COLUMN

” රිලවුන්ට කෑම දීමෙන් වලකින්න “

Summary

එක් උදාහරණයක් විතරක් කියන්නම් ලංකාවෙ දුම්රිය 396 ක් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයො 18000 කට වැඩියි. එක දුම්රියකට සේවකයො 40 කට වැඩියි.
තව උදාහරණයක් අධිවේගි මාර්ග වල ටිකට් කඩන ස්ථාන 18 යි. ඒ ටිකට් කඩන්න විතරක් 700 කට වඩා සේවකයෝ ඉන්නවා.
වරාය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංගම හැම තැනම තත්වය මෙහෙම තමයි.
අමතක කරන්න එපා ලංකාවේ ත්‍රීවීලර් එලවන තරුණයො මිලියන 1.2 ක්. ඒ කියන්නෙ රටේ ජනගහනයෙන් 5% කට වැඩියි. මොවුන් සියල්ලම කර්මාන්ත සඳහා යොමු කළ යුතුමයි. මේ රටක රත්තරන් ශ්‍රමයයි.

මේ පොලොන්නරුව, අනුරාධපුර පූජා භූමි වල හැමතැනම ගහලා තියෙන බෝඩ් එකක්..
” අලින්ට කෑම බීම දීමෙන් වලකින්න “
මේ උඩවලවේ යනකොට ගහලා තිබුණු එකක්..
ඇයි මෙහෙම ගහලා තියෙන්නේ..?
මෙහෙම නිකං කන්න බොන්න දුන්නාහම මේ සතුන් ඒකට පුරුදු වෙනවා. ඔවුන්ගෙ සාමාන්‍ය දින චර්යාවෙන් අයින් වෙනවා. කම්මැලි සත්තු බවට පත් වෙනවා. අසනීප වෙනවා. අකාලයේ මිය යනවා. ඔවුන් අවට පරිසරයෙන් ස්වශක්තියෙන් කෑම හොයා ගෙන කන එක නවතිනවා. ස්වභාවික පරිසරයෙන් ඈත් වෙනවා.
සත්තුන්ට උරුම මේ පොදු ධර්මතාවයෙන් මිනිස්සුන්ට විතැන් වෙන්න පුළුවන් ද..?
අපි හැමදාම අවුරුදු හැත්තෑ ගානක ඉතිහාසයට ශාප කරන ජාතියක්. අපිට එහෙම උනේ ඇයි කියලා කවුරුවත් හොයලා බැලුවා ද..?
අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ” දියව් ” කියන මානසිකත්වයට.
මේ රට හෝඩියෙ ඉදන් උපාධියට එනකම් සියල්ලම නිකං දෙන රටක්. ඊටපස්සේ කෑ ගහනවා ” රැකියා දියව් ” කියලා.
රැකියාව දුන්නාට පස්සෙ කෑගහනවා ” පඩි වැඩි කරලා දියව්” ” නිල ඇඳුම් දියව්” අරන් දියව් මේක දියව් කියලා..
ගොවියන් ට කුඹුර, වතුර ටික, බීජ ටික නිකම්ම දීලාත් ඔවුන් කෑ ගහනවා ” පොහොර දියව් ” අරක දියව් මේක දියව් කියලා.
රටක තියෙන්න ඕන නිෂ්පාදන ආර්ථිකයක් මිසක යැපුම් ආර්ථිකයක් නෙවේ. අපේ රටේ මිනිස්සු අමාරුවෙන් හොයන ආදායමෙන් 85% ක් යනවා රාජ්‍ය අංශයෙ පඩි ගෙවන්න විතරක්.
මැති ඇමතිවරුන්ගෙ විශ්‍රාම වැටුප් අහිමි කල යුතුමයි. විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට ආරක්ෂාව හැර නිල නිවාස, යාන වාහන අනිකුත් වරප්‍රසාද කපා හැරිය යුතුයි. පහල සිට උඩට නොව ඉහළ සිට පහළට රට හැදීම කළ යුතුයි. ( ඒවායෙ ආර්ථික පිරිවැය රටේ සමස්ත ආර්ථික දත්ත වලින් සුළු ගානක් විය හැකියි. එහෙත් ඒ ආදර්ශය රටේ නායකයො දෙන්න ඕන )
නිල නිවාස, පරිවාර රථ සහ ජනාධිපතිවරයෙකු සතුව තිබූ වරප්‍රසාද සහ වියදමි කපා හරිමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය ක්‍රියාවෙන් ඔප්පු කර ආදර්ශයක් දී ඇත. බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කර රටේ නායකයා වූ සිරිසේන විශ්‍රාම ගියේ කොළඹ විජේරාමේ කෝටි 800 ක් වටිනා නිවාසයක් සිය භුක්තියට සවි කර ගනිමින්ය.
අපේ රටේ සේවා සම්බන්ධ රැකියා අඩු කරන්න ඕන. ගුරුවරු, බැංකු, රක්ෂණ, ලීසිං, සෞඛ්‍ය, උසාවි, කච්චේරි එකී නොකී මෙකී සියල්ලම සේවායන්ය. රටකට සේවා අත්‍යවශ්‍යයි. තර්කයක් නෑ. ඒත් සීමා කල යුතුමයි.
එක් උදාහරණයක් විතරක් කියන්නම් ලංකාවෙ දුම්රිය 396 ක් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයො 18000 කට වැඩියි. එක දුම්රියකට සේවකයො 40 කට වැඩියි.
තව උදාහරණයක් අධිවේගි මාර්ග වල ටිකට් කඩන ස්ථාන 18 යි. ඒ ටිකට් කඩන්න විතරක් 700 කට වඩා සේවකයෝ ඉන්නවා.
වරාය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංගම හැම තැනම තත්වය මෙහෙම තමයි.
අමතක කරන්න එපා ලංකාවේ ත්‍රීවීලර් එලවන තරුණයො මිලියන 1.2 ක්. ඒ කියන්නෙ රටේ ජනගහනයෙන් 5% කට වැඩියි. මොවුන් සියල්ලම කර්මාන්ත සඳහා යොමු කළ යුතුමයි. මේ රටක රත්තරන් ශ්‍රමයයි.
ආණ්ඩුවෙ රස්සා කියන සංකල්පය හිත් වලින් අයින් කළ යුතුමයි. ලක්ෂ 15 ක් වන රාජ්‍ය අංශය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක්. මේ මජර ක්‍රමය වෙනස් කල යුතුමයි. මිනිස් ශ්‍රමය ඵලදායී කළ යුතුමයි.
සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන හැර අනිකුත් සියලුම රජයෙ සේවා පෞද්ගලිකරණය කළ යුතුයි. නිකං කන්න දෙන සිරකරුවන් පවා මහා පරිමාණ ගොවිපොළවල් හරහා රටේ ශ්‍රම බලකායට එකතු කරගත යුතුයි.
ලංකාවෙ හැමතැනම බෝඩ් ගහන්න ඕන..
” මිනිස්සුන්ට නිකං දීම තහනම් ” කියලා.

නිලන්ත සත්සර ගමගේ ✍️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *