Opinion

ලංකාගම ලංකාවේ එකම ගමද?

Summary

අරාජිකයා කරන්නෙ යුක්ති යුක්ත මානව ගැටලුව පවා බිත්තියට හේත්තු කොට එය විසඳීමට ඇති මං ඇහිරීමයි.

  • Save

ගාල්ලේ  නෙළුවේ සිට ලංකාගම හරහා දෙනියාය දක්වා දිවෙන මහා මාර්ගයක් පිළිබඳව අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ දෙදහස් දොළහේ දී පමණය (මේ අදහස ඊටත් වඩා පැරණි දැයි නොදනිමි). ඒ මොහොතේ පරිසරවේදීන්ගේ ප්‍රභල විරෝධය නිසා ඒ අදහස යට ගියේය. දැන් නැවතත් හමුදාව විසින් ආරම්භ කරන ලදැයි කියන මේ මාර්ගයේ වැඩකටයුතු ජනපති අණින්  නවත්වා තිබේ. හමුදාවට මාර්ගයක් තැනීමට අණ දුන්නේ කවුරුන්ද යන්න  සහ  අදාළ පළාත් පාලන ආයතනය හෝ මාර්ග සංවර්ධන අධිකාරිය වැනි මෙවැනි කටයුතු කරන ආයතනයකින් පරිබාහිරව සිටින්නා වූ හමුදාව මෙයට යෙදවූයේ මන්ද යන්නත් වහ වහාම සොයා බැලිය යුතුය. කෙසේ වෙතත් මේ වන විටත් යම් දුරක් වනය එලි පෙහෙළි කොට ඇති බව කියැවේ. කෙසේ වෙතත් වැඩ කටයුතු නැවත්වීමට අණකොට තිබීම  යහපත්ය. 

ලංකාගම වැසියන්ට පාරක් අවශ්‍යද නැද්ද යන්න තීන්දු කල යුත්තේ ඒ ගමේ වැසියන්ය. කිතුල් රා මුට්ටියක් කරබාගෙන ගල් කුළු මතින් එන මහලු මිනිසකු දැකීමට අප ආශා කරන මුත් ඒ මිනිසුන් ජීවත් විය යුත්තේ අපේ ඇස පිනවීමට නොවේ. සිංහරාජ මායිමේ වෙසෙන ලංකාගම මිනිසා එම වනපෙත සමග දක්වන වනජ සම්බන්ධය ඒ පරිසර පද්ධතියෙන් සහමුලින් විනිර්මුක්ත නොවේ. නමුත් ඒ මිනිසා සහමුලින්ම වනයේ කොටසක්ය යන්නද මෙයින් අදහස් වන්නේ නැත. ඔහු දැන් මූලික වශයෙන් සිහරාජයෙන් වෙන් වී තිබේ. ඉක්මනින් නගරයට ඒමට පාරක් ඉල්ලන්නේ එහෙයිනි. මේ පාර දිගේ ලංකාගම ගැමියා නගරයට එන්නා සේම නගරයද ලංකාගමට යයි. 

නෙළුව සිට ලංකාගමට පාරක් කොහොමත් තිබෙන බව අප බොහෝ දෙනකු දන්නෙමු. එසේ නම් මේ ලංකාගම වැසියන් කරමින් සිටින්නේ අලුත් පාරක් ඉල්ලීම නොව කොහොමත් තිබෙන පාර අලුත් වැඩියා කරදෙන ලෙස ඉල්ලීමක් විය යුතුය. නෙළුව සිට ලංකාගමට යන තෙක් පාරට මායිම්ව පවතින්නේ ගැමියනට වගා කිරීම සඳහා රජයෙන් ලබා දී තිබෙන ඉඩම්ය. ඊට එහායින් එක් පසෙකින් සිංහරාජයත් අනෙක් පසින් මෙම පාර නිසා සිංහරාජයෙන් වෙන් වූ තවත් කැලෑ කුට්ටියකුත් පිහිටා තිබෙයි. මේ පසුබිම යටතේ නෙළුව සිට ලංකාගමට දැනටමත් තිබෙන පාර අවශ්‍ය ලෙස පළල් කිරීම මහා බරපතල අර්බුදයක් වීමට හේතුවක් නැත. 

ගැටළුව ඇත්තේ ලංකාගම සිට දෙණියායට ඉදි වන්නේ යයි කියවෙන පාර සම්බන්ධවය. මෙවැනි පාරක් තිබීමට නොහැක්කේ ලංකාගමින් එහාට තිබෙන්නේ සිංහරාජ වනාන්තරය නිසාවෙනි. නෙළුව නගරයත් සමග බැඳී ඉන්නා ලංකාගම වැසියන් දෙනියායට යාමට තකහනියක් පාරක් ඉල්ලන්නේ යයි සිතීමද උගහටය. එසේ නම් මේ ලංකාගම සිට දෙනියායට ඉදි කරන්නට යන පාර කාගේ වුවමනාවට ඉදි වන්නක්ද යන්න වහාම හෙළි කල යුතුව තිබේ. යම් හෙයකින් මෙවැනි මාර්ගයක් ඉදි වුවහොත් සිංහරාජය තීරණාත්මක ලෙස දෙකඩ වනු ඇත. ලංකාගම වැසියනට ගමට පාරක් තිබීමට මෙන්ම සිංහරාජය දෙකඩ නොවී තබා ගැනීමටද නියමිත වුනු ලකුණු ප්‍රමාණයක් තිබේ. මින් දෙවැන්නට හිමි ලකුණු ප්‍රමාණය අතිශය වැඩි ලකුණු ප්‍රමාණයක් වන්නේ ලංකාවටද මතු නොව මුළු ලෝකයටම සිංහරාජ දෙක තුනක් නැති බැවිනි. එය මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස යුනෙස්කෝ ආයතනයෙන් නම් කරන්නේ එහෙයිනි. ජෝන් මෙයර්ස් නම් විද්‍යාඥයකු ලෝකයේ ජෛව විවිධත්වය අධික ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන ලෙස නම් කරමින් ලැයිස්තුවක් නිකුත් කළේය. එම ලයිස්තුවේ පළමු හත අට ඇතුලට ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කලාපය සහ ඉන්දියාවේ බටහිර ගැට්ස් ප්‍රදේශ අයත් වී තිබිණ. ලංකාව එතැනට ඔසවා තැබීමේ වැඩිම කර්තව්‍යය සිංහරාජය විසින් කල බවට සැකයක් නැත. 

ලංකාවේ පැන නගින ඕනෑම පරිසර ගැටළුවකදී ප්‍රධාන  ආකාර තුනක හඬ වර්ග ජන සමාජයෙන් නිකුත් වෙයි. ඉන් පළමුවැන්න ඒ පරිසර හානිය සාධාරණීකරණය කරමින් නැගෙන සහයෝගිතා හඬයි. එය නගන්නා  බොහෝ විට දෙස්පාලාඥයකුගේ  අන්තේවාසියෙකි. දෙවැනි හඬ නම් එහි ගුණාගුණ දකිමින් ඒ දෙස විචාරශීලීව බැලීමට උත්සුක වන අයගේ හඬයි. මේ සියලු දෙනා “ සිතන්නට” උත්සාහ කරන අය නිසා මේ හඬ තුල විශාල විවිධත්වයක් අන්තර්ගතය. තුන් වැනි හඬ නම් සියලු දේට එක හෙලා විරුද්ධ වන අරාජික හඬයි. 

මෙහි පළමු සහ තුන්වන හඬ වර්ග දෙකම එකට තබා පරාජය කල යුතුය. අරාජිකයා  කරන්නෙ යුක්ති යුක්ත මානව ගැටලුව පවා බිත්තියට හේත්තු කොට එය විසඳීමට ඇති මං ඇහිරීමයි. මෙසේ යට යන ඕනෑම ගැටළුවක් දෙවන වටයේදී කල එලි බසින්නේ පළමු ප්‍රවර්ගය යටතේය. මිනිසාත් පරිසරයත් දෙකම රැක ගැනීමට නම් සැම විටම මැද මාවතම තෝරා ගත යුතුය.

  • දිනෙත් මල්ලිකාරච්චි 
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap