Editorial

රනිල්ගේ දශකය

Summary

කොරෝනා මර්ධන ව්‍යාපෘතිය තුල පරස් පර මත තිබෙන්නේ ආණ්ඩුව තුලමය. විපක්ෂයට එය කොටින්ම අදාළ නැත.

  • Save

රනිල් මහතා ගෙදර ගියේය. නමුත් ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ  විසින් නිර්මිත ඉතිහාස පරිඡේදය ආරම්භ වන්නේ දැන්ය. මෙතනින් පසුව ගතවන දශකය තුල සිදු වන බොහෝ දේශපාලන ගතිකයන් සැබෑවටම නිර්මාණය කලේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහුගේ දේශපාලන අඥාන කම, ප්‍රයෝගික නොවන බව, ලාංකීය මහජනයාට තිබුණු දුරස් බව, අදූරදර්ශී බව සහ පාලන තන්ත්‍රයක් හොබවා ගැනීමට තිබුණු නොහැකියාව විසින්  ඉදිරි දශකය නිර්මාණය කොට තිබෙන්නේය.

විසිවන සංශෝධනය අවශ්‍ය වන්නේ ආණ්ඩුවටය. එයට විරුද්ධත් ආණ්ඩුවය. විපක්ෂයට එවැන්නක් අවශ්‍ය නැත. නමුත් ඔවුන් කෙරේ ඊට විශේෂ විරුද්ධත්වයක්ද නැත. රට පුරා සිදුවන  පාරිසරික හානි වලින් සැලකිය යුතු කොටසක් සිදු කරන්නේ කුමන හෝ අයුරකින් ආණ්ඩුවට සම්බන්ධ පිරිස්ය. නමුත් විපක්ෂය ඊට විරුද්ධද නැත.  කොරෝනා මර්ධන ව්‍යාපෘතිය තුල පරස් පර මත තිබෙන්නේ ආණ්ඩුව තුලමය. විපක්ෂයට එය කොටින්ම අදාළ නැත. මේ මොහොතේ පවතින විපක්ෂය 2020 ඡන්දයේ නිර්මාණයක් නොව , 1994 සිට මේ වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොබවන ලද එක්සත් ජාතික පක්ෂයේ නායක පදවියේ සහ ඊට අදාළ කියුම් කෙරුම් වල නිර්මාණයකි. පළමුව ඔහු විසින් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ තබා ගැනීම සහතික කරන ලද අතර දෙවනුව එය ක්‍රමිකව මහජනයාට එපා වන තැනට පත් කිරීමට වග බලා ගත්තේය. එය මෙහෙයුමක් ලෙස ගත් විට අති  සාර්ථක මෙහෙයුමකි. ලංකාවේ විශාලතම පක්ෂය සහමුලින්ම බිමට සමතලා කොට  ඇපත්   නැති  කිරීමට එම මෙහෙයුමට හැකියාව ලැබිණි.

රනිල් මහතා නළුවෙක් නොව මොලයක් යනුවෙන් කියැවෙන  පාඨයක් කලක් ඔහුගේ ආධාර  කරුවන් විසින් ප්‍රචලිත කළහ. ඔහුට නළුකම බැරි බව සැබෑය. නමුත් නළුකම බැරි වූ පමණින් කෙනෙකු ඔලු කාරයකු වන්නේ නැත. රනිල් මහතා ලංකාව වෙනුවෙන් කරන ලද එකදු හෝ දූරදර්ශී වැඩක් තිබේද?

රටේ ඉදිරි කාලය ගත වනු ඇත්තේ විපක්ෂ ක්‍රියාකාරීත්වයක් නැතිවය. එය එක් අතකින් ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක ස්වරූපයද ගැනීමට ඉඩ තිබේ. නියත වශයෙන්ම විපක්ෂ ක්‍රියාකාරීත්වය භාර වන්නේද ආණ්ඩුවේ කොටස් වලටමය. රට  ඒක පාක්ෂික ක්‍රමයකට තල්ලු කල රනිල් මහතාට මේ සියල්ල ගෙදරට වී විශ්‍රාම සුවයෙන් යුතුව බලාගෙන සිටිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap