Opinion

මේ හම්බ කරන සල්ලි දරුවෙකුට යා දෙයිද?

Summary

Share via: Facebook Twitter LinkedIn Email Copy Link උසස්පෙළ කරද්දි භෞතික විද්‍යාව විෂය සඳහා මම ගියෙ ලියනගේ සර් ලඟට. ඔහු ගම්පහ ප්‍රදේශයේ පුරාවෘත්තයක් වගෙ ගුරුවරයෙක්. ලියනගේ සර් අපව මොලේ වෙහෙසල ඉගෙන ගන්න යොමු කරා. ඔහුගෙ ස්වරෑපයම සැර පාටයි. කට පාඩම් […]

  • Save

උසස්පෙළ කරද්දි භෞතික විද්‍යාව විෂය සඳහා මම ගියෙ ලියනගේ සර් ලඟට. ඔහු ගම්පහ ප්‍රදේශයේ පුරාවෘත්තයක් වගෙ ගුරුවරයෙක්. ලියනගේ සර් අපව මොලේ වෙහෙසල ඉගෙන ගන්න යොමු කරා. ඔහුගෙ ස්වරෑපයම සැර පාටයි. කට පාඩම් කරන්න එපා කිව්ව. විභාගෙදි ගිරවු හාන්සි වෙන බවත් කිව්ව. හැබැයි සර් සිලබස් ඉවර කරන එකක් නෑ කියල හිතුණ නිසා සුනිල් මෙන්ඩිස් කියන ගුරුවරයාගෙ පන්තියටත් අපි ගියා.

සුනිල් මෙන්ඩිස් සර් ලියනගේ සර්ගෙ අනිත් පැත්ත. ඔහු විෂය ගැඹුරට ඉගෙන ගන්න යොමු කරේ නැහැ. ඔහු සිලබස් එක කවර් කරන්න ඉගැන්නුව. ප්‍රශ්න කරන්න ඉගැන්නුව. ඒ පන්තියෙ අපි සැහැල්ලුවෙන් හිටියෙ.

කොළඹ ඉස්කෝලෙ ඇරිල ගම්පහ මොන්ටානා එකට එනකොට හැමදාම පරක්කුයි. අපට ඉතිරි වන්නෙ අන්තිම පේළි. අන්තිම පේළියෙ ඉන්නකොට මුලු පන්තියම පේනව.
එදත් අපි වැඩ කරගෙන ගියා. සර් විහිලුවෙන් තහලුවෙන් ඉගැන්නුව. හැබැයි, පන්තියෙ මැද හරියෙ හිටපු ළමයෙක් වෙනම ලෝකෙක හිටිය බව කාටත් පෙනුණ. එහා පැත්තෙ එකා එක්ක කතා කරනව; ඉස්සරහ එවුන්ට කොල බෝල යවනව; සර්ගෙ විහිලුවලට අමුතු කිණ්ඩි හිනාවක් දානව. සර්ත් කිහිප සැරයක් අර ළමය දිහා බලනව අපි දැක්ක….

ඔය අතරෙ මෙන්ඩිස් සර් ගාණක් හදන්න දුන්න. අපි ගාන හද හද ඉන්නැද්දි එක පාර මහ සද්දයක් ආව. ඔලුව ඉස්සල බලනකොට අර ළමයව කලිසමෙන් උස්සල ඇරන් මෙන්ඩිස් සර් පටපට ගාල පාරවල් දෙකක් දුන් බව කවුරුත් දැක්ක.

ඒත් එක්ක මහ හයියෙන් කෑ ගහල සර් කියපු වචන ටික මගෙ කණේ අදටත් දෝංකාර දෙනව…
“මොනවද මිනිහො පංතියට ඇවිල්ල දෙමව්පියන්ගෙ සල්ලි කාබාසිනිය කර කර විනාස වෙන්න දඟලන්නෙ. ආව නම් ඉගෙන ගන්නව. නැත්තම් තමුසෙලගෙන් ගන්න සල්ලි මගෙ දරුවෙකුටවත් යාදෙන්නෙ නැහැ”

ඒ කතාව එදායින් ඉවර වුනා. අවුරුදු කීපයකට පස්සෙ මම පේරාදෙණිය අපේ ෆැකල්ටියෙ පත්තර ලෑල්ලෙ පත්තරේ බල බල උන්න.

“උසස්පෙළ විභාගයෙන් ලංකාවෙ පළමු තැන හිමි කර ගත් රාජකීය විද්‍යාලයෙ ………. මෙන්ඩිස් සිසුවාය. ඔහු ප්‍රකට භෞතික විද්‍යා ආචාර්යවරයෙකු වන සුනිල් මෙන්ඩිස් මහතාගේ පුත්‍රයෙකි” කියල දිවයින පත්තරේ තිබුණු ප්‍රවෘත්තිය දැක්කම මගෙ ඇඟ සීතල වෙලා ගියා. සුනිල් මෙන්ඩිස් සර් කියපු අර වචන ටික මගෙ ඔලුව ඇතලෙ අකුණු පාරක් වගේ ඇදිල ගියා…
“උඹෙන් ගන්න සල්ලි මගෙ දරුවෙක්ටවත් යා දෙන්නෙ නෑ”

ආදරණීය මිත්‍රවරුනි, මං සුනිල් මෙන්ඩිස් සර්ගෙන් ඉගෙන ගත්⁣තෙ භෞතික විද්‍යාවට වඩා ජීවිත විද්‍යාවෙ භෞතිකය ඕක වෙන්න ඕන. අදටත් යම්කිසි මුදලක් අතට ගනිද්දි මේ දේට උපරිමය මං කළාද කියන එක මට වැදගත්. ඒ දේ කියල දුන්නෙ සුනිල් මෙන්ඩිස් සර්. ඒ දේට දර්ශීය උදාහරණය දුන්නෙ සුනිල් මෙන්ඩිස් සර්ගෙ ජීවිතය…

අපි ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න ඕන. රස්සාවෙන් පඩියක් ගන්න ඕන. දියුණු වෙන්න ඕනෙ. ලස්සනට ඉන්න ඕන. හැබැයි, ලංකාවෙ Perfomance based Pay ක්‍රමයක් නෑ. වැඩ කරත් එකයි; නොකරත් එකයි.

නමුත්, රස්සාවෙන් ගන්න පඩියට පෙරළා දෙයක් කරන්න ඕන. ⁣වෙනත් සේවයක් සපයල ගන්න මුදලට සාධාරණ සේවයක් අපි දෙන්න ඕන. එතකොටයි අපේ දරුවන්ට ඒ මුදල යා දෙන්නෙ…
මං විශ්වාස කරන ධර්මතාවය ඒකයි.

මේ දේ ජීවිතේ මුල හරියෙම තේරුම් ගත්තොත් හොඳයි. එහෙම තේරුම් ගත්ත මිනිසුන්ගේ දරුවන් යහපත් මිනිසුන් වෙනව. ජීවිත සාර්ථක කර ගන්නව. ඒවට උදාහරණ ඇස් දෙක ඇරල බැලුවොත් ඕන තරම් තියෙනව නේද?

ඒ නිසා පඩිය අතට ගනිද්දි හිතල බලන්න…
යම් සේවයක් සපයල මුදලක් ගද්දි හිතල බලන්න…
යම් දෙයක් විකුණල මුදලක් අතට එද්දි හිතල බලන්න…
“මේ ගන්න සල්ලි මගෙ දරුවෙකුට යා දෙයිද?”
ඔබේ හෘදය සාක්ෂිය ඔබට දෙන උත්ත⁣රේ හොඳටෝම ප්‍රමාණවත්. ඒ ප්‍රශ්න තමන්ගෙන් අහන මිනිස්සු සතුටෙන් ඉන්නව…සන්තුට්ඨි පරමං ධනං කියල බුදුහාමුදුරුවො කීවෙ ඕක වෙන්නැති….

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap