COLUMN

ලංකාවට ගොඩ යෑ හැකිද ?

Summary

තෙල්, ගෑස්, බෙහෙත්, සිමෙන්ති, හාල්, පිටි, කිරිපිටි, පාන්, අරවා, මේවා අහස උසට යන එක මෙතනින් නවතින්නේ නැත, මේ පටන් ගත්තා විතරයි.

ලංකාවේ ආර්ථිකය මේ වෙනකොට nose-down කියන ඒකට ඌන පූර්ණ අවශ්‍ය නැතිය.

ඒක මේ වගේ කොලම් සීයක් ලියලාවත් අනික් පැත්ත හරවන්න බැරි දුරකට ගිහිල්ලාය. මේ වගේ කොලම් එකක් දෙකක් ලියපු කාලේ කවුරුහරි මොලේ තියෙන එකෙක් මේවා බැලුවානම් මේ වගේ කොලම් වලිනුත් යමක් ගන්න තිබුනි.

තෙල්, ගෑස්, බෙහෙත්, සිමෙන්ති, හාල්, පිටි, කිරිපිටි, පාන්, අරවා, මේවා අහස උසට යන එක මෙතනින් නවතින්නේ නැත, මේ පටන් ගත්තා විතරයි.

බස් ගාස්තු, කෝච්චි ගාස්තු, ස්කූල් වෑන් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු, වෙන වෙන ගාස්තු මේවා අහස උසට යන එක මෙතනින් නවතින්නේ නැත, මේ පටන් ගත්තා විතරයි.

තෙල්, භූමිතෙල්, ගෑස් පෝලිම් මෙතනින් නවතින්නේ නැත, තව දිග් ගැස්සෙනවා විතරයි. අපි තාම ඉන්නේ පෝලිමේ මුල හරියේය. ඉතින් අපිට හිතෙන්නේ අපි පෝලිමේ ඉස්සරහනේ ඉන්නේ, තෙල් ගහගෙන, ගෑස් එක ඇරගෙන, ඉක්මනට ගෙදර යන්න පුලුවන් වෙයි කියලාය. ඒක හිත හදාගන්න අපි කරන බොරුවක්ය.

ලංකාවේ ආර්ථික ප්‍රශ්නයේ root causes 1978ටත් එහාය. ඒවා ගැන දැන් වාද කිරීම නිශ්පලය. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බූදයේ වස්තු බීජය ඩොලර්ය. මේක තෙල්වත්, ගෑස්වත් ලංකාවට කවුරැවත් දෙන්න බෑ, දෙන්නෙ නෑ කියන එක පිලිබඳව ප්‍රශ්නයක් නොවේය. මේක තෙල්වත්, ගෑස්වත් ලංකාවට නැවු වලින් නොඑන එක පිලිබඳව ප්‍රශ්නයක් නොවේය.

තෙල් නැවු එකක් නොවේ දහයක් ලංකාවට ආවත් ඒ නැවුවල තෙල් ටික බාගන්න සමාගම්වලට පියවන්න ලංකාවේ ඩොලර් නැතිය. ගෑස් නැවු එකක් නොවේ දහයක් ලංකාවට ආවත් ඒ නැවුවල ගෑස් ටික බාගන්න සමාගම්වලට පියවන්න ලංකාවේ ඩොලර් නැතිය. මොකද ලංකාවේ ඩොලර් සංචිත zeroය. රෝලක් දාගන්නවත් මහ භාන්ඩාගාරයේ ඩොලර් නැතිය. ඕක zero වෙනකන් බකංනිලා හිටිය උන් කවුරු කවුරුත් දනීය.

ඩොලර් නැත්නම් තෙල්, ගෑස්, බෙහෙත් නැතිය. තෙල් නැත්නම් විදුලිය නැතිය. විදුලිය නැත්නම් ගෙවල්වල, ඔෆිස්වල, ෆැක්ටරිවල සම්පූර්ණ operation එකම අවුල්ය. ගෑස් නැත්නම් ගෙදර, හෝටලේ, restaurant එකේ වැඩ ෆුල්ම අවුල්ය. බෙහෙත් නැත්නම් ලෙඩා මැරෙනවාය. ඉතින් තෙල්, ගෑස්, බෙහෙත් නෑ කියන්නේ අනික් ඔක්කොම systems අන්ජබජල්ය.

1948 අහවල් “නිදහසේ” ඉදන්, දේශීය නිශ්පාදන ආර්ථිකයෙන් ඈත්වෙලා, බඩ ගැන විතරක් හිතලා, කන්න විතරක් මුල්තැනදීලා, රට රට වලට නයවෙලා ලංකාව ගත්ත ඩොලර් ටික, IMF එකෙන්, වෙන වෙන බැංකු වලින් ලංකාව පොලියට ගත්ත ඩොලර් ටික, ලංකාවේ දෙපල රට රට වලට උකස් කරලා ගත්ත ඩොලර් ටික, කවුරු කවුරු හරි පිටරට ගිහින් අමාරුවෙන් උපයල ලංකාවට එවපු ඩොලර් ටික, තෙල්, ගෑස්, බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දේවල් ගේන්න ආරක්ෂා කරගන්නැතිව, බඩ පුරවන්න, කන්න ඕනා බඩු ගේන්න wholesale එදා ඉදන් අද වෙනකං වියදම් කරපු එකේ ආතල් එක, මහ බැංකු කඩපු, කොමිස් ගහපු, හොරා කාපු, නාස්ති කරපු, ලොක් ඩවුන් කරපු, ඔය හැම එකේම අනිසි පල විපාක තමයි අපි හැමෝම මේ අද තෙල්, භූමිතෙල්, ගෑස් පෝලිම් වල ඉදගෙන කුනුහරුපෙන් බැන බැන විදින්නේ.

ලංකාවේ ඩොලර් ගැටලුවට දැන් ඉන්න ආන්ඩුවත්, පෙර සිටි කොයි කොයි ආන්ඩුවත් අඩු වැඩි වශයෙන් responsibleය. මේ ආන්ඩුව ‍ඒක විපක්ෂයේ තියලා කපලාවත්, විපක්ෂය ඒක මේ ආන්ඩුවේ තියලා කපලාවත් වැඩක් නැතිය. මොකද ඔය කොයි එකාත් මේකට සම්මාදන්ය. වැඩි සම්මාදම කාගෙද කියලා හොයලා දැන් වැඩක් නැතිය.

ලංකාවේ ඩොලර් ගැටලුවට මේවා ලියන අපිත්, මේක කියවන කොයි කවුරැත් අඩු වැඩි වශයෙන් responsibleය. රජයේ සේවකයා ඉදන් හැම මිනිහම රට යනකොට බැංකුවෙන් ඩොලර් ඇරගෙන, පාස්පෝට් එකේ සීල් එක ගහගෙන, යෝක් වීදිය පැන, කලු කඩෙන් ඩොලර් රුපියල් කර ගෙදරට දී රට යනවාය. එතකොට රට ඉදන් ආපහු ආවහම, බැංකුවෙන් ගත්ත, අතේ ඉතුරුවෙලා තියෙන ඩොලර් ටිකත් කලු කඩෙන් මාරුකරනවාය. ඉතින් බැංකුවට කෝ ඩොලර් ?

රට ඉදන් ඩොලර් එවන කට්ටිය, කීයක් හරි වැඩියෙන් හොයාගන්න ඩොලර් ටික උන්ඩියල් හරි හවාලා හරි කරනවාය. සංචාරකයන් ආවහම, එයර්පෝට් එකේ ඉදන් හෝටලේ දක්වාම ඉන්න එකාලා, එන සංචාරකයන්ගේ ඩොලර් වැඩිගානට ඇරන්, ඊටත් වැඩි ගානකට කලු කඩේට දෙනවාය. ඉතින් බැංකුවට කෝ ඩොලර් ? අනික් අතට රුපියල් 50ක් විතර පාඩුවට බැංකුවට ඩොලර් දෙන්න හම්බකරන අයට පිස්සුද ?

රුපියල පා කලා කියාම ඩොලරය ස්ථාවර වන්නේද නැත. මොකද ඩොලරය තව උඩ යයි කියලා ඩොලර් ටික හංගගෙන තව දවසක් දෙකක්, සුමානයක් දෙකක් බලන කට්ටිය බොහෝය. ඉතින් රුපියල පා කලා කියලා බැංකුවට කෝ ඩොලර් ?

ඩොලර් නෙමේ, රුපියල් උනත් නයට ඇරගෙන, රෝල ගසා, ගේම ගොඩා දාගන්න හැටි දැනගන්න IMF යෑමට අවශ්‍ය නැත. ඒක ගෝල් ෆේස් එකේ කොත්තු කඩේ නානාගෙන් උනත් ඉගෙන ගත හැකිය. ලංකාව ආර්ථිකය කලමනාකරණය කලයුතු හැටි දැනගන්න IMF යෑමට අවශ්‍ය නැත. ඒක ගමේ පෙට්ටි කඩයක් කරන මුදලාලි කෙනෙක් ගෙන් උනත් ඉගෙන ගත හැකිය.

අපේ රටේ ආර්ථික අර්බූදයටත් එහා ගිය ප්‍රශ්නය මේ මජර, වන්දිභට්ට දේශපාලනයය. ආර්ථික පන ඇද්දත් මේක පක්ෂ, විපක්ෂ දේශපාලකයන්ට ආතල් එකකි.

මේක හරීන්ලාගේ “අරාබි වසන්ත” මනස්ගාත වලින් ගොඩදැමිය නොහැක. හරීන්ලා බොරදියේ මාලු බාන අවස්ථාවාදීන්ය. මොකද මේක ආන්ඩු මාරුකරලා ගොඩ යෑ හැකි අවුලක් නොවේය.

මේක විමල්ලා, ගම්මන්පිලලා අයින් කලා කියලා හෝ වාසු අයින් උනා කියලා හෝ ගොඩදැමිය නොහැක. විමල්ලා, ගම්මන්පිලලා, වාසුලා කරන්නේ නැව ගිලෙනකොට එලියට පැන බැසිල්ට හරි කාටහරි වරද පැටවීමය.

මේක මෛත්‍රීපාලලා ආන්ඩුවෙන් ඉවත් උනා කියලා ගොඩදැමිය නොහැක. මෛත්‍රීපාලලා කරන්නෙත් නැව ගිලෙනකොට එලියට පැන කාටහරි වරද පැටවීමය. ආයිත් 2025දී කාටහරි සෙට්වී ගොඩ යෑමටය.

මේක JVP එක හිතන විදියට වමේ ආන්ඩුවක් ගෙනත් ගොඩදැමිය නොහැක. හෙට අනුරට රටදී, ලංකාවේ ආර්ථික ප්‍රශ්නය විසදපන් කිවුවොත්, පොරටත් යන්න තියෙන්නේ IMF එකටය.

මේක බඩුජාති 367 කට ආනයන සීමා දාලා විතරක් ගොඩදැමිය නොහැක. මොකද දැන් අස්සයා පැනලා ගිහින්ය. ලංකාවේ සුපර් මාර්කට් වල පිටරටින් ආපු චීස්, ඇපල්, මිදි තියෙනවාය. ඒත් ශෙඩ් එකේ තෙල් නැතිය. කඩේ ගෑස් නැතිය.

ලංකාවට මේකෙන් ගොඩ යා හැකිද ? අනිවාර්යයෙන් පුලුවන්ය.

පලවෙනියටම : ආන්ඩුව ඉබිකට්ටෙන් එලියට ආ යුතුය. ඇවිත් රටේ ඇත්තම ආර්ථික තත්ත්වය ජනතාවට කිව යුතුය. මේකේ responsibility එක අරහේ මෙහේ දමා වැඩක් නැතිය. පරන ආන්ඩුව කලත් දැන් උත්තර දියයුත්තේ මේ ආන්ඩුවය.

දෙවෙනියට : විපක්ෂය බොරදියේ මාලුබාන එක නැවැත්විය යුතුය. මේ මගුලෙන් ගොඩ එන විදිය ගැන දන්න දෙයක් ආන්ඩුවට කිව යුතුය. ඒකට 2025 වෙනකන් හරි, ආන්ඩුව පෙරලනකන් හරි නොසිටිය යුතුය. ආන්ඩුව හෙට මාරු උනත්, අනිද්දා බැංකුවට ඩොලර් වැටෙන්නේ නැත.

තුන්වෙනියට : මේකෙන් ගොඩ එන්න ආන්ඩුවේ crash plan එක ජනතාවට කිව යුතුය. ඒක සුමට නොවන බවත්, ඒත් ඒක අමාරුවෙන් හරි ක්‍රියාත්මක කලයුතු බවත් ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.

හතරවෙනියට : බ්ලැක් මාකට් එකට යන ඩොලර් බැංකුවට ඇදලා ගන්න ක්‍රමයක් හදා ගත යුතුය. ඩොලර් සංචිතය ටික ටික වැඩිකරගෙන, පිටරට ඉදන් වැඩකරලා ඩොලර් ලංකාවට එවන අයගේ විශ්වාසය දිනාගෙන, බැංකුවට එන ඩොලර් ගනන වැඩිකල යුතුය. ගාන වැඩි වෙනකන්, ඩොලර් ගෙදර තියගෙන ඉන්න අයගේ ඩොලර් බැංකුවට ඇදලා ගන්න ක්‍රමයක් ක්‍රියාත්මක කල යුතුය.

ඇයි යකෝ ඔය එලියේ බෝඩ් ගහගෙනම වැඩිගානට ඩොලර් ගන්න daylight මාෆියා එක තහනම් කරන්න බැරිද ?

පස්වෙනියට : මොන මගුලක් කරලා හරි,තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ජනතාවට දිය යුතුය. අපේ නය ගෙවන්න තියෙන රටවල් බැලන්ස් කරලා, කාලෙ ඉල්ලගෙන, නය රෝල් කරලා, ඩොලර් බැංකුවට ඇදලා ඇරගෙන, ඒ ඩොලර් ටිකෙන් චීස්, ඇපල්, මිදි ගේන්නේ නැතිව, තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගේන්න ‍යෙදවිය යුතුය.

හයවෙනියට : ජනතාවගෙ මූලික පරිභොජන අවශ්‍යතා වන හාල්, සීනි, පිටි, අල, ලූනු, පරිප්පු වගේ, අඩුම ගානෙ, ජනතාවට තුන්වේල ලෙවකාලාහරි නොමැරී ඉන්න අවශ්‍ය දේවල් වල මිල අඩුකල යුතුය. ජනතාවට චීස් ලාබෙට ඕනා නැත. ඒත් හාල් ලාබෙට ඕනැය.

හත්වෙනියට : ලංකාවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන projects, රටට ඩොලර් ඇදලා දෙන projects පුලුවන් තරම් encourage කල යුතුය. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන projects කියන්නේ දවසෙන් කරන කාබනික විප්ලව නොවේය.

අටවෙනියට : ලංකාවේ නිශ්පාදනයන්, මූලිකව රටේ කුඹුරු වල හාල් ටික, ලංකාවේ කිරි හරක්ගෙන් ගන්න නැවුම් කිරි ටික, ලංකාවේ කොටුවල, වතුවල තියෙන එලවළු ටික, ලංකාව වටේටම තියන මුහුදේ ඉන්න මාලු ටික වගේ දේවල් අතරමැදියන් ගසාකන එක නවත්වලා, ඒවා සාදාරණ විදියට ජනතාවට ලැබෙන ක්‍රමයක් හැදිය යුතුය.

නමවෙනියට : හැම මිනිහටම, තියෙන විදියට, පුලුවන් පුලුවන් හැටියට,ගෙදරම, පුලුවන් පුලුවන් දෙයක් වගා කරන එක අනිවාර්ය කරලා, නිරපරාදේ අත ඇරලා තියෙන ඉඩම් ටික හමුදාවල් දාලා හරි වගා කරන්න ක්‍රමයක් ක්‍රියාත්මක කල යුතුය.

දහවෙනියට : IMF හරි, කාගෙ හරි ලගට ගිහින්, දණ ගහලා, වැදලා ඇරගෙන එන ඩොලර් ටික, සංචාරකයන් ඇවිල්ලා දීලා යන ඩොලර් ටික, රට වැටිලා තියෙන අමාරුව ගැන හිතලා, පිටරට වැඩකරන අය එවන ඩොලර් ටික, මොකාහරි ලංකාවේ ආයෝජනය කරන ඩොලර් ටික හොරාකන එවුන් හිටවලා වෙඩිතියන රැඩිකල් තීරනයක් ගත යුතුය.

දේශපාලනය අමතක කර, එකට එක්වෙලා, අපිට මේ රටේ ආර්ථික අවුලෙන් ගොඩ යෑ හැකිද කියන එක අද සමාජයේ ජනතාව අතර ඒන පොදු කතිකාවකි.

ඒකට ඕනා සදාකාලිකව එක එකාගෙන් නයට කන ආර්ථික ප්‍රතිපත්තියක් නොවේය. දේශීය නිශ්පාදනයට මූලිකත්වය දෙන, ආනයනය අඩු, අපනයනය වැඩි, බඩ ගැන නොහිතන, රට ගැන හිතන ආර්ථික ප්‍රතිපත්තියකි.

එහෙම එකක් නොඑනකම්, කොයි දියසෙන් කුමාරයා ආවත් ලංකාවට මෙතනින් එහාට පැනීම බොරුය. මෙන්න කැට….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *