Opinion

රාවණා යලි ඉපදුනේ මාතර

Summary

මේ කාලය තුලදි කුල දේශපාලනය තුල දකින්න තියෙන වැදගත්ම ලක්ෂණය තමයි කුලය මුල් කරගෙන විවිධ මොහොත වලදි විවිධ කදවුරු ගොඩ නැගීම.

ලංකාවේ ජන විවිධත්වය ගැන තරමක් පිළිවෙලකට මුලින්ම ලියල තියපු දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුල්ම කොමසාරිස් වෙච්ච H.C.P Bell මහත්මයා. දෙවැනි කෙනා තමයි ආනන්ද කුමාරස්වාමි මහත්මයා. මීටත් කලින් ජන විවිධත්වයේ පැතිකඩ අහුවෙන විදිහට ලියපු බොහෝ දෙනෙක් හිටියත් ඒ ලියවිලි වෙනත් යමක් අරමුණු කරගෙන ලියපුවා. එහෙම ලියනකොට ජන විවිධත්වය ගැනත් ලියවිලා තියෙනව. බෙල් මහත්මයා තමන්ගේ රැකියාව සඳහා ලංකාව පුරා ඇවිද්දා. ඔහු ඉතාම වුවමනාවෙන් ලංකාවේ විවිධ ජනවර්ග සහ කුල ගැන ලියල තියෙනවා. ඒ එකතුව අදටත් අදාළ විෂය සම්බන්ධව තියෙන වටිනාම ලියවිලි එකතුවක් (ජාතික කෞතුකාගාරයේ පුස්තකාලයට ගිහින් Bell Collection එක ඉල්ලන්න). ආනන්ද කුමාරස්වාමි මහත්මයගෙ නම විතරයි දෙමළ. ඒ ඔහුගේ පියා ලාංකික දෙමළ ජාතිකයකු වීම නිසා. ඔහුගෙ මව බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ඉතාම කුඩා කාලෙ ඉඳන් හැදෙන්නේ වැඩෙන්නේ එංගලන්තයේ. පස්සේ භූ විද්‍යාවෙන් තමන්ගෙ ආචාර්යය උපාධිය ලබා ගන්නවා. ඔහුව ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලංකාවට එවන්නේ භූ ගර්භ විද්‍යාඥයෙක් හැටියට ලංකාවේ භූ ගර්භ සිතියම අඳින්න. ඒ අඳින්න ඔහු ලංකාව පුරා යනකොට දකිනවා ලංකාවේ කලා ශිල්ප වල ලස්සන සහ ඒවා සමග බද්ධ වෙලා තියෙන ජනයාගෙ ජනවාර්ගික සහ කුල විවිධත්වය. ඔහු මානව විද්‍යාවට උනන්දු වෙන්නේ ඊට පස්සේ.

බෙල් මහත්මයා සහ කුමාරස්වාමි මහත්මයා යන දෙදෙනාම ඉතාම ඉහල ගනයේ වටිනාකියන ලියවිලි රාශියක් ලංකාවේ ජන විවිධත්වය ගැන ලියල තිබුනත් ඒවා මානව විද්‍යාවට අදාළව ශාස්ත්‍රීය ලිපි විදිහට සලකන්න බැහැ.

ඉතින් ලංකාවේ ජනවර්ග ගැන , ඊට අදාළ විවිධත්වය ගැන බටහිර මානව විද්‍යාවට අදාළව ශාස්ත්‍රීය ආකාරයකින් මුලින්ම ලියපු කෙනා විදිහට හඳුනගන්න පුළුවන් වෙන්නෙ මහාචාර්යය බ්‍රයිස් රයන්. ඔහු තමයි එවකට ලංකා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ පළමු මහාචාර්යය වරයා.

ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ පොතක් තියෙනවා සිංහලයන්ගේ කුල විවිධත්වය ගැන. අපිට එකඟ වෙන්න බැරි නිරීක්ෂණ සහ නිගමන බොහොමයක් තියෙන්න පුළුවන් උනත් ඒක ඉතාම ඉහල ගනයෙ පොතක්. මේ පොතේ ඔහු ඉතාම සමීප අවධානයක් යොමු කරල තියෙනව පහතරට සිංහලයන්ගෙ කුල විවිධත්වය පිළිබඳව.

මම මතු කරන්න යන්නෙ බ්‍රයිස් රයන් මහත්මයගෙ පොතේ තියෙන පුංචි කරුණක් සහ ඊට අදාළව පොඩි කතාවක්.

මහාචාර්යය බ්‍රයිස් රයන්ට අනුව සිංහලයන්ගෙ කුල අතුරින් වාසනාවන්තම කුලය තමයි පහතරට පළාත මුල් කරගත් දුරාව කුලය. ඔහු එහෙම කියන්නෙ මුළු සිංහල ජනගහනයෙන් 5% ක් තරම් කුඩා ප්‍රතිශතයක් සිටියේ වුවද මේ කුලයට අනුපාතික වශයෙන් ආර්ථික සහ වෙනත් සමාජීය අවස්ථා වැඩි වශයෙන් ලැබිල තියෙන හින්ද. ඔහුගේම උදාහරයකට අනුව 10%ක් පමණ ඉන්න වහුම්පුර කුලයටත් 8%ක් පමණ ඉන්න බත්ගම කුලයටත් කිසිම සැලකිය යුතු අවස්තාවක් ලැබිල නැහැ. නමුත් දුරාව කුලය ඉතාම සාරවත් විදිහට අලුත් ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රයෝජනයට ගත්තා විතරක් නෙවෙයි උගත් කම අතිනුත් ඉහලට ගියා. මේ හින්දම දුරාව කුලය ඇතුලෙත් සාමන්‍යයෙන් ප්‍රභූ පැලැන්තියක් විදිහට හඳුන්වන්න පුළුවන් තීරුවක් ගොඩ නැගෙනවා.මෙන්න මෙහම අලුත් ප්‍රභූ පැලැන්තියක් ගොඩ නැගෙන එක වෙනම අධ්‍යනය කරන්න ඕන වැඩක්. යටත් විජිත කාලෙ මේ ක්‍රියාවලිය ශක්තිමත්වම උනේ කරාව කුලය ඇතුලෙ. ඊට පස්සෙ දුරාව සහ සලාගම කුල ඇතුලෙ. මේ කාලය තුලදි කුල දේශපාලනය තුල දකින්න තියෙන වැදගත්ම ලක්ෂණය තමයි කුලය මුල් කරගෙන විවිධ මොහොත වලදි විවිධ කදවුරු ගොඩ නැගීම. ගොවිගම නොවන කියන උදෘතය යටතෙ මේ කුල තුනම එක පෙරමුණකට එනවා. ඒ කියන්නෙ ගොවිගම කියන පොදු හතුරට මුහුණ දෙන්න ඕන වෙලාවට මේ තුන් ගොල්ලොම එක පෙරමුණකට එනවා. හැබැයි අනිත් වෙලාවට මේ තුන් දෙනා අතරෙත් ප්‍රශ්න. සල්ලි , බලය , ප්‍රභූත්වය, අධ්‍යාපනය, මේ කොයික ගත්තත් කරාව ප්‍රභලයි. හැබැයි දුරාව කැමති නැහැ දෙවැනි වෙන්න. සලාගමත් එහෙමයි. ඉතිං සිංහල ජාතිය ඇතුලෙ මුල් තැනට සම වීමේ කරාව අරගලයට අමතරව සලාගම සහ දුරාව කියන කුල දෙකට වෙනත් අරගල දෙකකත් නිරත වෙන්න සිදු වෙනවා. ඒ තමයි ධූරාවලියෙ දෙවැනි තැන තහවුරු කරගැනීම . එහෙම නැත්නම් කරාව කුලයට සම වීම. මම මේ කියන්නේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය පාලන සමය තුල සහ ඉන් පිටතට පැමිණි අලුත සිද්ධ වෙච්ච සමාජ සංචලන ගැන. ඉතිං පහතරට මේ කුල ත්‍රිත්වයේ හැසිරීම විග්‍රහ කරන්න වෙන්නෙ මේ කාරණාත් ඔළුවේ තියාගෙන.

Leave a Reply

Your email address will not be published.