COLUMN

මැයි 9, ජූනි 9, ජූලි 9 සහ අරගලයේ ඉදිරි ගමන

Summary

මැයි 9 මහින්ද ගියේය. ජූනි 9 බැසිල් ගියේය. ජූලි 9 ගෝඨාභයට යන තැනට වැඩේ උනේය. එකෙන්ම ආන්ඩුව නිකම්ම අනාගත්තේය. ඒකට අටුවා, ටීකා, ටිප්පනි අවශ්‍ය නැත. ගැස් පෝලිම දහ දෙනාගෙන්, විසි දෙනාගෙන් පටන්ගෙන ඒක දාහා, දෙදාහා වෙනකොට ආන්ඩුව අහක බලාගෙන හිටියේය. […]

මැයි 9 මහින්ද ගියේය. ජූනි 9 බැසිල් ගියේය. ජූලි 9 ගෝඨාභයට යන තැනට වැඩේ උනේය.

එකෙන්ම ආන්ඩුව නිකම්ම අනාගත්තේය. ඒකට අටුවා, ටීකා, ටිප්පනි අවශ්‍ය නැත. ගැස් පෝලිම දහ දෙනාගෙන්, විසි දෙනාගෙන් පටන්ගෙන ඒක දාහා, දෙදාහා වෙනකොට ආන්ඩුව අහක බලාගෙන හිටියේය. තෙල් පෝලිමේ වාහන දහය, විස්සෙන් පටන්ගෙන ඒක දාහා, දෙදාහා වෙනකොට ආන්ඩුව අහක බලාගෙන හිටියේය. පොහොර, බෙහෙත්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් ඔච්චරමය.

ගෑසුත් නැතිය, තෙලුත් නැතිය, බෙහෙතුත් නැතිය, අත්‍යාවශ්‍ය බඩුත් නැතිය, මේවා ගන්න ඩොලරුත් නැතිය, අර්බූදය කලමනාකරණය කරන්න ආන්ඩුවට සැලැස්මක්ද නැතිය, තියෙන සැලැස්මක් ජනතාවට කිවුවෙත් නැතිය. ආන්ඩුව “රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවා” සේ සිටියේය.

මැයි 9 මහින්ද ගෙදර ගියත්, එදා සිදුවීම් අරගලයට දේශපාලනය ඇතුළු කලේය. පස්චාත් මැයි 9 කැලඹීම් අරගලය අල කලේය. ගෝඨා ගෝ ගමේ රොද බැද සිටි ජනතාව විසුරුවා හැරියේය. ගෝල්ෆේස් ආකර්ශනය අඩු කලේය. අරගලකරුවන්ට ගෝල්ෆේස් එකට කට්ටිය ගෙන්නන්න ඩියුටි රෝස්ටර් හදන තැනට දැම්මේය. සමාජ මාධ්‍ය හරහා අරගලකරුවෝ කල ඉල්ලීම් වලට ජනතාව අහක බැලුවෝය. ගෝඨා ගෙදර යනකන් පාරේ වාහන එකතැන නවත්වමු කිවුවාම එකෙක් respond කලේ නැතිය.

ඒත්, මැයි 9 පනිවිඩය ආන්ඩුවට තේරැනේ නැති ගානය. මහින්දව ගෙදර යවා මැයි 9 මිනිස්සු ඉල්ලුවේ තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, බෙහෙත් හැකි ලෙස දෙන්න කියාය. හැබැයි දාහ, දෙදාහට තිබුන ගෑස් පෝලිම ලක්ෂෙ, ලක්ෂදෙක වුනේය. ආන්ඩුව අහක බලාගෙන සිටියේය. දාහා, දෙදාහට තිබුන වාහන පෝලිම කිලෝමීටරේ, කිලෝමීටර්දෙක වුනේය. ආන්ඩුව අහක බලාගෙන සිටියේය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල නහුතෙට නැග්ගේය. ආන්ඩුව අහක බලාගෙන සිටියේය. මොකද බීරාට කන් ඇසෙන්නේ නැත. ජූලි 9 එන්නේ ඔහොම තියෙද්දිය.

තැටිය හොදටම රත් වී ඇත. අවශ්‍ය රොටිය පුච්චා ගැනීමටය. අරගලකරුවන්ට තියෙන ප්‍රශ්නය ගෝඨා එලවීමට මිනිස්සු පාරට නොබසින එකය. දේශපාලුවන්ට තියෙන ප්‍රශ්නය ව්‍යවස්ථාව අනුව ගෝඨා එලවීමට ඇති නොහැකියාවය. කොහොමටත් සජබයට, ජෙවීපීයට, පෙරටුගාමින්ට, නිදහස් පක්ෂයට, 43 බලකායට, TNA එකට, එකී මෙකී නොකී ඔක්කොටම System Change ඕනා නැත. මේ ඔක්කොටම ඕනා ගෝඨා ගෙදර යවන්නය. විසදුම් පස්සේය. ඉතින් නිර්පාක්ශික, සර්වපාක්ෂික අරගලකරුවන් ජූලි 9 “#EndGame2022” වෙනුවෙන් එකී මෙකී නොකී දේශපාලුවන් හම්බ වෙන්නේ පොදු අරමුණ වන “ගෝඨා ගෝ හෝම්” ගොඩදා ගන්නය. සජබය,ජෙවීපීය, පෙරටුගාමින්, නිදහස් පක්ෂය, 43 බලකාය, TNA එක, එකී මෙකී නොකී ඔක්කොම දේශපාලුවන් ජූලි 9 වැඩේට කටින් බතල කොල හිටවුවාට, මීඩියා ස්ටේට්මන්ට් වලින් ජනතාව කුලප්පු කරාට, ඇත්තටම ගේමට එන්නේ නැත. මොකද “පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයකට” සප් එක දීම දේශපාලුවන්ටම අනාගතයේ බූමරැංගයක්‍ වනු නොඅනුමානය.

EndGame2022 එකේ වැඩි බලය ගැනද ප්‍රශ්නය. අරගලකරුවන් ජූලි 9 #EndGame2022 එකට ලෑස්ති වෙනකොට, අන්තරේ ජූලි 8ම ගේමට බහින්නේ ඒකය. එතකොට පෙරටුගාමින්ට #EndGame2022 ජයග්‍රහණය claim කල හැකිය. අප්‍රේල් 3, #GoHomeGota2022 විරෝධතාවට curfew දාලා අනාගත්තා සේම ආන්ඩුව ජූලි 8, #EndGame2022 විරෝධතාවට curfew දාලා නාගත්තේය. නොඑන්නම හිටිය අයත් කෝච්චියෙන්, බස් එකෙන්, ලොරියෙන්, වාහනෙන්, බයිසිකලෙන්, සයිකලෙන් කොලඹ ආවෝය. මීමැසි පොදි ගැසුනු ජනතාව, නිර්පාක්ශිකද, සර්වපාක්ෂිකද, පාක්ෂිකද නැතිව ජනාධිපති මන්දිරයට, ජනාධිපති කාර්යාලයට, අරලියගහ මන්දිරයට කඩාපැන්නෝය. ගෑස් නැවු, තෙල් නැවු එන එක බල බල දැක දැක ගෝඨාභයට ගෙදර යන්න වුනේය. අගමැතිකම බාරගන්න එකෙක්වත් නැති වෙලාවෙ do or die පෙරට ආව රනිල්ගේ ගෙදරටද අමනයෝ ටිකක් ගිනි තැබුවේය. ගිනි තියන තැනට මීඩියා එකේ ඒක කුලප්පු කලේ කවුද කියන එක කවුරුත් දැන් දන්නවාය.

ජූලි 9 #EndGame2022 එක එසේ නිමවිය. එතකොට අරගලය දිනුම්ද ? නැත. අරගලයේ මූලික අරමුණ පුද්ගල කේන්ද්‍රීය දේශපාලන බල පෙරලියක් නොවේය. එය පූර්ණ System Change එකක් සදහාය. ලියුම්කරැ මේ ගැන දිගින් දිගටම ලියා ඇත. System Change එකක් යනු ජනාධිපතිගේ පුටුවේ වාඩිවී සෙල්ෆි ගැසීම, ජනාධිපති මන්දිරයේ ඇදවල් වල පිනුම් ගැසීම, නාන තටකයේ පීනීම වැනි බාල චූන් වලට එහා ගිය සංග්‍රාමයකි. සෙල්ෆි ගසා බාල් නැටිම තුනේ පන්තියේ, හීනමාන, ඉරිසියාවට කරන, කෝන්තර පිරිමසා ගැනීමේ මෝඩ ජෝක්ස්ය. කොටින්ම ඒවගේ ගොන් වැඩ අරගල එකෙන්ම නිකම්ම අල කිරීමකි. System Change එකක් යනු Sightseeing එකකට වඩා බොහෝ දුරගිය දෙයකි.

ගෝඨාභය ගෙදර ගියාට “ජූලි 9” ප්‍රජාතන්ත්‍රවාදයට වැදුනු පා පහරකි. ඒක තේරුම් ගන්න ලංකාවට තව ගොඩාක් කල් ගතවෙයිය. ජූලි 9 ගෝඨාභය ගෙදර ගියේය. නමුත් රට අවුරුදු ගානක් ආපස්සට ගියේය. මේක නොවෙන්නට ගෝඨාභයට කලින්ම අස්වී ගෞරවයෙන් ගෙදර යන්න අවස්ථාව ඕනාවාටත් වඩා තිබිනි. නොකලේ ඇයි දැයි කිසිවෙක් නොදනීය.

අදින් පසු කොයි වැඩ්ඩාටත් (සජිත්ද, අනුරද, ඩලස්ද, ෆොන්සේකාද, පාටලීද, කුමාර ගුනරත්නම්ද, සාලිය පීරිස්ද, Aද, Bද, Cද අදාල නැත) රට පාලනය කිරීම මීට වඩා බොහෝම අමාරුය. මොකද බලය පාර්ලිමේන්තුවන් පිටය. ප්‍රජාතන්ත්‍රවාදය වල් වදිනවාය. රටේ නීතිය, සාමය, ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය, හමුදාව යොදවා ගන්න බැරිය. මොකද එදා එපා කියපු දේට හෙට පොලීසිය, හමුදාව යොදාවා ගන්න බැරිය. ආරක්ෂාව වල් වදිනවාය. රටේ නීතිය සාදාරණව යොදවා ගන්න බැරිය. මොකද එදා බෑ කියපු ඒවාට හෙට හා කියන්න බැරිය. නීතිය වල් වදිනවාය.

පාර්ලිමේන්තුවේ එකම ආසනයක්වත් නැති, කුමාර ගුනරත්නම්ගේ පෙරටුගාමි පක්ෂය, අන්තරේ වසන්ත මුදලිගේ හරහා රිමෝට් එක පාර්ලිමේන්තුවෙන් පිටට ගන්නේ එහෙමය. කුමාර ගුනරත්නම් “අරගලය තමයි රටේ නීතිය” කියන්නේ ඒකය. නිවිහැනහිල්ලේ කල්පනා කරනකොට මේක සමහරවිට තේරැම් යනු ඇත. මජර දේශපාලනේ පටු අරමුණු වෙනුවෙන්, දේශපාලුවෝ, කලු කබා කාරයෝ, පල්ලිය, අනාගාමිකයෝ, NGO කාක්කෝ, ඔය හැම එකාලම එකතුවී උසීගැන්වූ, “පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලය” නැවත හරවනු බොරුය. අපි ඇවීලු ගින්නෙන් අපිම දැවීයනු ඇත. මොකද “පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලය” දැන් විධායකයටත්, ව්‍යවස්ථාදායකයටත්, අධිකරණයටත් උඩින් ය.

මේ අභියෝගය පටන්ගත්තා පමණි. දේශපාලන වශයෙන් නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක්, නව ආන්ඩුවක් පත්කිරීම සදහා ඉක්මනින්ම කටයුතු කලයුතුව ඇත. අරගලකරුවන්ගේ සාධාරණ ඉල්ලීම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඉටු කලයුතුව ඇත. රටේ ආර්ථිකය නැවත ගොඩ නැගිය යුතුව ඇත. IMF සමග සාකච්ඡා ඉදිරියට ගෙන යා යුතුව ඇත. තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, බෙහෙත්, පොහොර ලබා දිය යුතුව ඇත. අහස උසට නගින ජීවන වියදම පාලනය කල යුතුව ඇත. රටට ඩොලර් රැගෙන ආ යුතුව ඇත. සමාජීය වශයෙන් බිදුනු හදවත් සුවකල යුතුව ඇත. අධ්‍යාපනය නැවත ගොඩ නැංවීය යුතුව ඇත. ආරක්ෂාව තහවුරු කල යුතුව ඇත. System Change එක පේන මානයක නැත.

ඉතින් සජිත්ට උණ ගැනිම සාධාරණය. අනුර මීක් නොකීම සාධාරණය. මොකද මේ ඔක්කොම කාඩ්බෝඩ් වීරයෝ පමනක්මය. නායකයා යනු අභියෝග හමුවේ පලායන්නා හෝ මුනිවත රකින්නා නොව, නොසැලී අභියෝග ජයගන්නාය. ඒත් දැන් වීරයෝ මැරිලාය. මොකද තාම කැම්පස් එකේ ඩිග්රියවත් අවුරැදු 7ක් තිස්සේ ගොඩ දාගන්න බැරි වසන්ත මුදලිගේ ඇවිත් මේක ගොඩ දාන්නද ?

අන්තිමේදී කියන ඇත්තේ මැයි 9, ජූනි 9, ජූලි 9 දැන් අතීත කාලයය. ජූලි 11 වර්තමාන කාලයය. අගෝස්තු 9 අනාගත කාලය‍ය. එදාට අපි ඉන්නේ මීටත් වඩා අරාජික තැනකද යන්න තීරනය වන්නේ ඔය හැම එකාම ඇත්තටම රට ගැන සිතා අද ගන්න තීරනය මතය.

ආ මඟ කෙටියි යා යුතු මග දුරයි – නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි – නුවණින් අවදියෙන් යා යුතු බව දනිම් කිවුවලු……!

රංජිත් ප්‍රේමවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *