රිවස් පෙති වස්තුව – Gammiris
සතරැස් නුවර පුවත්

රිවස් පෙති වස්තුව

Summary

ඉන්පසු වීර විජය තෙමේ ඇවිටිලි කරන්නට විය. “මාර දිව්‍ය පුත්‍රයාණෙනි සතරැස් නුවර මා හට කිරීමට ඇති එකම නිවැරදි කිරීම නම් මා විසින් අරඹන ලද ඒ රක්ත පක්ශය ඇරඹුම නොකර සිටීමය.

ඒ වූ කලී චාතුම්මහාරාජිකය වසවර්තිය ඇතුළු දෙව්ලොව මෙන්ම සංජීවය ඇතුළු නිරයන් තුළද මහත් වූ කලහ ඇති වූ සමයෙක් වියැ. සතරැස් නුවරින් චුතව ඒ ඒ ලෝකවල පහළ වූ රාජ රාජ මහාමාත්‍යාදීන් වැලිත් සතරැස් නුවර බලා ඒමට ඒ ඒ දිව්‍ය ලෝකවල නිරයන්හි දෙටුවන් අභිමුව මහත් ඇවිටිලි කරන්නට පටන් ගත්හ. ඉන් මහත් කලහාකාරී තත්ත්වයක් ඇතිවූයේ වසවර්තිය තුළය.

සතරැස් නුවරින් චුතව ගිය මහ ජයෝඩන රජු මෙන්ම මහා පෙම් දස් රජු හා වීර විජය රෝහණ අධිපති ඇතුළු මහත්වූ දෙටු කැළක් වසවත් මාර පුත්‍රයා වටකොට වැලිත් සතරැස් නුවර බලා යෑමට අවසර ඉල්ලා සිටියහ. මහත් කුකුසට පත්වූ සවත් මාර පුත්‍ර තෙමේ වහා දිවැස් දිව සවන් යොමා අනෙකුත් ලෝකයන් දෙස බැලීය. පරනිම්මිත වසවර්තිය මතුද නොව තුසිතය නිම්මාන රතිය මෙන්ම කාලසූත්‍රය සංජීවය ඇතුළු නිරයන්හි ද මෙවැනිම ඇවිටිලි කිරීම් ඇති බව දිවැසින් දිටීය. ඒ දුටු ජ්සවත් මාර පුත්‍රයා ජයෝඩන තෙමේ බණවා “කිම ජයවර්ධනය තොප කිමෙක් අරබයා වැලිත් සතරැස් නුවර පහළවන්නට අවසර යදින්නේ ද” යි විමසීය.

“වසවත් මරු පුත්‍රයාණෙනි මා සතරැස සිහසුන් අරා සිටිනා කල මා අතින් සිදු වූ මහත්වූ නොකටයුතු විය. ඉදින් මා එහි ගොස් යළිත් ඒවා නිවැරදි කොට පරනිම්මිත වසවර්තිය කරා නැවත පැමිණෙන්නෙමි.”ජයෝඩන  තෙමේ පිළිවදන් දුන්නාහ.

“ඉතින් මෙතුවක් කල් ගොස් නැවත වෙනස් කරන්නට ඇති කාරණාව කිම” වසවත් මරු වැලිත් කුකුසෙන් විමසීය.

“මා එහි සිටිනා කල එහි තන්ත්‍ර පිළිවෙත් නීතිරීති සියල්ල ව්‍යවස්ථා ගත කොට 78 වැන්න ලෙස නම් කොට සම්මත කොට තැබීමි. එමෙන්ම එක්වරක් ලාම්පු සහ කලගෙඩි ධාරීන් අතර යුද්ධයක් ඇති කොට යම්කිසි විපරීත යක් සිදු කළෙමි . තිස් අවුරුදු මහා නදී සැලැස්ම සය අවුරුද්දක් කොට එහි ප්‍රතිඵලය සුන් කොට දැමීමි. අවසන මාගේ රාජ කාලය අවසානයේ මේ මහා පෙම්දස්  රාජාපේක්ෂක කොට මහත් වැරැද්දක් සිදු කළෙමි. දැන් මා හට ඒ සියල්ල නිවැරදි කිරීමේ කල් එළඹ ඇත. වසවත් මාර දිව්‍ය පුත්‍රයාණෙනි මා හට සතරැස් නුවර පහළවීමට ඉඩ ලබා දෙනු මැන” ජජයෝඩන තෙමේ යටහත් පහත්ව පැවසීය.

ඉන්පසු මහා පෙම්දස්  වසවත් මාර දිව්‍ය පුත්‍රයා අභිමුවට පැමිණ දොඩමළු විය.

“මාර දිව්‍ය පුත්‍රයාණෙනි මා හට ද සතරැස පහළ වනු ඇවැසිය. මා රජ කළ එක්තරා කම්කරු පෙරහරක ගොස් මා හට අකල් වියෝවක් සිදුවිය. මා සතරැස පහළ වන්නේ එම පෙරහැර නොගොස් සිටීමටය. එමෙන්ම මා පුත් චූල පෙම්දස්  හට මහත්වූ අවවාද අනුශාසනා පවත්වා උන් සුමගට යවා වැලිත් පරනිම්මිත වසවර්තිය තුළ පහළ වන්නෙමි.”

ඉන්පසු වීර විජය තෙමේ ඇවිටිලි කරන්නට විය.

“මාර දිව්‍ය පුත්‍රයාණෙනි සතරැස් නුවර මා හට කිරීමට ඇති එකම නිවැරදි කිරීම නම් මා විසින් අරඹන ලද ඒ රක්ත පක්ශය ඇරඹුම නොකර සිටීමය. එවිට එය මාගෙන් පසු මෙවන් කැල කට අත්ව දැන් සිදුව ඇති විපරීතය සිදු නොවනු ඇත.”
මේ සියල් කතිකාවන් අසා සිටී වසවත් මාර පුත්‍ර තෙමේ පෙරලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.

“එම්බා සතරැසුනි…. තොප කියන්නක් සිදුකිරීමට අතීතයට ගමන් කළ යුත්තේය. ඉදින් වසවත් මාර දිව්‍ය පුත්‍රයා වූ මා හට ද එය කළ නොහැකි විය. සතරැස කෙලක් නොමැති විපරිතයන් සිදුකොට මෙහි පැමිණි තොප කෙසේනම් එසේ සිදු කරන්න ද” වසවත් මාර දිව්‍ය පුත්‍රයා කෝපාවිෂ්ට ව පැවසීය.

“වසවත් මාර දිව්‍ය පුත්‍රයාණෙනි දැන් සතරස ඒ සඳහා ආපසු ගමන් කළ හැකි පෙත්තක් වේ. එය මහාර්ඝ වූ රිවස් පෙත්තයි. ඉදින් අප එහි ගොස් රිවස් පෙති පානය කොට කාලය දිගේ රිවස් එකට ගොස් මේවා නිවැරදි කොට පැමිණෙන්නෙමි. සතරැස පංචායුධ වංශ වීර නම් තෙමේ මේ රිවස් පෙති පිළිබඳව මනා දැනුම් ඇත්තෙකි. ඉඳින් අපි එහි ගොස් උන් හමුව රිවස් පෙති ලබා සියල්ල නිවැරදි කොට වහා පැමිණෙන්නෙමි” සියල්ලෝ ම පිළිතුරු දුන්හ.

මඳක් සිතිවිල්ලේ උන් වසවත් මාර දිව්‍ය පුත්‍රයා ඉදින් තොප රිස්සේ නම් එහි යා හැක වැලිත් වසවර්තිය ට පැමිණීමේදී මටද ඒ මහාර්ඝ පෙති ස්වල්පයක් රැගෙන එනු මාහටද නිසිකල මෙහි ගෙන්වීමට නොහැකිවූවන් බොහොමයක් සතරැස් නුවර සිටිති” වසවත් මාර දිව්‍ය පුත්‍රයා පැවසීය.

සතරැස් නුවරින් වසවර්තියට චුත වූ සියල්ලෝ ස්වනක් ප්‍රීතියෙන් සතරැස් නුවර බලා පිටත් වූහ.

හුදී ජන පහන් සංවේගය උදෙසා කළ රිවස් පෙති වස්තුව මෙතෙකින් නිමියේ ය.

Leave a Reply

Your email address will not be published.