Opinion

රට ලොක් නෑ ඩවුන්

Summary

“ඔව් මේ දැන් අප ඇමතූ මහතා කියා සිටියේ ඔහු වෙනුවෙන් වෙන අයෙකු සංචරණ සීමා උල්ලංඝණය කළ අයුරැයි. මේ දෙදෙනාගෙන් තරගකරැවා කවුරැන්දැයි තීරණය කිරීම විනිසුරු මඩුල්ලට බාරයි”

පොසොන් පෝදා අමුතුම මාදිලියේ තරඟයක් පැවැත්වීමට ගුවන්විදුලි නාලිකාවක් තීරණය කර ඇතැයි යන ආරංචිය කණ වැකුණෙන් මමත් ඊට සුසර වුණෙමි.

“ආදරණීය අසන්නනි ඔබ දන්නවා අපේ අලුත්ම තරගයේ නීති රීති. ඒක දින්නත් පරාදයි පැදුනත් දිණුම් වර්ගයේ අතිශය විරල තරගයක්. එන්න අපේ ‘ලොක් නෑ ඩවුන්’ තරගය හා එක්වන්න” නිවේදකයාගේ ඉදිරිපත් කිරීමේ ශෛලියට මා ද වසග විය.

“ඔබට කිරීමට ඇත්තේ අපගේ ආදරණීය නාලිකාවට දුරකථන ඇමතුමක් ගෙන පසුගිය සංචරණ සීමා මාසය තුළ ඔබ ඒ නීති උල්ලංඝනය කළ අයුරැ පැවසීම පමණයි. මෙහිදී නීතිය දැඩිවම උල්ලංඝනය කළ පුද්ගලයා ද නීතිය අවම වශයෙන් උල්ලංඝනය කළ පුද්ගලයා ද සොයා අපි අදහා ගත නොහැකි සුපිරි ත්‍යාග දෙකක් පිරි නැමීමට බලාපොරොත්තු වෙනවා. එම ත්‍යාග දෙකත් අපගේ විනිශ්චය මණ්ඩලයත් දැනට රහසක්ව පවත්වා ගන්නවා ඇති. මම ආයෙත් මතක් කරනවා ඔබ මේ රැදී සිටින්නේ ‘ලොක් නෑ ඩවුන්’ තරගය සමගයි”

නිවේදකයා හුස්මක් හිරවන තෙක් කියාගෙන කියාගෙන ගියේය. මගේ කුතුහලය තීව්‍ර විය. පුටුවක් ඇදගෙන රේඩියෝව අසලින්ම වාඩි ගතිමි. මෙතෙක් වේලා පෝදා බණ ශ්‍රවණය කරමින් සිටි අල්ලපු ගෙදර උදවිය ද මේ නාලිකාවර සුසර වූහ.

“මෙන්න විශේෂ නිවේදනයක්. අපේ ශ්‍රාවකයින්ගේ විශාල වශයෙන් ඇමතුම් ලැබෙමින් පවතිනවා. ඔවුන් වැඩිදෙනෙක් විමසා සිටින ප්‍රශ්න දෙකකට මම මේ වෙලාවේ පිළිතුරැ දෙන්න සූදානම්. එක, මේ ‘ලොක් නෑ ඩවුන්’ තරග විනිශ්චය මණ්ඩලයේ ඩීඅයිජී අජිත් රෝහණවත් හමුදාපතිවත් සාමාජකයින් නොවන බව අවධාරණයෙන් පවසනවා. එසේම ප්‍රථම ත්‍යාගය ලෙස නිරෝධායනයට යැවීමට බලාපොරොත්තුවක් නැති බවත් දෙවැනුව අවධාරණය කරනවා. එන්න සැනසෙන්න නැලවෙන්න අපි ‘ලොක් නෑ ඩවුන්’ සමග.”

නිවේදකයා සමුගත් සැනින් වෙළද දැන්වීමක් වාදනය වන්නට විය. “රට ඇරලා- අපි ඇරලා – එන්න එන්න ඇර ගන්න- රසම රසයි ඩෙල්ටා ටොපි – කෑවොත් කෑවම තමයි ඩෙල්ටා ටොපි”

“හරි මෙන්න දැන් අප සමග රත්නපුරෙන් අසන්නෙක් එක්වෙනවා. පවසන්න කුමක් ද ඔබ කළ වරද?” නිවේදකයා සතුටින් පිනා ගොස් විමසුවේය.

“මම දිනපතා ගමවටේ රවුම් දෙකක් දිව්වා” ඔහු උද්දාමයෙන් කීය.

“ඒක දැඩි සංචරණ සීමා උල්ලංඝනයක්. ඒ කියන්නේ මේ සංචරණසීමා මධ්‍යයේ පවා ඔබ ශාරීරික අභ්‍යාස කිරීම මග හැරියේ නෑ?” සියල්ල දත් නිවේදකයා තෙපර බෑවේය.

“පිස්සුද මහත්තයා එලවලු ලොරිය පස්සෙන් වටයයි චූංපාන්කාරයා පස්සෙන් වටයයි මම දිව්වේ”

“ඔ ඕ ඒක නම් ප්‍රශ්නයක් තමයි. ඒත් චූංපාන් පසුපස එළවීම බොහෝ අයගේ දිනචර්යාවේ කොටසක් බැවින් අපගේ විනිශ්චය මණ්ඩලය ඒ පිළිබදව සොයා බලනවා ඇති”

නිවේදකයා ගීතයකට මාරැ විය. ‘උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි සැමදා සොමියේ ඉන්නවා’ රෑකාන්ත කීවේය.

“දැන් අප හා සම්බන්ධවන මහතා කොළඹ පිළියන්දලින්. ඔව් කියන්න මහත්මයා” නිවේදයා ඇරයුම්
කලේය.

“මම ගල් බෝතලයක් ගන්න රැපියල් හාරදාහක් වියදම් කරා මල්ලි” ශ්‍රාවකයා ඉතා ශෝකයෙන් කියා සිටියේය.

“ඒකියන්නේ ඔබත් බෝතලේ හොයන්න ගම වටේ රවුම් දෙකක් ගියාද?” නිවේදකයා ඔහු සංචරණ සීමා බිදි ආකාරය විමසා සිටියේය.

“පිස්සු ද මල්ලි. අත්‍යාවශ්‍යය භාණ්ඩ ගෙදරටම ඩිලිවර් තරනවනේ. මේ අණේඩුවට වැඩිය කාර්යක්ෂමයි මල්ලි අරක්කු ඩිලිවර් කරන අය” නිවේදකයා මොහොතක් නිශ්ශබ්දව සිටියේය.

“ඔව් මේ දැන් අප ඇමතූ මහතා කියා සිටියේ ඔහු වෙනුවෙන් වෙන අයෙකු සංචරණ සීමා උල්ලංඝණය කළ අයුරැයි. මේ දෙදෙනාගෙන් තරගකරැවා කවුරැන්දැයි තීරණය කිරීම විනිසුරු මඩුල්ලට බාරයි”

අසන්නියක් වැඩසටහනට ඇමතූ හෙයින් නිවේදකයා මෙතෙක් නොතිබූ ප්‍රමෝදයකින් කතා කරන්නට වන්නේය.
“ඉතිං ඔයාගෙ ගෙදර කවුද ඉන්නේ? තනියමද ඉන්නේ…? ආ… බව්වගේ නම මොකක්ද….?” ඔහු ඇසුවේය.
“මම එහෙනම් කියන්නද? ඇත්තම කියන්න දවසක් මම අල්ලපු ගෙදර නේබර් එක්ක පැයක් කතා කළා. පස්සෙයි මතක් වුණේ මාස්ක් එකක් දාලා නෑ කියලා”
“අම්මෝ එහෙනම් කටේ වෛරස් වලින් යාලුවගේ මූණ තෙමෙන්න ඇති නේද?” නිවේදකයා ආදරයෙන් ඇසුවේය.
“පිස්සුද අනේ අපි ෆෝන් එකෙන් කතා කලේ!”
මොහොතක් නිශ්ශබ්දව සිටි නිවේදකයා යළි හඩඅවදි කළේය. ” අපගේ විනිශ්චය මණ්ඩලයේ සිටින විශේෂඥ මානසික වෛද්‍යවරයාට මේ පිළිබද අවදානය යොමු කරන මෙන් මා ඉල්ලා සිටිනවා”
නිවේදකයා හදිසියේ ප්‍රවෘත්ති ප්‍රකාශය කිරීමට ගත්තේය.
“මේ අවස්ථාවේ මේ දැන් අප වෙත ලැබුණු අපි කවුරැත් පුල පුලා වසර ගණනාවක් තිස්සේ බලා සිටි උණුසුම් සදහම් පුවතක් ඔබ වෙත ගෙන එන්නත අප සූදානම්. මින් දෙදහස් පන්සිය වසරකට පෙර අද වන් පොසොන් පුන් පෝදාක අරහත් මිහිදු හිමි ලක් දෙරණට වැඩියායින් මතු සිද්ධ වූ පින්වත්ම සිද්ධිය අද වාර්තා වුණා. ඇහුවත් සල්ලි දුමිදු කුමරැ මිහිලක් සකලවාසීන්ට දෙසුමට යළිත් මේ පුණ්‍ය භූමියට වැඩියා. බුදුන් අංගුලිමාලටත් සමාව දුන් වග අමතක කරන්න එපා පිංවතුනි. ඔබටත් දැන් බුදුසරණයි!” ගුවන් විදුලියෙන් මගුල් බෙර හඩ ඇසෙන්නට විය. අල්ලපු ගෙදර අච්චි අම්මා ගමටම ඇසනසේ සාදුකාරයක් දුන්නාය.
ජාතියේ උදාන ගීයක් වැයීම ඇරඔණි. ‘සිංහල ජය ගීත හඩට සිංහල කොඩි වැල් ලෙල දෙන සිංහල දෙණේ සරණ සිංහල සරණේ’ සිල් සමාදන් වෙමින් සිටි අල්ලපු ගෙදර ආච්චි නැවත සාදුකාරයක් දුන්නාය.
නිවේදකයාගේ මැදිහත්වීමකින් තොරව සෑහෙන වෙලාවක් අඛණ්ඩව ගීතම වැයුණි.
“හිතවත් අසන්නනි මේ පිංබර පෝ දා මුලු රටේම උනන්දුව එක් පිංබර මාතෘකාවක් වෙත දෝලනය වූ නිසා අප තරගය වෙත එන ඇමතුම් ප්‍රමාණය අඩු වූ බව පැවසීමට තරම් නිරහංකාර වීමට මම කැමතියි. ඒත් මේ දැන් තවත් අසන්නෙක් අප හා එක් වෙනවා. ඔව් කියන්න මහත්තයා”
“මල්ලි දුමින්ද එලියට ආවා. රනිල් ඇතුලට ගියා. වසංගතේ සම්පූර්ණයි. අහන්නත් දෙයක් නෑ දැන් රට ලොක් නෑ ඩවුන් තමයි. තමුසෙගෙ කෙහෙල්මල් වැඩසටහන දැන්වත් නවත්තනවා ඕයි”
නිවේදකයා ගීතයක් වාදනය කලේය. ‘මෙත් මල් පිබිදේවා.. සිත් තුළ කරැණා ගුණ දේවා’…

Leave a Reply

Your email address will not be published.