Editorial

පූජාසනය තාවකාලිකය

Summary

මේකෙන් පැහැදිලි වෙන එක කරුණක් තියෙනවා. ඒ තමයි සිංහල මධ්‍යම පංතිය දේශපාලන උපාදානයෙන් තොර බව. එහෙම උපාදානයක් තිබෙන විශාල කොටසකුත් අපේ රටේ ඉන්නවා. නමුත් මේ කියන වෙනස් තීරණ ගන්න, තත්වයට අනුව හැඩගැහෙන්න දන්න කුඩා කොටසට පුළුවන් රටේ අවසාන තීන්දුව වෙනස් කරන්න. වෛරය සහ ආදරය කියන දෙකම ඕනෑවට වඩා හිතේ තියා නොගෙන ඉදිරියට යන්න සිංහල මිනිස්සුන්ට පුළුවන්

  • Save

2015 දී උතුරු නැගෙනහිර ඡන්ද එක පොදියට සිරිසේන මහත්තයට වැටුණු බව අපි දන්නවා. නමුත් ඒක අලුත් දෙයක් නොවෙයි, 2010 දීත් වෙච්ච දෙයක්. ඒ  ඡන්දෙදි අලුතෙන් සිද්ධ වෙච්ච දේ තමයි කොළඹ  සිංහල මධ්‍යම පංතියෙන් සැලකිය යුතු කොටසක්  මහින්ද මහත්තයගෙන් ගැලවී යාම. මේ කොටසම තමයි ඊට පෙර 2010 දි මහින්ද මහත්තය විශාල පරතරයකින් දිනෙව්වෙත්. ඒ වගේම ඊට පෙර 2005 දීත් සංඛ්‍යාත්මකව අඩු උනත්  මේ  කියන නාගරික සිංහල මධ්‍යම පංතිය මහින්ද මහත්තයගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියා. මේ සියල්ලට පසුව 2019  දි ගෝඨාභය  මහත්තයව මහා ඉහලින් දිනෙව්වෙත්  මේ සමාජ තීරුවම තමයි.

මේකෙන් පැහැදිලි වෙන එක කරුණක් තියෙනවා. ඒ තමයි සිංහල මධ්‍යම පංතිය  දේශපාලන උපාදානයෙන් තොර බව. එහෙම උපාදානයක් තිබෙන විශාල කොටසකුත් අපේ රටේ ඉන්නවා. නමුත්  මේ කියන වෙනස් තීරණ ගන්න, තත්වයට අනුව හැඩගැහෙන්න දන්න කුඩා කොටසට පුළුවන් රටේ අවසාන තීන්දුව වෙනස් කරන්න. වෛරය සහ ආදරය කියන දෙකම ඕනෑවට වඩා හිතේ තියා නොගෙන  ඉදිරියට යන්න සිංහල මිනිස්සුන්ට පුළුවන්. යුද්දේ දිනපු මහින්ද මහත්තයා පරාජය කරලා ගෙදර අරින්නත් එම  ක්‍රියාන්විතයේදී අපේ මාරාන්තික හතුරෙක් වෙච්ච කරුණා අම්මාන්ට ඡන්දේ අරගෙන පාර්ලිමේන්තු එන්න ඉඩ අරින්නත් අපිට පුළුවන් වෙලා තියෙන්නෙ ඒක  නිසා.

සිංහල මිනිස්සුන්ගේ මෙන්න මේ නිසඟ ගුණය තමයි අපේ රටේ පාලකයෝ වැඩිපුරම වරදවා වටහා ගන්න දේ. තමන්ට පිරිනැමෙන ආදරය  සීමා විරහිත සදාකාලික එකක් කියල ඒ අය බලය අත පත ගාන්න පටන් අරන් ටික දවසකින් හිතන්න ගන්නවා. එහෙම හිතාගෙන තමන්ට කැමැත්ත පළකරපු මහ  ජනයගෙ මූලිකම ප්‍රාර්ථනා වලටත් පටහැනිව වැඩ කරන්න ගන්නවා.

අපේ මිනිස්සු නිතර නිතර රැවටෙනවා ,  එකම වලේ වැටෙනවා කියල කතාවක් තිබෙනවා. ඒක බොරුවක් නෙවෙයි. නමුත් මිනිස්සු මෝඩයන්ය කියල ඒකෙන් එක හෙලාම කියන්න බැහැ. මේ රැවටීම කොන්දේසි සහගත එකක්. එහෙම ඕන ඕන විදිහටම අපේ මිනිස්සු  රවටන්න අමාරුයි.

පූජාසනය මත ඔබ හිඳුවා කියල නන්දා මාලනිය ගයන ගීතයක් තියෙනවා. මේ කියන්නෙ සිංහල මිනිස්සු ගැන. සිංහල මිනිස්සු අනුරාධපුර මහසෙන් රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල පොළොන්නරු මහනුවර යුග හරහා අද දක්වාම ඒ වගේ තමයි.

2015 දි ගෙදර ගිහිපු මහින්ද මහත්තයට යලි නැගිටින්න පුළුවන් උනේ යහපාලනය ප්‍රකට කරපු අන්තිම දුර්වල ක්‍රියාකලාපය නිසා.මේ ජනවරම කිසිසේත්ම 2015 දී ප්‍රතික්ෂේප වෙච්ච තැනින් පටන් ගන්න ලැබිච්ච ජනතා ආශීර්වාදයක් නෙවෙයි. මහින්ද මහත්තයට තිබෙන ලොකුම අභියෝගය තමයි තමන්ට ලැබුණු මේ දෙවැනි භවය  ගැන කඳවුරේ අනිත් අයටත් කියල දෙන එක. ඒ වගේම ඒ හැමෝම ඒ මාවතේ ගෙනියන එක. මොකද ගනුදෙනුව තියෙන්නෙ ලංකාවේ මිනිස්සු එක්ක. උන් මොන තරම් රවටුනත්, උන්ට මොන තරම් වැරදුනත් හිතන්න බැරි හදිසි තැන් වලදි කැරලිකාර තීන්දු ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap