේ ජාතික ධජය නැවත වරක් එසවීමේ භාග්‍ය මට හිමිවීම ගැන මාගේ ජීවිතයේ අමතක නොකල හැකි අවස්ථාවක් ලෙස මා සලකමි.”

එසේ සම්මත කල මෙරට ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ 1 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව නිදහස, ස්වෛරී, ස්වාධීන ජනරජයකි. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව මගින් මෙරට ස්වෛරීත්වයට පනවා තිබූ කොන්දේසි අහෝසි කරන ලදී. එතෙක් “ලංකා” යනුවෙන් හැදින්වූ අප රට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා “ශ්‍රී ලංකා” යනුවෙන් ව්‍යවස්ථාගත විය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය තුලින් මෙරට පරමාධිපත්‍යය ජනතාවට පවරා ඇති අතර එම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම ජනතාව විසින් තෝරා පත් කරන නියෝජිතයින්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාවට හා ජනාධිපතිවරයා වෙත පවරා ඇත. එසේම 5 වන වගන්තිය තුලින් ජනරජයේ උත්තරීතර ආයතනය ලෙස ජාතික රාජ්‍ය සභාව නම් කර ඇති අතර එම වගන්තිය හරහාම ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය ජාතික රාජ්‍ය සභාව තුල සංකේන්ද්‍රගත කර ඇත.

මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ලක්ෂණයක් වන්නේ ප්‍රථම වරට ආගමික හා භාෂාමය ප්‍රතිපත්ති ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමයි. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම පද්ධතියක් හා මූලික මිනිස් අයිතිවාසිකම් පද්ධතියක් මෙරට ප්‍රථම වරට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත. එසේම ජනාධිපතිවරයා (නාමික) පිළිබද විධිවිධාන මෙම ව්‍යවස්ථාව තුලින් හදුන්වාදී ඇති අතර ස්ථිර විධායකය (රාජ්‍ය සේවය) පිළිබද පාලනය සෘජුව දේශපාලන විධායකය (අමාත්‍ය මණ්ඩලය) යටතට පත් කර ඇත. එසේම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නම් විශේෂ ආයතනයක් පිහිටුවන ලදී.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ 1972 මැයි 22 දින සිට අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස මැයි 22 දිනය රාජ්‍ය උත්සවයක් ලෙස උත්සවශ්‍රීයෙන් සමරන ලදී. ශ්‍රී ලංකාව ජනරජයක් වීම නිමිත්තෙන් 1972 දී මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ පද රචනයකට විශාරද පණ්ඩිත් අමරදේවයන් විසින් “ජයතු ජයතු ශ්‍රී ලංකා ධරණී විජය භූමි සෞභාග්‍යශාලිනී සදාභිවන්දිත ජනාභිනන්දිත උදාර වූ ජන රාජ්‍යය ලංකා” යනුවෙන් ජනරජ ගීතයක් පවා නිර්මාණය කර ගායනා කර ඇත.

නමුත් 1977 ආණ්ඩු පෙරලිය සමග අලුතින් පත්වූ එක්සත් ජාතික පක්ෂය නැවත ලංකාවට ඩොමීනියන් තත්වය ලැබූ පෙබරවාරි 04 දින පමණක් උත්සවශ්‍රීයෙන් සැමරූ අතර ඔවුන් මැයි 22 ජාතික වීර දිනය ලෙස නම් කරන ලදී. නමුත් 1994 දී බලයට පත් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් මෙරට දින දර්ශනයේ නිවාඩු වැඩි බව ප්‍රකාශ කරමින් ජනරජ දිනය අහෝසි කරන ලදී. කණගාටුවට කරුණ නම් එම සැමරුම අහෝසි කල පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කලේ 1972 දී ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට නායකත්වය ලබාදුන් ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණිය වීම සහ එම ආණ්ඩුවේ විධායක ජනාධිපති ලෙස කටයුතු කලේ ඇයගේ දියණිය වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වීමයි.

නමුත් මේ කුමන තත්වයක් පැවතියද මෙරට ප්‍රථම ස්වදේශික ව්‍යවස්ථාව සම්මත කල 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාවට පූර්ණ ස්වාධීනතාවය හෙවත් සැබෑ නිදහස හිමිවූ දිනය එනම් ජනරජ දිනය ලෙස සදා අනුස්මරණීය ලෙස පවතින අතර වසරක් පාසා මැයි 22 වැනිදා අභිමානයෙන් ජනරජ දිනය සැමරීම ශ්‍රී ලංකාවාසී අප සැමගේ යුතුකමකි. 49 වන ජනරජ දිනය සමරන මේ මොහොතේ සියලුම ශ්‍රී ලංකා ජනරජ වැසියන්ට අභිමානවත් ජනරජ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි!

Leave a Reply

Your email address will not be published.