COLUMN

රයිනෝසිරස් හුටපටය

Summary

දැන් කතාවෙ හැටියට ලුනුගල ප්‍රදේශයෙන් ප්‍රාග්ඓතිහාසික රයිනෝසිරස් සතුන් රංචුවකගේ නශ්ඨාවශේෂ හමුව ඇති බවත්, මේ සතුන් උල්කා වර්ෂාවක් හේතුවෙන් මිය ගොස් ඇති බවත් තමයි කියවුනේ

ඊයේ පෙරේදා උඩ ආපු රයිනෝසිරස් හුටපටයක් හැම තැනම හුවමාරු වෙනවා දැක්කා ඉංග්‍රීසීයෙන් සහ සිංහලෙන්. මාධ්‍ය ආයතන කිහිපයකම ප්‍රවෘත්ති යටතේත් විවිධ සමාජ මාධ්‍යජාල ලිපි ඔස්සේත් මේ කතාව ගියා. දැන් කතාවෙ හැටියට ලුනුගල ප්‍රදේශයෙන් ප්‍රාග්ඓතිහාසික රයිනෝසිරස් සතුන් රංචුවකගේ නශ්ඨාවශේෂ හමුව ඇති බවත්, මේ සතුන් උල්කා වර්ෂාවක් හේතුවෙන් මිය ගොස් ඇති බවත් තමයි කියවුනේ. සත්ව පුරාවිද්‍යාඥ කැලුම් නලින්ද මනමේන්ද්‍රාරච්චි මහත්මයා දක්වපු අදහස් ලෙස මේ නිව්ස් එක ගියා.
ඕක දැක්ක වෙලේ ඉඳන් ඉතින් මගේ සත්ව පුරාවිද්‍යා ගුරුතුමා වෙන කැලුම් සර්ව මුණ ගැහිලා මේ අවනඩුව ගැන කියලා අපිටත් නොකියා රයිනෝසිරස් රංචු පිටින් කැණීම් කරාද කියලා අහන්න හිටියේ. ඇයි හත්වලාමේ ශිෂ්‍යන්ටත් නොදන්වා බරපතල කැණීම් සිදුකරන මේ වගේ ගුරුවරු. ඉතින් අද PGIAR එකේදිම අපිට කුඩම්මාගෙ සැලකිලි දක්වන මේ ගුරුවරයට අවනඩුව කිව්වා, කියලා ඇයි අපිට මෙහෙම සලකන්නෙ කියලා ඇහැව්වා.

ඔන්න දුන්න උත්තරේ තමයි…. සුපුන්, මේ අවුරුදු ගානකට කලින් පත්තරේට කිව්ව ලුනුගල ඉන්සිඩන්ට් එක තමයි උඩ ඇවිත් තියෙන්නේ. උල්කා වරුසාවක් ගැන, රංචුවක් ගැන මම කොහෙවත් කියලා නෑ. ඒවා කොහෙන් ආපු කාරණාද කියන්න දන්නෑ. මේක දැකලා මටත් හිනා ගියාය කියලා. ඇත්ත සිද්දිය තමයි දැන් අවුරුදු ගානකට කලින් ලුනුගල ප්‍රදේශයේ පතලක වැඩ කරපු පිරිසකට රයිනෝසිරස් හිස්කබල් දෙකක් මුණගැහිලා තියෙනවා. ඒවා ගන්න හම්බෙලා නෑ දත් විතරක් ගලවගෙන තියෙනවා. ඒ දත් දෙකක් ලැබුනම පරික්ෂා කිරීමෙන් තේරුනා මේ තියෙන්නෙ රයිනෝසිරස් සතුන් දෙදෙනෙකුට අයත් දත් කියන එක. හිස්කබල් ගැන කරන්න දෙයක් තිබුනෙ නෑ ඒ වෙද්දි පතල කඩා වැටිලා නැවත අඩි 60 විතර යටවෙලා. ඔන්න ඔය කතාව තමයි දැන් මේ එකපාර උඩ ඇවිත් තියෙන්නෙ කියලා.

ප්ලයස්ටොසීන යුගයේදි ලෝකේ පුරාම මහ සත්ව සන්තතියක් ජීවත් වුනා. ලංකාවෙත් ඒ හා සමව විවිධ කාල පරාස තුල සිංහයන්, ව්‍යාඝ්‍රයන්, කඟවේනුන් (රයිනොසෙරොටිඩ්ස්), හිපොපොටේමස්, ගවරුන් ආදි විවිධ සතුන් ජීවත් වෙලා තිබෙනවා සහ ඒ ෆොසිල සාධක අපිට ලැබෙනවා. මේ ෆොසිල වැඩිහරියක් ලැබෙන්නෙ රත්නපුර අවටින්. ඒ නිසා ලංකාවේ මුණගැහෙන මේ විශේෂ වලට පී.ඊ.පී දැරණියගල විද්වතා දුන්න නම තමයි රත්නපුර සත්ව සන්තතිය (Ratnapura fauna). මේ කාල අවධියට සමව ඉන්දියාවේ සිවාලික් ප්‍රදේශයෙන් ප්ලයස්ටොසීන අවශේෂ ලැබෙනවා. ඒවාට කියන්නෙ සිවලික් සත්ව සන්තතිය කියලා (sivalik fauna).

දැන් මෙහෙම සතුන් ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ ජීවත් වුනාට ඒ අවශේෂ අපිට හොයාගන්න අසීරුයි. හේතුව තමයි ප්ලයස්ටොසීන අවසන් කාල භාගයේදි (terminal pleistocene) තුල සිදුවු දේශගුණික විපර්යාසවල බලපෑම නිසා අද ඔය රත්නපුරේට වහිනවා වගේ සිය ගුණයක වැස්සක් ඇද හැලුනා. මේ නිසා නිරන්තර ජල ගැලීම්, නාය යෑම්, පස්කඳු කඩා වැටීම් නිසා ඔය ප්‍රදේශයෙන් ලැබෙන ස්ථරායනය කැළඹි ඇති අසන්තතික ස්ථාරයනයක්. තවත් සරලව කිව්වොත් බැකෝ එකක් දාලා රත්නපුරේම පස් බ්ලෙන්ඩර් කරා වගේ සීන් එකක්. මේ හේතුවෙන් නිශ්චිත ෆොසිල තැන්පතු හොයන්න අමාරුයි. නමුත් මැණික් කර්මාන්තය සඳහා සිදුවෙන පතල් කැණීම් හේතුවෙන් යට ස්ථර තුල තිබෙන ප්‍රාග්ඓතිහාසික නශ්ඨාවශේෂ ලැබෙනවා. නමුත් ඕවා උඩට ගත්ත ගමන් කුඩු වෙලා යනවා ඒවා පවතින පාරිසරික සමතුලිතතාවය බිඳී යෑම නිසා. ඒවට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් මෙතඩ් තිබුනට පතල් කරුවන් ඒවා දන්නෙ නැහැ සහ පතල්කරුවන් දකින දේවල් සත්ව පුරාවිද්‍යාඥයන් දකින්නේ නෑ.

මේ ආසන්න රයිනෝසිරස් පුවත මැවුනෙ කොහොමද කියලා කල්පනා කරාම මට හිතුනෙ සිංහල ඉංග්‍රීසී වචන හුටපටක් වෙන්න ඕන කියලා. ගොඩක් අය ඩයිනෝසරයන් එහෙම නැත්තන් ඩයිනසෝර් සතුන් හඳුන්වන්නේ “ඩයිනෝසිරස්” කියලා. ඒක වැරදි භාවිතාවක්. ඔය ඩයිනෝසරයන් තමයි අදින් වසර මිලියන 60 ට ඉහතින් උල්කාවක් නිසා වඳව යන්නෙ. මේන් මේ ඩයිනසොර් සහ උල්කාව, ඩයිනෝසිරස් සහ උල්කා වර්ෂාව බවට පත්වෙලා අවසානයේදි ලුනුගල රයිනෝසිරස් සහ උල්කා වර්ශාව බවට පත්වෙන්න ඇතිය කියලා හිතනවා. කොහොමත් වගකීම් විරහිත ලංකාවේ මාධ්‍ය වලින් තාක්ෂණික යෙදුම් තියා සරල දෙයක්වත් කියාගන්න තරම් දැනුමක් නැති වගකීම් විරහිතබාවයකට නම් දරාපු අය. ඒ නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නෑ.

ඕක තමයි කතාව.. මේ ටිකේම මාව ⁣ඔය තැන්වල මෙන්ශන් කරපුවට පොදු පිළිතුරක්.

Leave a Reply

Your email address will not be published.