Opinion

රොහාන් පල්ලෙවත්ත, ප්‍රතිපත්ති සහ ප්‍රතිරූප

Summary

රොහාන් පල්ලෙවත්ත කියන ‘ප්‍රතිරූපය’ සජබෙට ගියේ මොන ‘ප්‍රතිපත්තිය’ රකින්නද කියල මම තාම කල්පනා කරනවා.

ඊයේ සමගි ජනබලවේගයට අලුතින් එකතුවුන, ජාතික සංවර්ධන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුන රොහාන් පල්ලෙවත්ත මහත්තයා මට මුලින්ම මූණට මූණ හම්බවුනේ ජනාධිපතිවරණය වෙලාවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැළණිය විශ්වවිද්‍යාලයේදී සංවිධානය කරල තිබුණ විවාදයකදී. මට කලින් කතාව පැවැත්වුවේ ඔහු. මට එහා පැත්තෙ වාඩිවෙලා හිටියෙත් ඔහු. නාගානන්ද කොඩිතුවක්කුට වඩා අවංක, විනිවිදභාවයෙන් යුක්ත, කුහක නැති මිනිහෙක් විදියට මම රොහාන් පල්ලෙවත්ත මහත්තයා ගැන හිතාගෙන හිටපු නිසාම ඔහුත් එක්ක ටිකක් වැඩිපුර කතාබහ කලා.

චන්දෙන් පැරදීමයි දේශපාලනයෙන් පැරදීමයි කියන්නෙ දෙකක්. පල්ලෙවත්ත චන්දෙන් පරදින්නෙ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගන්න චන්ද වලටත් වඩා අඩු චන්දයක් අරන්. එතුමාගේ පෝස්ට් යටින් ෆේස්බුක් එකේ කමෙන්ට් දාපු සෙට් එක චන්ද පොලට ගියත් තව චන්ද තුන් හාරසීයක් වැඩිවෙන්න තිබ්බා. හැබැයි තුන්වෙනි අපේක්ෂකයෙක් විදියට ( මම ජවිපෙ තුන්වෙනි අපේක්ෂකයා විදියට ගන්නෙ නෑ. ඔවුන් හැමවෙලේම ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගෙන් එක්කෙනෙකුගේ දිගුවක් ) පල්ලෙවත්ත අන්ත පරාජයක් ලබන විත්තිය ඔහුගේ ෆේස්බුක් ශ්‍රාවකයෝ ඇරුණම අනිත් හැමෝම දැනන් හිටියා. හැබැයි ඊයේ ඔහු චන්දෙන් විතරක් නෙමෙයි, ඔහු සහ ඔහුහේ භක්තිකයන් පිරිස ගොඩනගන්න හදපු දේශපාලනයෙනුත් පරාජය වුනා.

පල්ලෙවත්ත මහත්තයා සජබෙ වර්කින් කමිටි එකට, විදේශ සහ වෙළද ප්‍රතිපත්ති කමිටුවට, වෘත්තීය සමිති කමිටුවට විතරක් නෙමෙයි පක්ෂයට ජ්‍යේෂ්ඨ උපදේශකයෙක් විදියටත් පත්කලා. එක්කෝ සජබෙ ඇතුලෙ දැඩි මිනිස්සුන්ගේ හිගයක් තියෙනවා එහෙමත් නැත්නම් පල්ලෙවත්ත නැතුව සජබෙට දේශපාලනයක් නෑ කියල අදහසක් කවුරුහරි කේන්දරකාරයෙක් කියල තියෙනවා. 2% ක් තියෙන ජවිපෙවත් පැරදුණ ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂෙට අරන් මෙහෙම පක්ෂෙ තියෙන සේරම තනතුරු දෙයි කියල මම හිතන්නෙ නෑ. පොදුජන පෙරමුණෙ පක්ෂ සාමාජිකත්වය ගන්න අවශ්‍යනම් පල්ලෙවත්ත මහතා ජීවත්වන ආසනයේ සංවිධායකතුමා හමුවී සාමාජික මුදල් ගෙවා සාමාජික කාඩ්පත ගන්න පුලුවන්. ඊටපස්සේ ගමේ ශාඛා සමිතියට බැදෙන්න පුලුවන්.

විපක්ෂයේ මීළග ජනාධිපති අපේක්ෂකයා වීමට නියමිත පාඨලී චම්පික ‍රණවක මහතා උපක්‍රමශීලීව සජබෙ බලය ලබාගැනීමේ වැඩපිළිවෙළෙ කොටසක් විදියටත් බොහෝ අය පල්ලෙවත්ත ආගමනය දකිනවා. පල්ලෙවත්තට ඔච්චර තනතුරු ගන්න පුලුවන්නම් චම්පික ‍රණවක මහත්තයාට පක්ෂයේ ජාතික සංවිධායක වගේ තනතුරක් ගන්න බැරි ඇයි කියල මතයක් නිකම්ම නිර්මාණය වෙනවා. මෙතැනදී ‘සංක්‍රාන්ති නායකයකු’ ලෙස සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කාර්‍යභාරය ලියුම්වලට අත්සන් කිරීම සහ චායාරූප වලට පෙනීසිටීම වගේ එදිනෙදා කටයුතුවලට ලඝුවෙලා තියෙනවා.

නාගානන්ද කොඩිතුවක්කුගේ සූදු බෝඩ් එක ඉරාජ්ට හමුවුනාම නාගාගේ දායක සභාව මූණදුන් උභතෝකෝටිකයට වඩා ලොකු අවුලක් රොහාන් පල්ලෙවත්ත සජබෙට ගියාම පල්ලෙගේ දායකසභාව මුහුණ දියයුතුයි. හැබැයි එහෙම කුලප්පුවෙන්න තරම් පිරිසක් පල්ලෙවත්ත මහත්තයා වටේ නැති විත්තිය ඊයේ පෙණුනා.

තුන්වෙනි බලවේග වලට පෞද්ගලිකව මම කැමතියි. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සංවර වෙන්නේ ඔවුන් නිසා. හැබැයි ජවිපේ සිට පල්ලෙවත්ත දක්වා වූ සියලුම සුලු බලවේග යලිත් යලිත් ඔප්පුකරමින් ඉන්නේ එයාලටත් මස් රාත්තලම රස බලන්න අවශ්‍ය බවයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ තිබුණ විවාදයේ මාතෘකාව ‘ප්‍රතිරූපද ප්‍රතිපත්තිද?’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් මම මේ කරුණු දෙකම තුලනාත්මකව මධ්‍යලක්ෂයකට ගෙනෙමින් කතාවක් කලා. රොහාන් පල්ලෙවත්ත, දුමින්ද නාගමුව, වගේ අපේක්ෂකයන් ‘ප්‍රතිරූප’ කියන අදහසට පන්න පන්න ගැහුව.
දැන් රොහාන් පල්ලෙවත්ත කියන ‘ප්‍රතිරූපය’ සජබෙට ගියේ මොන ‘ප්‍රතිපත්තිය’ රකින්නද කියල මම තාම කල්පනා කරනවා.

රොහාන් පල්ලෙවත්ත මහත්මයාණනි, ඔබේ ව්‍යාපාරික කටයුතුවලට අපේ සුභපැතුම්.

Leave a Reply

Your email address will not be published.