Opinion

මීමුරේ, ලංකාගම සහ මැටියගනේ

Summary

“මීමුරේ” කියන නමින් වතුර බෝතල් හැදුවොත් ඒවා ඉහළ මිලට විකුණන්න බැරි ද? “ලංකාගම” කියන නමින් කිතුල් හකුරු හැදුවොත් ඒවා ඉතා ඉහළ මිලකට විකුණන්න බැරි ද?

මීමුරේ සහ ලංකාගම ගැන අහපු නැති කෙනෙක් නෑ. ඒ ගම්මාන ගැන විස්තර රටේ පැතිරිලා තියෙන්නේ ඒවායේ තියෙන විශේෂත්වය හින්දා. ඒත් මැටියගනේ ගැන දන්නේ කීයෙන් කී දෙනා ද? පුරාණ රජ මහා විහාරයක් තියෙන පැරැණි ගම්මානයක් වුනත් මැටියගනේ විශේෂත්වය මේ වෙද්දි නැතිවෙලා.

හැබැයි මැටියගනේ කියන්නේ මීමුරේට සහ ලංකාගමට වඩා ගොඩක් “දියුණු” ගමක්. මේ ගමේ හරි මැද්දෙන් මහ පාරක් යනවා. කොළඹ – කුරුණෑගල (අංක 5), මීගමුව – කුරුණෑගල (අංක 34) ඇතුළු මාර්ග ගණනාවක බස් මහ ගොඩකුත් මේ පාරේ දුවනවා.

මැටියගනේ ඉස්කෝලෙටත් ලොකු ඉල්ලීමක් ලැබිලා. දැන් ඒකට ළමයෙක් දාගන්න එකත් අමාරු වැඩක්. ඊට අමතරව නාරම්මල මයුරපාද, දඹදෙණිය සිරි පැරකුම්බා, ගිරිඋල්ල වික්‍රමශිලා, නක්කාවත්ත මහින්ද වගේ ජාතික පාසල්වලට වුනත් බොහොම ලේසියෙන් යන්න පුළුවන්. ළමයි සෑහෙන පරිසක් කුරුණෑගල ඉස්කෝලවලටත් යනවා. කොළඹ ඉස්කෝලවලට යන අයත් නැතුවා නෙවෙයි.

මැටියගනේ ගම වටේ ඉස්පිරිතාල මහ ගොඩකුත් තියෙනවා. ළඟින් ම තියෙන්නේ දඹදෙණිය මූලික රෝහල. නාරම්මල රෝහල, කුරුණෑගල මහ රෝහල, අලව්ව රෝහල, කුලියාපිටිය රෝහල තියෙන්නේ මහ ඈතක නෙවෙයි. අවශ්‍ය නම් කොළඹ, ගම්පහ සහ මහනුවර රෝහල්වලටත් යන්න පුළුවන්. ගම ඇතුළේ ඩිස්පැන්සරි මහ ගොඩකුත් තියෙනවා.

ගමේ සෑහෙන්න කඩ සාප්පු තියෙනවා. පුංචි පහේ සුපිරි වෙළෙඳසල් පවා තියෙනවා. පුද්ගලිකව මගේ ගෙදර ගත්තොත් ළිං ජලයත් තියෙනවා. නළ ජලයත් තියෙනවා. මොනවැයින් අඩුවක් ද?

ඉතින් මැටියගනේ ඉඩම් විකිණෙන්නේ මහ ඉහළ ගණන්වලට. පාර අයිනේ ඉඩම් පර්චස් එකක් ලක්‍ෂ පහකටත් ගන්න අමාරුයි. මේකට තමයි අපි දියුණුව කියලා කියන්නේ.

මේ හැම පහසුකමක් ම විඳින ගමන් මීමුරේට, ලංකාගමට පාරවල් කපන එකට මම විරුද්ධයි. මම මොන තරම් නරුමයෙක් ද?

ලංකාවට ම මීමුරේ වගේ ගම්, ලංකාගම වගේ ගම්මාන තවත් නෑ. ඒත් මැටියගනේ වගේ ගම් දාස් ගණනින් තියෙනවා. මීමුරේට සහ ලංකාගමට විශේෂත්වයක් ලැබිලා තියෙන හින්දා මුළු රටේ ම මිනිස්සු ඒ ගම් ගැන දන්නවා. ඒ ගම් බලන්න යන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ ගම් බලන්න යන්න හීන දකින විශාල පිරිසකුත් ඉන්නවා.
ඒත් මැටියගනේ බලන්න කවුරුවත් එන්නේ නෑ. එහෙම එන්න හිතන්නෙවත් නෑ. ඉතින් ඒ පැත්තෙන් මැටියගනේට වටිනාකමක් නෑ.

ඒත් අපේ සමහරු කැමැති මීමුරේ සහ ලංකාගමත් මැටියගනේ වගේ “දියුණු” වෙනවා දකින්න. ඒ අය මම වගේ නරුම නෑ. කුහක නෑ.

මගේ මෝඩකමට මීමුරේ සහ ලංකාගම ගැන මම හිතන්නේ ජාතික වස්තු විදිහට. ආණ්ඩුව මැදිහත් වෙලා පුළුවන් තරමින් වියදම් කරලා ඒ ජාතික වස්තු රැක ගන්න ඕන කියලා මම හිතනවා.

අපි සිංහරාජය රකින්නේ ඇයි? යාල, විල්පත්තුව, වස්ගමුව රකින්නේ ඇයි? ඒ සම්පත්වල ජාතික වටිනාකමක් තියෙන හින්දා අපි ඒවා ආරක්‍ෂා කරනවා. ඒ වගේ ම ආගමික, ඓතිහාසික වටිනාකම් තියෙන ස්ථානත් අපි ජාතික සම්පත් විදිහට ආරක්‍ෂා කරනවා. මීමුරේ සහ ලංකාගම කියන්නෙත් ඒ වගේ ජාතික වස්තු. ඒ ජාතික වස්තු රැකගෙන ඒ ගම්වල ඉන්න මිනිස්සුන්ට ඉහළ ම විදිහට සළකන ක්‍රමයක් ආණ්ඩුවට තියෙන්න ඕන. ඒ අයගේ අධ්‍යාපනික, සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා ගැන ආණ්ඩුව හොයලා බලන්න ඕන. හැබැයි මොන දේ කළත් ඒ ගම්මාන දෙකේ තියෙන විශේෂත්වය නම් නැති කරලා දාන්න හොඳ නෑ.

මේ ගම්මාන දෙක රැක ගැනීමට අදාළ අණ පනත් වුනත් පනවන්න ආණ්ඩුවට පුළුවන්. ඒ ගම්මාන රැකගෙන මිනිස්සුන්ට පහසුකම් සළස්වන්නේ කොහොම ද කියලා හොයලා බලන්න පර්යේෂණ කටයුතු පවා කරන්න පුළුවන්. ඒ වගේ ම, එහෙම හොයා ගන්න දැනුම මත පදනම් වෙලා ඒ ගම්මාන දියුණු කරන ක්‍රම ගැන වුනත් හොයලා බලන්න පුළුවන්. ඒ විදිහට හදන සැලසුම් මත තමයි හැම වැඩක් ම කරන්න ඕන.

එහෙම නැතුව තාවකාලික අරමුණු මුල් කරගෙන ඒවාට පාරවල් කපලා දෙන්න නම් ඕන මෝඩයෙක්ට පුළුවන්. ඒකට ඕන කරන්නේ ඩෝසරකුත් තව යන්ත්‍ර සූත්‍ර කීපයකුත් විතරයි.

යම් යම් විශේෂතා තියෙන ගම්මාන ඒ විදිහට ම ආරක්‍ෂා කිරීම ලෝකය පුරා ම සිද්ද වෙන කාර්යයක්. ඒ වැඩවල තියෙන්නේ සංචාරක කර්මාන්තයට අදාළ වටිනාකම් විතරක් නෙවෙයි. මානව අධ්‍යයන කටයුතුවල නිරත වෙලා ඉන්න අයත් මේ දේවල්වලින් ප්‍රයෝජන ලබනවා. දැන් පැතිරිලා තියෙන ආකාරයේ පාලනය කරන්න බැරි මහා වසංගත තත්ත්වයක් ඇති වුනොත් මිනිස්සු මොකද කරන්නේ? අපි විකල්ප හොයන්නේ මොන තැන්වලින් ද? මෙන්න මේ ප්‍රශ්න ගැන ඒ පර්යේෂකයෝ සහ අදාළ ආණ්ඩු හිතනවා.

චීනයේ හ-නන් පළාතේ තියෙන නන්-චියේ ගම්මානයත් එහෙම එකක්. ඒ ගමේ සමාජ – ආර්ථික කටයුතු හැම දෙයක් ම තවමත් කරන්නේ 1978 ට කලින් සිද්ද වෙච්ච විදිහටමයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අනුව අවුරුදු කීපයක් වැඩ කරපු ඒ ගමේ මිනිස්සු 1984 දී ආපහු පරණ ක්‍රමයට යන්න තීරණය කළා. ඉතින් එදා ඉඳලා තවමත් පරණ විදිහට ම ඒ ගමේ හැම වැඩක් ම කරනවා. මේ විදිහෙ ආදර්ශ ගණනාවක් චීනයේ ඉතිරි වෙලා (ඉතිරි කරලා) තියෙනවා. මේ වෙද්දි ඒ ගම්මානවලට විශාල සංචාරක ආකර්ශනයකුත් ලැබිලා.

සංචාරක ආකර්ශනය කියන එකෙන් අදහස් කරන්නේ විදේශ සංචාරකයෝ ගෙන්න ගන්නවා කියන එක නම් නෙවෙයි. මේ දේවල්වලට වැඩියෙන් ම යොමු වෙන්නේ දේශීය සංචාරකයෝ. ඒ වගේ ම, මේ ගම්මානවල නිෂ්පාදනවලටත් ඉතා හොඳ වෙළෙඳපොළක් තියෙනවා. “මීමුරේ” කියන නමින් වතුර බෝතල් හැදුවොත් ඒවා ඉහළ මිලට විකුණන්න බැරි ද? “ලංකාගම” කියන නමින් කිතුල් හකුරු හැදුවොත් ඒවා ඉතා ඉහළ මිලකට විකුණන්න බැරි ද?

ඉහළ මිලක් ලැබෙන්නේ විශේෂත්වයට. හැම තැන ම තියෙන සාමාන්‍ය දේවල්වලට එහෙම ආර්ථික වටිනාකමක් නෑ. ඉතින් මීමුරේ සහ ලංකාගම “දියුණු” කරලා මැටියගනේ වගේ කරනවාට මම අකැමැතියි. මේ දියුණුවට කැමැති අය “ඉක්මනින් ඉස්පිරිතාලේ ගෙනියන්න බැරි වෙච්ච හින්දා අහවල් ආච්චි මළා” වගේ කතා උස්සලා පෙන්නනවා. ඒත් මේ ගම මැද්දෙන් යන පාරේ හැප්පිලා මැරෙන එවුන් ගැන අපි කියන්නේ නෑ. මේ ගම මැද්දෙන් යන පාරේ දවසකට වාහන දහ පහළොස් දාහකට වඩා දුවනවා. අපි පාර මාරු වෙන්නෙත් කල්පයක් බලාගෙන ඉඳලා. අපි පුංචි කාලේ දඹදෙණිය සමුපකාරයේ හිටිය සභාපතිතුමා ගිය සතියේ පස් ලොරියකට යට වෙලා මිය ගියා. දම්පෑලැස්ස හන්දියේ දී වාහනයකට යට වෙච්ච බඩ දරු අම්මා කෙනෙක්ට වෙච්ච දේ හිත හදාගෙන ලියන්න බෑ.

මේ වගේ සිද්දි උස්ස උස්ස පෙන්නලා පාරවල් හැදිල්ල සාධාරණීකරණය කිරීම හොඳ වැඩක් නෙවෙයි. ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන අපි හිතන්න ඕන. ඒවාට විශේෂ විසඳුම් ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැතුව පාරවල් හදලා ඒ ගම්වල තියෙන විශේෂත්වය නැති කරන එක නම් විසඳුමක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *