Opinion

රිටිගල ජයසේනගේ වෙල්යාය

Summary

එය ඉතා සරල පිංතූරයකි. ඒ නිසා ම එහි ඇති සංකීර්ණභාවයේ ඉමක් කොනක් නැත.

ඡායාරූපය හොදින් පෙනෙන්නට වූයේ එයට ඉංග්‍රීසියෙන් ලියා තිබූ කැප්ෂන් එක කියවීමෙන් පසුවය. ඉන්පසුව ඒ පින්තූරයෙන් ගැලවෙන්නට නොහැකි විය.

එය ඉතා රළු පින්තූරයකි. එහෙත් රිටිගල ගැන අපේ මනෝභාවය ඉන් ඉතා සියුම් ව ග්‍රහණයට ගෙන තිබිණි.

එය ඉතා සරල පිංතූරයකි. ඒ නිසා ම එහි ඇති සංකීර්ණභාවයේ ඉමක් කොනක් නැත. සංකීර්ණභාවයේ අන්තිම කෙළවරේ ඇත්තේ සරල භාවය වන අතර එය කිසිසේත්ම තේරුම් ගැනීමට නොහැක. යම්තමින් විඳින්නට හැකිය. මේ පිංතූරයේ අභිරහස එයයි.

අනිත් අතට මෙහි රිටිගල තරම් ම විසාලෙට වෙල් යාය ද ඇත. අපට රිටිගල දෙස බලන විට පෙනෙන්නේ වෙල් යායයි. වෙල්යාය දෙස බලන විට පෙනෙන්නේ රිටිගලයි.

වෙල්යාය ගැන අපි දනිමු. වෙල් යායේ අපි දුවපැන ඇවිද ඇත්තෙමු. එහෙත් රිටිගල ගැන අපි නොදනිමු. එහෙත් වෙල්යාය හා රිටිගල අතර පවතින සම්බන්ධයක් අපේ සිතේ ඇත. වෙල් යාය නිසා රිටිගල බිහි විය. රිටිගල නිසා වෙල් යාය බිහිවිය.

දැන් වෙල් යාය ඇත. රිටිගල නැත. රිටිගල ඇත. එහෙත් රිටිගල රිටිගල තුළම සැගව ගොස් ඇත. රිටිගල කන්ද නැග ඇති අයෙකුගෙන් මේ සිතිවිලි සියල්ල ඒ පිංතූරය තුළට රිංගයි. පිංතූරය මිදෙන්නට නොහැකි ලෙස අපව අල්ලා ගන්නේ ඒ නිසාය.

පිංතූරයෙන් රිටිගල අපට පෙනේ. එහෙත් මීදුම අතර කාලයේ මීදුම අතර සැගවුණ නොදන්නා රිටිගලකුත් ඇත. එය අපට සොයාගත නොහැක. ඒ ගැන ඇතිවන දුක සහ සංවේගය පිංතූරයේ ඇත. පිංතූරයට ඒ සියල්ල ග්‍රහණය වී ඇත.

පිංතූරය විසින් පිංතූරයට නගා ඇත්තේ අපේ සිතයි. එය කලාතුරකින් සිදුවන දුර්ලභ දෙයකි.පිංතූරයට දැනට අයිතිකාරයෙකු නැත. එහෙත් අප සියලු දෙනා එහි අයිතිකාරයෝ වෙමු. නැතිනම් පිංතූරය විසින් අප සියලු දෙනාවම අයිති කරගෙන ඇත.

රිටිගල තුළ සැගව ඇත්තේ අප නොදන්නා අතීතයකි. රිටිගල කන්ද නැග්ග විට එහි පඩිපෙල් අතර අප මංමුලා වෙමු. අපට එය සිතාගත නොහැකිය. ඒ අධ්‍යාත්මික ලෝකය අපට සිතාගැනීමට නොහැකි තරම්ය. ගලින් පර්වතයෙන් ගල් කැටයමින් ගල් කුළුණෙන් ඉදිකළ ඒ අධ්‍යාත්මික ලෝකය අපට සිතාගත නොහැකිය. ඒ ගලින් කළ අධ්‍යාත්මික ලෝකයට සිදුවූ දේ අපට සිතාගත නොහැකිය. රිටිගලට නැග්ග අප මංමුලා වන්නේ අපේ සිත තුළමය. මනාව ඉදිකළ ඉතා අලංකාර ගල්පෙඩි උඩට පහළට යන්නට අපට මනාව මග පෙන්වූවත් අප සිත තුළ ම අපව මංමුලා කරවන්නේ ද ඒ ගල් පඩි පේළිමය.

ඒ සුන්දරත්වය ද ඒ සුන්දරත්වයේ ඉතිරි වී ඇති ටික ද ඒ අහිමිවීම ද අපට දරාගැනීමට නොහැකි තරම් ය. පිංතූරයේ ඒ සියල්ල ඇත. වෙල්යාය ඇත. එහෙත් රිටිගල සැගව ගොසිනි. අප දන්නා රිටිගලින් නොදන්නා රිටිගල සැගව ගොසිනි. වෙල් යාය පමණක් ඉතිරිව ඇත.

රිටිගල එදා භාවනායෝගීව විසූ භික්ෂූන්ගේ භාවනාව යම් තරමකට ඒ පිංතූරය තුළට ගැබ් වී ඇත. එහෙත් අපට ඒ භාවනාවට සමවැදීමට නොහැක. අප සතු වස්තුව මේ පිංතූරය ම පමණි. අපට අප ගැන පෙන්වන්නට ඇත්තේ මේ පිංතූරය ම පමණි.

මේ පිංතූරය විසින් එක අතකට ග්‍රහණය කරගෙන ඇත්තේ අපේ වර්තමානය හා අපේ ඉතිහාසයයි. එය රිටිගලට ද වඩා විසාලය. අහඹු තත්පරයක කැමරා කාචයට හසු ව ඇති කතාවකියාගැනීමට නොහැකි තරමට විසාලය. මේ පිංතූරයෙන් අපට ගැලවෙන්නට නොහැක්කේ ඒ නිසාය.

එය මනුෂ්‍යයෙකු විසින් නොව දෙවියෙකු විසින් ගන්නා ලද පිංතූරයක් යැයි සිතෙන්නේ ඒ නිසා ය. ඒ පිංතූරයට අයිතිකාරයෙක් නැත්තේ එනිසා යැයි අපට සිතෙන්නේ ඒ නිසාය.

කෙසේවුවත් පිංතූරයට අයිතිකාරයෙක් සිටියි. දෙවියන් විසින් අප තුළ පිංතූරයක් පහළ කරන තුරු අපට ඇත්තේ මේ පිංතූරය පමණි. ඒ පිංතූරය අප අත තබාගෙන දෙවියන්ගේ පිංතූරය බලාපොරොත්තුවෙන් අපට සිටිය හැකිය.

එදා රිටිගල දැක ඇති අද රිටිගල දකින දෙවියෙකු විසින් අපට පිංතූරයක් ලබාදෙන තුරු අපට ඇති පිංතූරය එය පමණකි.

Leave a Reply

Your email address will not be published.