Opinion

රියැලිටි සිංදුව

Summary

විජයයි මාලීනියි බස් එකේ තනි වෙලා කොන්දොස්තර (විල්සන් කරූ) උන් දෙන්නාට බැන්නා නම් මේ විදිහෙ රියැලිටියක් නිර්මාණය වෙන්නේ නෑ. ඒක රඟපෑමක් කියලා මිනිස්සු දන්නවා.

ඉස්සර හැම දෙයක් ම සීරියස්. මාධ්‍යයත් එහෙම තමයි. 1993 – 94 වෙද්දි අපේ රටේ මාධ්‍ය කලාව වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට කලින් පත්තරයකට ලිපියක් ලිව්වාම අපිට මුදල් ලැබුණා. ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනකට ගියාමත් වවුචරයක් පුරවලා කවුන්ටරයකට දීලා අපි පුංචි මුදලක් ඇරගෙන ආවා. රේඩියෝවේ හරි රූපවාහිනියේ හරි ගීතයක් ප්‍රචාරය වුනාම ලොකු පොඩි භේදයක් නැතුව හැම ගායකයෙක්ට ම මුදලක් ලැබුණා.

ඒත් 1993 හෝ 1994 වෙද්දි මේ වැඩේ වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් රේඩියෝ සහ රූපවාහිනිවලින් තමන්ගේ ගීත ප්‍රචාරය කරගන්න මුදල් ගෙවන අයත් ඉන්නවා. පත්තරවල ලිපි පළ කරන්න නම් මුදල් ගෙවන්න ඕන නෑ. හැබැයි ඉස්සර වගේ ලිපිවලට මුදල් ගෙවීමක් නම් කරන්නේ නෑ. අපි ඒ කතාව පැත්තකින් තියමු.

කොහොම හරි සීරියස් මාධ්‍ය කලාවක් වෙනුවට මිනිස්සු අන්දන සෙල්ලම් ගොඩක් ඉස්සරහට එන්න පටන් ගත්තා. ඒ අතරින් මුල් තැනක් ලැබෙන්නේ ලියැලිටි රූපවාහිනි වැඩසටහන්වලට. අපේ රටේ රූපවාහිනි රියැලිටි වැඩසටහන් ප්‍රචාරය කරන්න පටන් ඇරගෙන අවුරුදු විස්සක් විතර ඇති. මේ ආරම්භය ගැන හරි හමන් අදහසක් මට නෑ.

රියැලිටි වැඩසටහන්වලින් ප්‍රේක්‍ෂකයන්ට එක්තරා ආකාරයක ඩ්‍රැමටික් වින්දනයක් ලබා දෙනවා. ගීත ගායනා තරඟාවලියක් වුනත් ඉදිරිපත් කරන්නේ සියළුම රස එකතු කරලා. මේ වැඩසටහන්වලට සහභාගී කරවා ගන්නේ ඒ ඒ අංශවල දක්‍ෂ ම අය විතරක් නෙවෙයි. කිසිම හැකියාවක් නැති අයත් අතරින් පතර දානවා. ඒ අය ඇන ගන්නවා බලද්දි ප්‍රේක්‍ෂකයන්ට ලොකු ආතල් එකක් ලැබෙනවා. ඉතින් රෑ නිදි මරලා මේ විප්‍රකාර බලලා පහුවදා ඔෆිස් ගිහිල්ලා කියන්න දෙයකුත් අපේ අයට ලැබෙනවා.

මීට අවුරුද පහළොවකට විතර කලින් එක්තරා රූපවාහිනි නාලිකාවක් මගුල් රියැලිටි වැඩසහනක් ප්‍රචාරය කරලා තියෙනවා. මේකට සම්බන්ධ වෙලා දිනපු අයගේ මගුල් උත්සවය ඒ නාලිකාවෙන් කරලා දුන්නලු.

ඒ දවස්වල මගේ ඔෆිස් යාළුවෙක් තමයි මේ ගැන මට කියන්නේ. ඒ යාළුවා මට මුණ ගැහෙන්නේ අපේ දවල් කෑම සංගමයේ දී. මෙහෙම එකට කෑම කන වෙලාවක මේ යාළුවා අර මගුල් වැඩසටහන ගැන අපිත් එක්ක කියන්න පටන් ගත්තා. (සාමාන්‍යයෙන් අපේ කෑම සංගමයක හතර පස් දෙනෙක් ඉන්නවා. ඒ හින්දා තමයි “අපිත් එක්ක” කියලා කිව්වේ).

“මේක නම් මාරයි. කොල්ලයි කෙල්ලයි ගෙනියලා හපුතලේ පැත්තේ ඈත ගමක අත ඇරියා” යාළුවා රස කර කර කියනවා. “ඊට පස්සේ උන් දෙන්නා පාර හොයා ගෙන එන්න ඕන. බලන්න මරු වැඩේ. උන් දෙන්නා මාර පරිප්පුවක් කන්නේ. වැරැදි බස්වලට නගිනවා. කොන්දස්තරලාගෙන් බැනුම් අහනවා. එක කෙළියයි” යාළුවා කියද්දි අපි අහගෙන ඉන්නවා.

“උන් කොහොට ද යන්න ඕන?” මම ඇහුවා.

“කොළඹට. ගල්කිස්ස හෝටලයට යන්න ඕන” යාළුවා උත්තර දුන්නා.

“ඒ මොකට ද?” මම ආයෙත් ඇහුවා.

“ඒ හෝටලේ කාමරයක් ඇතුළේ බල්ලෙක් ඉන්නවා. උන් දෙන්නා ඇවිල්ලා ඒ කාමරය හරියට ම හොයා ගන්න ඕන. ඒක තමයි චැලේන්ජ් එක” යාළුවා කරුණු පැහැදිළි කළා.

“රිෂෙප්ෂන් එකෙන් අහන්න පුළුවන්නේ” මම කිව්වා.

“එතකොට ඒක තරගයක් නෙවෙයිනේ. උන් දෙන්නා දොරවල්වලට තට්ටු කර කර කාමරයක් ගානේ යන්න ඕන” යාළුවා උත්තර දුන්නා.

“එහෙම හෝටල්වල කාමරවලට තට්ටු කරන්න දෙනවා ද?” අපිත් එක්ක කෑම කන තවත් යාළුවෙක් ඇහුවා.

“හරි. හරි. අරුන් දෙන්නාට වෙච්ච දේ කියපංකෝ” මම පොඩි උදව්වක් කළා.

“උන් දෙන්නා දැන් බස් එකක ඇවිල්ලා. බස් එක අන්තිමට නවත්තන තැනටත් ඇවිල්ලා. අනිත් එවුන් ඔක්කොම බැහැලා. ඒත් මුන් දෙන්නා බහින්නේ නෑ මාර ජොලි වැඩේ. කොන්දොස්තර උන් දෙන්නාට බනිනවා. උන් දෙන්නා ඇඹරෙනවා” යාළුවා තරු මර මර කියනවා.

“උන් දෙන්නා විතර ද බස් එකේ ඉතිරි වෙලා හිටියේ?” මම ඇහුවා.

“උන් දෙන්නයි, ඩ්‍රැයිවරුයි, කොන්දොස්තරයි” යාළුවා කිව්වා.

“එච්චර ද?” මම ආයෙත් ඇහුවා.

“ඒකනේ මේ කිව්වේ. උන් දෙන්නයි, ඩ්‍රැයිවරුයි කොන්දොස්තරයි විතරයි” යාළුවා ආයෙත් පැහැදිළි කළා.

“එතකොට කැමරාකාරයෝ?” මම ඇහුවා.

“අනේ පලයන් යන්න. උඹත් එක්ක මේවා කියනවාට වඩා හොඳයි කට බිම උලා ගන්න එක” යාළුවා කතාව කියන එක නැවැත්තුවා.

විජයයි මාලීනියි බස් එකේ තනි වෙලා කොන්දොස්තර (විල්සන් කරූ) උන් දෙන්නාට බැන්නා නම් මේ විදිහෙ රියැලිටියක් නිර්මාණය වෙන්නේ නෑ. ඒක රඟපෑමක් කියලා මිනිස්සු දන්නවා. ඒත් රියැලිටි වැඩසටහන් එහෙම නෙවෙයි. රියැලිටි වැඩසටහනක් බලන හුඟක් අය ඒක ඒ විදිහට ම විශ්වාස කරන්න පටන් ගන්නවා. බලලා ඉවර වෙලත් ඒ රසය නැවත නැවතත් මෙනෙහි කරනවා. ඒ වැඩසටහන්වලට එන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු. ඒ අය නියම ප්‍රොෆෙෂනල් නළුවෝ නෙවෙයි.

මේ විදිහට තියන රියැලිටි තරගයකට සහභාගි වෙලා දිනන අයට ප්‍රසිද්ධියේ තෑගි දෙනවා වගේ ම පරදින සමහරුන්ට තිරය පිටිපස්සෙන් මුදල් ගෙවනවා. එහෙම කරන්නේ එ අයත් මේ රියැලිටියට වෙනත් රසයක් ලබා දෙන හින්දා. හුඟක් වෙලාවට ඒ අය කරන ගොන් පා‍ට් වැඩසටහනේ අධ්‍යක්‍ෂ විසින් පුරුදු පුහුණු කරපු ඒවා.

මිනිස්සුන්ගේ හැඟීම්වලට කතා කරන විදිහ මේ වැඩසටහන්වල අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකයෝ දන්නවා. ඉතින් හරියට නිල බලලා වැඩක් කළාම ඒක මහ ඉහළින් නැගලා යනවා. ඒ ගැන සතියක් දෙකක් වුනත් එක දිගට ම කතා කරන්න පටන් ගන්නවා. මේ හැම දෙයක් ම වෙන්නේ පිටපතකට කියලා ඒවා බලන අය දන්නේ නෑ. හුඟක් දක්‍ෂ අයත් මේ වැඩසටහන්වලට සහභාගී වෙනවා. මේ තරඟවල අවසාන වටවලට තේරෙන්නේ ඒ වගේ ඉහළ හැකියාවල් තියෙන අය. දිනන්නෙත් එහෙම කෙනෙක්. ඉතින් ඒ අයගේ දක්‍ෂකම් ගැන සැකයක් නෑ.

ඒත් මේ තරගකාරයෝ කියන හැම කතාවක් ම ඒ අය හිතලා කියන ඒවා නම් නෙවෙයි. වැඩසටහනේ රසය උස්සන්න නම් හොඳට හිට් වෙන අමතර කතන්දර කියන්න ඕන. ඒ කතා කලින් සූදානම් කරනවා. ඒකට අදාළ පුහුණුව කලින් ලබා දෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට වැඩසටහන මෙහෙයවන අතර අතරින් පතර අර රස වෑහෙන කතා කියන්න අවස්ථාවක් ලබා දෙනවා. මේ වැඩේ හරියට කළොත් දෙන අමතර දීමනා පවා ලැබෙනවා.

මොන විදිහට හරි වෙන්න ඕන වැඩසටහනට තියෙන ප්‍රේක්‍ෂක අවධානය ඉහළ දමා ගැනීම. ඒක ඉහළ යන්න නම් ඒ ගැන කතා පතුරුවන වැඩේ මිනිස්සුන්ට ම පවරලා දෙන්න ඕන. එතකොට ඒ සඳහා ප්‍රචාරක වියදමක් කරන්න ඕන වෙන්නෙත් නෑ. මේ විදිහට ප්‍රේක්‍ෂකයෝ ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි ඒ වෙනුවෙන් ලැබෙන වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය වැඩි වෙන්නේ.

ඖෂධ කොම්පැණි වෙනුවෙන් කඩේ යනවට වඩා අපේ රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් කඩේ යන එක හොඳ වැඩක්. අන්තිමට කීයක් හරි හම්බ කර ගන්නේ අපේ ම මිනිස්සුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *