Opinion

මේ ගුරු පාරක් නොවේ!

Summary

පුළුවන්කමක් තියෙන අය මේ ඉස්කෝලේ ගැන (වන්නිහැළඹවැව සරිසඟබෝ විද්‍යාලය ගැන) හොයලා බලන්න.

“ගුරු සටන ගැන ලියලා, කියලා ඉවර ද?” කියලා මගේ යාළුවෙක් ඇහුවා. “ඔව්” කියලා මම උත්තර දුන්නා. “ඇයි ඒ?” කියලා යාළුවා ඇහුවා. “කියන්න තියෙන දේ කියලා ඉවරයි. තව කියන්න දෙයක් නෑ” මම උත්තර දුන්නා.

“චීනයේ ගුරු පඩිය කොහොම ද?” කියලා යාළුයා ඊ ළඟට ඇහුවා. “ඒක ඉතින් තැනින් තැනට වෙනස්. ඒ හින්දා ඒ ගැන කියන එක ලේසි නෑ” මම උත්තර දුන්නා.

“එතකොට ටියුෂන්?” යාළුවා අහපු මේ ප්‍රශ්නයට දීපු උත්තරේ මම ලියන්නම්.
චීනයේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් පංතිවල උගන්නන්න බෑ. ඒක තහනම්. මීට කාලෙකට කලින් ඒ අයත් ටියුෂන් කළා. ඒත් දැන් ඒක මුළුමනින්ම තහනම් කරලා.

මේ සම්බන්ධයෙන් චීන බලධාරීන් හේතු දෙකක් දක්වලා තියෙනවා. ගුරුවරු ටියුෂන් කරන්නේ මුදල් හම්බකරන්න. උගන්නන්න තියෙන හැම දෙයක් ම ඉස්කෝලේ පංතියේ දී ඉගැන්නුවොත් ළමයි ටියුෂන් එන්නේ නෑ. ඉතින් ළමයි ටියුෂන් ගෙන්න ගන්න නම් ඉස්කෝලේ පංතියේ බාගෙට උගන්නන්න වෙනවා. ඒක ළමයින්ට කරන අසාධාරණයක්. ඉස්කෝලවලට ගුරුවරු පත්කරලා පඩි ගෙවන්නේ බාගෙට උගන්නන්න නෙවෙයි. ඒ හින්දා ගුරුවරු තමන්ගේ කාලය මුළුමනින්ම ඉස්කෝලේ ඉගැන්වීමට යොමුකරන්න ඕන. මේක තමයි පළමුවැනි කාරණය.

ඉස්කෝලේ පංතියේ ඉගෙනගන්න දේ ටියුෂන් පංතියකින් ආයෙත් ඉගෙනගන්න ලැබෙනවා නම් ළමයි ඉස්කෝලේ පාඩමට සම්පූර්ණ අවධානය යොමුකරන්නේ නෑ. ඒකත් වැරැද්දක්. මේක තමයි දෙවැනි කාරණය.

ඉතින් මේ කාරණා දෙක සළකලා චීනයේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් පංතිවල ඉගැන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කරලා තියෙනවා. මේ වැඩේ හරියට වෙනවා ද කියලා හොයලා අදාළ අංශවලට වාර්තාකරන්න සමාජය තුළින් ම තෝරාගත්ත සමහර පිරිස් යොදවලා තියෙනවා. ඒ අයට මුදල් ගෙවන්නේ ලබාදෙන තොරතුරු ඇත්ත නම් විතරයි.

හැබැයි කිසිම මුදලක් අය නොකර අමතර පංති කරන්න තහනමක් නෑ. එකම කොන්දේසිය එහෙම පංතියක දී සතයක්වත් අයකරන්න බෑ කියන එක විතරයි.

මේ ගැන අපේ ස්ටාලින් මහත්තයා හිතන්නේ කොහොම ද දන්නේ නෑ. එතුමා අනුරාධපුරේ වන්නිහැළඹවැව ඉස්කෝලේ ළමයින්ට උගන්නන්න ගිය කොළඹ ගුරුවරයෙක්. මේ වෙද්දි ඒ ඉස්කෝලේ අධ්‍යාපන මට්ටම හොඳට ම පහළට වැටිලා. දැන් පංති තියෙන්නේ 1 වසරේ ඉඳලා 5 වසරට විතරයි. ළමයි හතළිහක් පනහක් විතර තමයි මේ ඉස්කෝලේ ඉගෙනගන්නවා කියන්නේ. ගුරුවරු පස් දෙනෙක් ඉන්නවා කියලත් කියනවා. මතක ඇති කාලෙක මේ ඉස්‍කෝලෙන් එක ළමයෙක්වත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා නෑ.

මේ වගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කොහොම ද? ටියුෂන් පංති තියලා ද? සමාජයක් විදිහට අපි මේ ප්‍රශ්න ගැන හොයලා බලන්න ඕන.

මේ ඉස්කෝලේ ගැන හොයන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මේ ඉස්කෝලේ තියෙන්නේ අනුරාධපුර – තන්තිරිමලේ ප්‍රධාන මාර්ගය අයිනේමයි. ඔයාමඩුව හන්දිය පහුකරලා හැතැප්ම දෙකක් යන්න කලින් පාරේ වම් පැත්තේ මේ ඉස්කෝලේ තියෙනවා. ඉස්කෝලේ ඉස්සරහින් ම වුනත් බස් එකෙන් බහින්න පුළුවන්. ප්‍රධාන මාර්ගයක් අයිනේ තියෙන හින්දා වාහනයකින් වුනත් යන්න පුළුවන්. මේ ඉස්කෝලේ තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් 25 ක් විතර දුරින්.

පුළුවන්කමක් තියෙන අය මේ ඉස්කෝලේ ගැන (වන්නිහැළඹවැව සරිසඟබෝ විද්‍යාලය ගැන) හොයලා බලන්න. මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කොහොම ද? ඉස්කෝලේ කිට්ටුවෙන් ගුරු නිවාස කීපයක් හදලා දුන්නොත් මේ ප්‍රශ්න විස‍ඳෙයි ද? වෙනත් විසඳුම් තියෙනවා ද? කාට හරි බැන බැන ඉඳීමෙන් නම් මේ ප්‍රශ්න විස‍ඳෙන එකක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *