Opinion

මැතිවරණ වියදම් පාලනය සම්බන්ධ නීති අවශ්‍ය වේ

Summary

මෙහෙම සල්ලිවලින් දේශපාලනය නටවන්නෙ එක කොන්ත්‍රාත්කාර පැලැන්තියක්. මේ රටේ ආණ්ඩුත්, පොලීසියත්, නීතියත්, මාධ්‍යයත් උන්ට යටයි. මේ රටේ ‘ජනමතය’ හසුරුවන්නෙ උන්.

ලංකාවේ ජාතික මට්ටමේ මැතිවරණවලට සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ රුපියල් මිලියන 3600කට වඩා වියදම් කරනවා. මේ කියන්නෙ සෘජුව ම කරන වියදම් විතරයි. වක්රව කරන වියදම් මීට වඩා හුඟක් වැඩියි.

කොළඹ වගේ දිස්ත්‍රික්කයක අපේක්ෂකයෙකුට හරියට කැම්පේන් එකක් කරලා දිනන්න නම් රුපියල් කෝටි 20ක් වත් අඩු ම වශයෙන් ඕන වෙනවා. මේ මහා සල්ලි කන්දරාව කොහෙන්ද එන්නෙ? මොනවද මේ සල්ලිවල මූලාශ්‍ර? මේ සල්ලි ගිණුම්ගත වෙලා තියෙන්නෙ කොහෙද? මේ සල්ලිවල මූලාශ්‍ර හොයාගෙන ගියොත් ලංකාවේ දේශපාලනය මෙච්චර කුණු වෙලා, ඕජස් ගලන මට්ටමට ඇවිල්ලා තියෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්.

මුදල් විශුද්ධිකරණය කියන්නෙ ලංකාවේ බරපතළ වරදක්. ඒත් ඔබ දන්නවද මේ රටේ වැඩිපුර ම කළු සල්ලි සුදු කරන්නේ මැතිවරණවල කියලා? මේ මැතිවරණවලට සල්ලි එන්නෙ බෑග් පිටින්. මේවා එන්නෙ කොහෙටද යන්නෙ කොහෙටද කියලා හොයන්න බෑ. එහෙම කළු සල්ලි විසි කරලා බලයට එන දේශපාලනඥයෝ ලංකාවේ වංචාව දූෂණය නැති කරයි කියලා අපි බලන් ඉන්නවා. මේ රටේ මිනිස්සු ගැන ඇත්තට ම අනුකම්පා කරන්න ඕනෙ.

මෙහෙම සල්ලිවලින් දේශපාලනය නටවන්නෙ එක කොන්ත්‍රාත්කාර පැලැන්තියක්. කවුරු බලයට ආවත් සල්ලි දෙන්නේ උන්. කොයි ආණ්ඩුව ආවත් කොන්ත්‍රාත් යන්නෙ උන්ට. මේ රටේ ආණ්ඩුත්, පොලීසියත්, නීතියත්, මාධ්‍යයත් උන්ට යටයි. මේ රටේ ‘ජනමතය’ හසුරුවන්නෙ උන්.

විකල්ප දේශපාලන ව්‍යාපාර කියලා කියාගන්න අය ඉන්නෙ වෙන ම ලෝකවල. මේ කිසි දෙයක් වෙනස් නොකර අපේ රටේ මිනිස්සු “225ම එපා” වගේ මෝඩ විහිළු කර කර කාලෙ ගත කරනවා. පරණ හොරු යවලා කාලෙන් කාලෙට අලුත් හොරු ගේනවා. උන් හොරා කාලා මේ රටේ සාරය උරා බොනකොට හූල්ල හූල්ල බලන් ඉන්නවා.

මේ පටලැවුණු නූල් බෝලෙ ලිහන්න පුළුවන් එක කොණක් තමයි මැතිවරණ වියදම් පාලනය සම්බන්ධ නීති ගේන එක. මේක වෙන රටවල ක්‍රියාත්මක වෙන, ලංකාවේත් කාලයක් තිබුණු නීතියක්. මේ නීති එනකල් සාමාන්‍ය පංතියේ ඉපැදුණු වැදගත් මනුස්සයෙකුට මේ රටේ දේශපාලනයේ ඉහළට එන්න බෑ. ඒ සඳහා කරන අරගලය තමයි ලංකාවේ දේශපාලනය ඇත්තට ම වෙනස් කරන අරගලය වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *