Opinion

මිස් ජෙනිස් – සාමාන්‍ය කාලයක නම් ප්‍රේක්ෂකයා පැල් බැඳගෙන නරඹන චිත්‍රපටයක්

Summary

ඇත්තට ම සුසිරන් ද සිල්වා පුංචි තිරය හා පුළුල් තිරය අතර වෙනස දන්නා බව පෙනේ. පුංචි තිරයෙන් ලැබෙන පුංචි සතුට වෙනුවට පුළුල් තිරයෙන් විශාල සතුටක් දායාද කරන්නේ ඒ නිසාය.

  • Save

මහ රෑ හමුවූ ස්ත්‍රීය යනු ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා ලියූ නවකතාවකි. එහෙත් මා කියන්නට යන්නේ මහ වැස්සේ හමුවූ ස්ත්‍රීය ගැනය.

මෙය සිදුවූයේ සඳුදා දිනකය. මහ රෑ නොවේ සවස හතට පමණය. එහෙත් මහ වැස්සේය.

මගේ කාර් එකේ වැසි දිනවලට පමණක් එන දෝෂයක් තිබේ. සැබවින් ම වැසි දිනට පමණක් පැමිණෙන දෝෂයක් නොවේ. එහෙත් වෙනත් දිනවල ඒ දෝෂය තිබුණත් කිසිදු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නයක් වන්නේ වැසි දිනක ඒ දෝෂය ආවොත් පමණකි. එනම් වයිපරය හෙවත් වැසිවතුර පිසිනය ක්‍රියා විරහිත වීමය.

වැස්සේ සවස පහහමාරට ඔපිස් එකෙන් පිටත් වන විට වයිපරය වැඩකරමින් පැවතිණ. කිරුළපනය පසුකරන විටත් ප්‍රශ්නයක් තිබුණේ නැත. එහෙත් ප්‍රශ්නයක් ඇති වෙන ලකුණු පහළ වී තිබිණි. ඒ නිසා වැස්සේ වුව ද වයිපරය හැකිතරම් අඩුවෙන් භාවිතා කරමින් ආවෙමි. එහෙත් හරියටම මහරගම නගරයට එය සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය විය

එහෙත් වාසනාවට නගර මධ්‍යයේ වුව ද පාර අයිනේ වාහනය පාක් කරගැනීමට තරම් ඉඩක් තිබිණි. වැස්ස නිසා විය හැකිය. ඉදිරියේ කිසිවක් නොපෙනේ. වැස්ස පායන තුරු සිට යළි ගමන් ඇරඹීම හැර වෙනත් විකල්පයක් නැත. මම හිත හදා ගත්තෙමි.

එහෙත් වැස්ස ඉක්මනින් පායන ලකුණු නොතිබිණි. වැස්ස පායන තුරු කිරීමට යම් දෙයක් සොයාගත යුතුව තිබිණි. මා කාර් එකෙන් බැස්සේ පාර පැන කාගිල්ස් එකට යාමටය.

මහරගම බෝගහට කිට්ටුව සිග්නල් ලයිට් සහිත කහ ඉරෙන් පාර පැන කාගිල්ස් එක දෙසට එන විට මට නිකමට ඇමිටි ගොඩනැගිල්ලට ගොඩවැදීමට සිතිණි. ‘මහවැස්සේ හමුවූ ස්ත්‍රීය’ කතාව ලියැවෙන්නේ ඒ අනුවය.

ගොඩනැගිල්ලට ගොඩ වැදුණු මට එහි පහළ තබා ඇති ඇමිටි සිනමාශාලාවේ දැන්වීම් පුවරුව දකින්නට ලැබිණි. එහි 4.30ට පාංශු චිත්‍රපටය ද 7.00ට මිස් ජෙනිස් චිත්‍රපටය ද පෙන්වන බව සටහන් ව තිබිණි.

කෙසේ වුවත් බෝඩ් එක දැක්කත් මට මෙසේ චිත්‍රපට පෙන්වන බවට විශ්වාසයක් නොතිබිණි. මට සිතුණේ මේ මහ වැස්සට මගේ වයිපරය මෙන් ම අනෙක් සියල්ල ද අකර්මණ්‍ය වී ඇති බවකි. එහෙත් කරන්නට දෙයක් නැති නිසා තුන්වෙනි තට්ටුව කරා පඩිපෙළ දිගේ උඩට නගින්නට වූයෙමි.

ශාලාවට ඇතුලුවන දොරටුව විවෘත ව තිබිණි. කවුන්ටරයේ සිනමාහලේ කළමනාකරු වාඩිව සිටියේය. එහෙත් මිස් ජෙනිස් ප්‍රදර්ශනය වෙතැයි විශ්වාස කිරීමට මගේ සිත මැලිවිය. මිස් ජෙනිස් පෙන්වනවාදැයි මා ඇසුවේ ඒ නිසාය. ‘ඔව්’ යැයි ඔහු පිළිතුරු දුන්නේ එතරම් ම සතුටින් නොවේ. අසතුටින් ද නොවේ.

ටිකට්පත රැගෙන මම ඇතුළු වූවෙමි. චිත්‍රපටය ආරම්භ වූවා පමණි. චිත්‍රපටයක් පටන් ගැනීමෙන් පසු ව චිත්‍රපට ශාලාවකට ඇතුළු වූ විට දකින්නට ලැබෙන ලස්සන ම සිනමා ශාලාව මට එහිදී දකින්නට ලැබිණි. සියලුම ආසන රතුපාටින් ලස්සනට හිස් ව තිබිණි. එකම ප්‍රේක්ෂකයා මම වූයෙමි. එහෙත් මට පාලුවක් දැනුනේ නැත. තනියට ‘මනෝ අයියා’ සිටියේය.

සිනමාශාලාවේ පාලුව මකමින් සිනමා කෘතිය හනිකට මගේ තනියට ආවේය. සිනමා ශාලාවේ සිටින්නේ මා පමණක්ය යන්න බොහෝ විට මට අමතකව ගියේය. මට කියන්නට ඇත්තේ මෙය සිත සැහැල්ලුවෙන් සැහැල්ලුවට ගෙනයන චිත්‍රපටයක් බවය. සහනයෙන් සහනයට ගෙන යන චිත්‍රපටයක් බවය. ඇත්තටම කොරෝනා අසහනය ද අමතක කරවීමට තරම් චිත්‍රපටයෙන් ලැබෙන සහනය මහත් විය. සිනමාකරුවාගේ අරමුණ එය නම් එය අතිශයින් සාර්ථක වී ඇති බව කිව යුතුය. ප්‍රේක්ෂකයාගේ මනසට කිසිදු දුකක් නොවන අයුරින් හා හැකි හැමවිටකම සමහර චිත්‍රපටවල දකින්නට ලැබෙන ආකාරයෙන් ‘ඇඟ කිති කවා’ නොව හිත කිති කැවී සිනාවක් මතුවන අයුරින් සිනමා කෘතිය නිර්මාණය වී ඇති බව මට සිතිණි.

හාස්‍යය සිනමාරූපීව ග්‍රහණය කරගැනීම වැනි විකාර කතාවක් ද එහෙයින් මට කියන්නට සිත් වේ.

මිස් ජෙනිස් පසුපස පන්නාගෙන යන නිවසේ මෙහෙකරුවා නෝනා මහත්තයා දකින මානයේ මිස් ජෙනිස් පිටුපස මරන්නට පෙන් පන්නාගෙන ගොස් නෝනා මහත්තයාට නොපෙනෙන හරියට පැමිණ විට එක්වරම පසුපස පැන්නීම නවත්වා ‘ඉතින් යනවා’ යැයි කියයි. එතෙක් ඔහු පන්නා ඇත්තේ බොරුවට නෝනාට පෙනෙන්නට පමණක් බවත් මරන්නට මෙන් මුලින් පිටුපස පැන්නීම මවා පෑමක් පමණක් බවත් අපට වැටහෙන්නේ ඒ මොහොතේ දී ය. අපට පමණක් නොව මිස් ජෙනිස්ට රඟපාන මනෝරත්න මහතාට පවා එය වැටහෙන්නට ඇත්තේ ඒ අවස්ථාවේ විය හැකිය. මෙහෙකරුවාට රඟපාන සහාය නළුවාගේ රංගනය එතරම් විශිෂ්ටය. මරන්නට පැන්නූ එකා පැන්නීම නවත්වා ‘ඉතින් යනවා’ කීවිට මිස් ජෙනිස් තුළ පහළවන අදහාගත නොහැකි බව ඇත්තටම ජයලත් මනෝරත්න මහතා අදහාගත නොහැකි ආකාරයෙන් නිරූපණය කර ඇත. මෙබදු සියුම් අවස්ථාවක් උපරිම ආකාරයෙන් ග්‍රහණය කරගැනීමට හැකිවීම තුළ සිනමා අධ්‍යක්ෂවරයාගේ හැකියාව මතුවේ.

අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම චිත්‍රපටය වීම නිසා හෝ එය එසේ බව අප දන්නා නිසා චිත්‍රපටයේ සමහර තැන් මෙයට වඩා හොඳට ආවා නම් යැයි සිතෙන අවස්ථා ද තිබිණි. එහෙත් සමහර අවස්ථා අපට මවාගන්නට පමා නොහැකි තරම් හොඳට තිබිණි. එනම් අප විශ්මය ගන්වන අයුරින් අරගෙන තිබිණි. එනම් අප දුටුවේ අපේ හිතෙන් හිතාගෙන නොතිබූ ආකාරයේ දර්ශනයකි. ජීවිතයේ ප්‍රථම වරට අප දකින රූප මාලාවකි. අපේ සිතේ නොතිබූ රූප මාලාවකි. අපූර්වත්වය යැයි කියන්නේ ද එයට විය යුතුය. චිත්‍රපටය ආනන්දනීය වන්නේ සිනමා අධ්‍යක්ෂකවරයාගේ මේ පරිකල්පන හැකියාව නිසාය. රිදී තිරය මත සතුට පතිත කිරීම, ආනන්දය පතිත කිරීම වැනි අලුත් යෙදුමක් මේ අලුත් නිර්මාණය වෙනුවෙන් යොදන්නට සිතේ. යෙදුම මගේ වුව ද මේ චිත්‍රපටය නොදැක්කා නම් කවදාවත් මෙබඳු අදහසක් මගේ සිතට නොඒ. ඔබ අනිවාර්යයෙන් ම මිස් ජෙනිස් නැරඹිය යුත්තේ ඒ නිසාය. සිනමා තිරය මත පැතිරෙන සතුට අත්විඳීම, දැකගැනීම සඳහාය. සිනමා තිරයෙන් ඔබේ හදවතට සිතට පැතිරෙන සතුට සොම්නස විඳගැනීම සඳහාය. කොරෝනා නොවූ සාමාන්‍ය සමයක නම් මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳින චිත්‍රපටයක් නොඑසේනම් ප්‍රේක්ෂකයා පැල් බැඳගෙන නරඹන චිත්‍රපටයක් වන්නට ඉඩ තිබිණි.

ඇත්තට ම සුසිරන් ද සිල්වා රූපවාහිනී හා සිනමා මාධ්‍ය අතර වෙනස හඳුනන බව පෙනේ. පුංචි තිරය හා පුළුල් තිරය අතර වෙනස දන්නා බව පෙනේ. පුංචි තිරයෙන් ලැබෙන පුංචි සතුට වෙනුවට පුළුල් තිරයෙන් විශාල තිරයෙන් විශාල සතුටක් දායාද කරන්නේ ඒ නිසාය. නිර්මාණකරුවෙකු ලෙස සුසිරන් ද සිල්වාගේ දැක්ම හා හැකියාව අති විශිෂ්ටය.

අසීරු චරිත යුගලයක් සැහැල්ලුවෙන් ගෙන මනෝරත්න මහතා කරන රංගනය තුළ චිත්‍රපටයේ සාර්ථකත්වය රැදී ඇතැයි සිතේ. නොඑසේනම් ඒ සඳහා මනෝරත්න මහතා මෙහෙයවීමට අධ්‍යක්ෂවරයා සමත් ව ඇත. චිත්‍රපටයට අවශ්‍ය රංගනය මනෝරත්න මහතා වෙතින් උකහාගැනීමට අධ්‍යක්ෂවරයා සමත් ව ඇත.

චිත්‍රපටය අතරතුර සමහර තැන්වල සිත සතුට සහ දුක අතර දෝලනය වීම ද වෙයි. සතුට චිත්‍රපටය ගැනය. දුක මනෝරත්න මහතාගේ නික්ම යෑම ගැනය. එහෙත් ජයලත් මනෝරත්න මහතා සිංහල සිනමාවට තවත් විශිෂ්ට රංගනයක් ඉතිරි කරගොස් ඇත. එය ඔබ නරඹා තිබිය යුතුය.

මා මේ චිත්‍රපටය නැරඹුවේ අහම්බෙනි. එහෙත් ඔබ සිතාමතා මේ චිත්‍රපටය නැරඹීමට යායුතුය. සිනමාවේ අනාගතය වෙනුවෙන් සුසිරන් ද සිල්වා සිනමාකරුවා රැකගැනීම ප්‍රේක්ෂකයා සතු වගකීමකි.

දේශපාලනයෙන් පමණක් රට රැකගැනීමට නොහැක. කලාව රැකගැනීම රට රැකගැනීමකි. එහෙත් බොහෝ අය රට රැකගැනීමට උත්සාහ කරන්නේ දේශපාලනයෙන් පමණි. ඒ රට රැකගැනීමට ඇති වුවමනාවකට වඩා දේශපාලනයෙන් තනතුරු වරදාන ලබාගැනීමට ඇති වුවමනාව නිසාය. රට ප්‍රපාතයට වැටෙන්නේ ඒ නිසාය. මෙවන් චිත්‍රපට නැරඹීම දේශපාලන වගකීමක් වන්නේ ද ඒ අයුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap