Opinion

රිෂාඩ් සාධකය සහ මගඩි නාටකය

Summary

ද මේ ආණ්ඩුව දිනවන්න අවංකව ම දර දිය ඇද්ද මිනිසුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා

  • Save

රිෂාඩ්  බදියුදීන් අල්ලා ගැනීම සඳහා කරන බව කියන පොලිස් මෙහෙයුම දැන් මගඩි නාටකයක් බවට පත් වෙලා තියනවා. බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් යොදවපු බව කියලා දවස් හතරක් ගත වුණත් තාමත් ඔහු නිදැල්ලේ ඉන්නවා. මේ අත්අඩංගුවට ගැනීම හා බැඳුණු නරිනාටකය සමාජයේ විහිළුවක් බවට පත් වෙලා තියෙනවා.

රිෂාඩ් සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට මතු වෙන්න පටන් ගත්තේ ම 20 වැන්ක් ව්‍යවස්ථා සංශෝධනයට හිතන තරම් ලේසියෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න බෑ කියන කාරණය ආණ්ඩුවේ ප්‍රධානීන්ට තේරුම් යන්න පටන් ගත්තට පස්සේ. පාර්ලිමේන්තුව මුලින් ම රැස්වෙන දවසේ ආණ්ඩු පක්ෂයට 150ක මන්ත්‍රී පිරිසක් හිටියට කථානායක පත්වීමත් එක්ක ඒක 149ට අඩු වුණා. ආණ්ඩු පක්ෂයේ ම මන්ත්‍රීවරයෙකු වුණු විජේදාස රාජපක්ෂ 20වැනි සංශෝධනයට පක්ෂව අත උස්සන්නෙ නැති බව පැහැදිලියි. රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මේ සම්බන්ධයෙන් අවිනිශ්චිත තැනක ඉන්න බව පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් වීරවංශ ගේ පක්ෂය 20 වැනි සංශෝධනය මුල් කරගෙන ආණ්ඩුවත් එක්ක කේවල් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. මම මේ ලිපිය ලියන මොහොතේත් 20 වැනි සංශෝධනය සම්මත කරගන්න අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට නැහැ.

ආණ්ඩුවට මේ අවුල ජයගන්න තියන ලේසි ම විදිහ තමයි විපක්ෂයේ ඉන්න සුළු පක්ෂ ආණ්ඩුව ඇතුළට ගන්න එක. මේකෙ එක විකල්පයක් තමයි ඒ පක්ෂ, පක්ෂ විදියට ම ආණ්ඩුවට සම්බන්ධ කරගන්න එක. එහෙමත් නැත්නම් ඒ පක්ෂ කඩලා ඒවායේ ඉන්න මන්ත්‍රීවරුන්ට නොයෙක් වරදාන, වරප්‍රසාද දීලා 20ට පක්ෂව චන්දය ප්‍රකාශ කරගන්න එක. ඒ වගේ ම තියන තවත් විකල්පයක් තමයි පොලිස් පරීක්ෂණ, අත්අඩංගුවට ගැනීම් වගේ දේ හරහා ඔවුන්ට පීඩනය කරලා 20ට පක්ෂ කරවාගන්න එක. ආණ්ඩුව මේ වෙලාවෙ මේ තුන ම අඩුවැඩි වශයෙන් අත් හදා බලන බව පේනවා. 

වවුනියාවේ රාජ්‍ය උත්සවයකට රිෂාඩ් බදියුදීන්ට ආරාධනා කරලා, රිෂාඩ් ගේ කරේ අත දාගෙන පින්තූර වලට ඉඳලා, ඒ වේදිකාවේ රිෂාඩ්ගේ ගුණ ගායනා කරලා මේ ආණ්ඩුවේ නායකයන් කළේ රිෂාඩ් ගේ සහයෝගය ලබා ගන්න මුට්ටිය දාලා බලපු එක. ඒකට සමගාමීව සති ගාණක් අත්අඩංගුවේ හිටපු රිෂාඩ් ගේ බාල සහෝදරයාත් ඇප පිට එළියට එනවා. හැබැයි මේ ව්‍යාපෘතිය තව දුරටත් ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ මේ හැම දේකට ම සමාජයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වුණු නිසා. විශේෂයෙන් ම පොහොට්ටුවට පක්ෂව චන්දෙ දුන්න අය මේ උත්සාහය දිහා බැලුවෙ පිලිකුළෙන්. 

මේකෙ දෙවැනි විකල්පය තමයි රිෂාඩ් ගේ පක්ෂය හෝ මුස්ලිම් කොංග්‍රසය දෙකට තුනට කඩලා එතැනින් කොටසක් ආණ්ඩුවට බා ගන්න එක. මම හිතන්නේ ඒ වැඩසටහන දේශපාලනයේ යටි තලයේ ක්‍රියාත්මක වෙනවා. අපි අමතක නොකළ යුතු කාරණය තමයි රිෂාඩ්ව මේ අත්අඩංගුවට ගන්න යන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ විල්පත්තුව එළි කිරීම සම්බන්ධයෙන් නෙවෙයි. මේ පරීක්ෂණ පැවැත්වෙන්නේ පහුගිය ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු අවතැන් වූවන් පිරිසක් බස් වලින් මන්නාරමට ගෙනිහින් චන්දය පාවිච්චි කරන්න ඉඩ හදලා දුන්න ය කියන චෝදනාව ගැන. රිෂාඩ් ට තියෙන අනෙක් චෝදනා එක්ක් බැලුවාම මේක ඉතා ම සිල්ලර, ඒ වගේ ම ලේසියෙන් ගැලවෙන්න පුළුවන් චෝදනාවක්. 

මෙහෙම සිල්ලර චෝදනාවක් සම්බන්ධයෙන් ‍රිෂාඩ් එක්ක හැංගිමුත්තන් කරන අතරේ ආණ්ඩුවෙම තවත් පිරිසක් රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක පිල්මාරුවකට සාකච්ඡා කරනවා කියලා හිතන්න ලොකු ඉඩකඩක් තියනවා. ඒ වගේ ම රිෂාඩ්ට තමන්ගෙ පක්ෂයේ ඇතුළේ ඒ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න තියන ඉඩත් මේ හරහා තදබල් විදියට සීමා වෙනවා. ඒ විදියට හිතුවොත් ආණ්ඩුව මේ කරමින් ඉන්නෙ කැත දේශපාලන ක්‍රීඩාවක්. 

ඒ වගේ ම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය කියන තුරුම්පුවත් රිෂාඩ් හෝ රිෂාඩ්ගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් කියන ගණන් හැදීමේ ආණ්ඩුව ඉන්න බව පෙනෙනවා. ඒ හරහා රිෂාඩ් මත එක්තරා විදියක පීඩනයක් පවත්වා ගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒත් මෙතැන තියන ඛේදවාචකය තමයි මේ අශිෂ්ට සෙල්ලම මේ අය කරන්නේ පාස්කු ප්‍රහාරය නිසා නැති වෙච්ච ජීවිත 300ක් එක්ක වීම. ඒ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්, ඔවුන්ට ආදරය කරපු අය මේ දුෂ්ට දේශපාලන ක්‍රීඩාව දිහා බලනවා ඇත්තේ පිලිකුළකින්. ඔවුන් හොයන්නේ යුක්තිය සහ සාධාරණත්වය  මිසක් මේ දේශපාලන සූදුව නෙවෙයි.

මේ හැම දේකින් ම තහවුරු වෙන්නෙ 20වැනි සංශෝධනය ආණ්ඩුවට ම පාරා වළල්ලක් වෙන බවයි. විශේෂයෙන් ම මේ වගේ අර්බුදකාරී වෙලාවක කාටවත් අවශ්‍ය නැති ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීම වෙනුවෙන් දාන මේ උප්පරවැට්ටි නිසා ම අද මේ ආණ්ඩුව දිනවන්න අවංකව ම දර දිය ඇද්ද මිනිසුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඇතුළෙ සමස්ත ආණ්ඩුවක් ම විහිළුවක් බවට පත් වෙලා තියනවා. මේ අධික දේශපාලන පිරිවැය ආණ්ඩුව දරන්නේ තමන්ගේ කඳවුර ඇතුළේ පවා අර්බුද නිර්මාණය කරලා තියන අදූරදර්ශි ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන්. මේක අතිශයින් ම අතාර්කික, අමනෝඥ හැසිරීමක්. 

අවසන් වශයෙන් තේරුම් ගන්න ඕනෙ කාරණය තමයි මේ ගරාවැටීම මේ මට්ටමට ඇවිත් තියෙන්නේ ජනාධිපතිවරණය පවත්වලා අවුරුද්දක්වත් යන්න කලින් කියන එක. ඒ වගේ ම මේ ආණ්ඩුව තවත් අවුරුදු 4ක් රට පාලනය කළොත් ඔවුන් ඊළඟ මැතිවරණයේ දී නතර වන තැන වැඩි අමාරුවක් නැතුව පුරෝකථනය කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap