Opinion

රාවණාගේ මාතර මුතුන් මිත්තෝ

Summary

ඔහු දැන ගත්තා ” දැනුම” කියන දේ නිර්මාණයක් කියන එකත්, අපේ අවශ්‍යතාවය අනුව සංගත විදිහට දැනුම නිර්මාණය කරන්න පුළුවන් කියන එකත්.

(රාවණා යලි ඉපදුනේ මාතර – 2 කොටස)

1 කොටස – රාවණා යලි ඉපදුනේ මාතර

මෙම ලිපිය පසුගිය සතියේ ලිපියෙහි දිගුවක් ලෙස සැලකුව මනාය…

බ්‍රයිස් රයන් කියල තියෙන දේ ඇත්ත. දුරාව කුලය සාපේක්ෂව බොහොම ඉහල තැනක හිටියා. විශේෂයෙන්ම උගත් කම අතින් කැපී පෙනෙන ඉහලකට එසවුනා. මේ එසවීමේ , පහුගිය සියවසේ කූටප්‍රාප්තිය විදිහට දකින්න පුළුවන් වෙන්නෙ මාතර පළාත මුල් කරගෙන හෙළ හවුල බිහි වීම. හෙළ හවුල බිහි කලේ මුනිදාස කුමාරණතුංග. ඔහු දුරාව කුලයට අයත්කෙනෙක්. ඔහු භාෂාව සම්බන්ධයෙන් ඉතාම නැවුම් අත්හදා බැලීමක් කලා. ඔහුට කියවන්න ලැබුණු පැරණි පොතක් වන සිදත් සඟරාව ආශ්‍රයෙන් බලවත් අදහසක් සමාජගත කරන්න ඔහුට පුළුවන් උනා විතරක් නෙවෙයි ඒක එවකට ඇවිලෙමින් තිබුණු ජාතික නිදහස් සටනට ගැටගහන්නත් ඔහුට හැකි උනා. ඉතාම් කෙටි කලකින් මේ භාෂා ව්‍යාපාරය සංස්කෘතික රැල්ලක් බවට පරිවර්තනය උනා. මේ කාලයේ උගත් සිංහල නාගරික පැලැන්තියේ පැතිර ගිහිපු උන්මාදයක් තමයි ” යලි සිංහල වීමේ ව්‍යාපාරය”. ඒ කියන්නෙ එතෙක් රැල්ලක් වෙලා තිබුණු බටහිර සිරිත් විරිත් වලින් ඈත් වෙලා නැවත වතාවක් සිංහල යනුවෙන් හඳුනාගත් දේ වලට යොමු වීම. මුනිදාස මහත්මයගෙ භාෂා ව්‍යාපාරය මේ රැල්ලට නව මුහුණුවරක් එකතු කරා.

ඔහු මේ සියල්ල කරේ දැනුම ආශ්‍රිත ගනුදෙනුවක් එක්ක. ඔහු දැන ගත්තා ” දැනුම” කියන දේ නිර්මාණයක් කියන එකත්, අපේ අවශ්‍යතාවය අනුව සංගත විදිහට දැනුම නිර්මාණය කරන්න පුළුවන් කියන එකත්. ඔහු සිදත් සඟරාව ආශ්‍රයෙන් නිර්මාණය කරපු දැනුම ඊළඟ අදියරේදී විලාසිතාවක් උනා විතරක් නෙවෙයි දේශපාලනික උපකරනයකුත් උනා. ඔහුගෙ දැනුම් ව්‍යාපෘතිය ඉතාම සාර්ථකයි.

මේ වෙනකොට දුරාව කුලයේ වාර්ගික අනන්‍යතාවයට අභියෝග දෙකක් එල්ල වෙලා තිබුනා. ඉහත විස්තර කරපු දේ අනුව බටහිර ඇකඩමියාව පහතරට ගොවිගම නොවන කුල තුන හඳුනාගෙන තිබුනේ සියවස් කීයකට කලින් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් සංක්‍රමණය වෙච්ච ජනයාගෙන් පැවතෙන ජන කොට්ඨාශ විදිහට. මේ පොදු අභියෝගයට දුරාව කුලය මුහුණ දුන්නා. ඊට අමතරව මේ කුල ත්‍රිත්වය අතර ගැටුම තුලදී තමන්ගේ කුලය ප්‍රමුඛ කරගැනීමේ අවශ්‍යතාවය මේ තුන් ගොල්ලටම තිබුනා. ඉතින් මේ අභියෝග දෙකටම එක පහරින් පිළිතුරක් සොයන්න මුනිදාස කුමාරණතුංග මහතාගෙ දැනුම් ව්‍යාපෘතියට හැකි වුනා.

රාවණා පිලිබඳ මතකය ලංකාව ඇතුලේ පමණක් නොවෙයි මේ මුළු කලාපයේම තිබෙන එකක්. ඉන්දියාවෙන් පටන් ගත්තම, බංගලිදේශය, බුරුමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, ලාඕසය, කාම්බෝජය හරහා වියට්නාමයට යනකල් රාවණා ඉන්නවා. ඉතින් ඒ කතාව කිසිසේත්ම සුළු කොට තකන්න බැහැ. නමුත් අද මේ මොහොතේ ලංකාවේ ජීවත් වෙන රාවණාට පැන දුන්නේ හෙළ හවුල සහ මුනිදාස කුමාරණතුංග මහත්මයා. ඔවුන් ඉතාම දක්ෂ ලෙස රාවන පුරාවෘත්තය බොහොම සංගත ඉතිහාසයකට ගොනු කරල , දුරාව කුලයේ ඉතිහාසය ඒකට ගැටගැහුවා. පස්සේ පියවරෙන් පියවර මේ ඉතිහාස කතාව බොහොම විස්තීර්ණ උනා විතරක් නෙවෙයි මේ කියන කුල තුනම එය ඔවුන්ගේ කතාව කරගත්ත. අන්තිමේ ඒක සිංහල ජාතියේ කතාව බවට පත් උනා.

පහතරැටියන්ට වුවමනා වෙලා තිබුනේ මහාවංශය ඉක්මවා යන්න පුළුවන් ඉතිහාසයක්. ඔවුන් රාවණා මාර්ගයෙන් මහාවංශය පහුකරගෙන ගිහිල්ලා , මහාවංශයේ සඳහන් සියලු දේත් ඒ කතාවට ඇතුළු කරගත්තා. ඒක බොහොම සාර්ථක දැනුම් ව්‍යාපෘතියක්.

මම මේ කියන්නෙත් කතාවක් බව මතක තියා ගත යුතුයි.

අපිට මෙතැනදී වැදගත් වෙන්නෙ කුල සාධකයවත් , රාවණා වත් නෙවෙයි, දැනුමට කල හැකි දේ මොකක්ද කියන එක. දැනුම් නිර්මාණය කරන්න පුළුවන් විතරක් නෙවෙයි, එවැනි නිර්මාණ වලට ලෝකය වෙනස් කරන්නත් පුළුවන්. ජාතිය ගොඩනගන්න දැනුම නිර්මාණය කරන්න අවශ්‍යයි. දුරාව කුලයට විසිවන සියවසේ මුල් කාලයේදී ඔවුන්ගේ අනන්‍යතාවය ගැන අභියෝගයක් එල්ල උනා. එතැනදී ඔවුන් කලේ තමන්ගේ ඉතිහාසය ගැන හීනමාන තැනකට යනවා වෙනුවට මහ ඉතිහාසය ඇතුලෙ තමන්ව ස්ථානගත කරගන්න පුළුවන් වෙන විදිහේ අභිමාන ව්‍යාපෘතියකට යන එක. මෙන්න මේ අභිමානවත් දැනුමක් ගොඩනගන භාවිතාව තමයි අදටත් අවශ්‍ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *