ලංකාවෙන් යන්න කාලෙ හරිද? – Gammiris
Opinion

ලංකාවෙන් යන්න කාලෙ හරිද?

Summary

පහුගිය සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන මගේ කිට්ටු මිත්‍රයෙක් දුරකථනයෙන් මා අමතා ලංකාවේ තත්ත්වය ගැන විමසා සිටියේය. ආහාර ගෙන්වීමට බැරි වෙන තරමට විදේශ සංචිත හිඟ වීගෙන යන බව ඇත්තදැයි විමසා සිටියේය. එහි සත්‍යතාවයක් ඇති බව මම කියා සිටියෙමි.” Migrate කරන […]

පහුගිය සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන මගේ කිට්ටු මිත්‍රයෙක් දුරකථනයෙන් මා අමතා ලංකාවේ තත්ත්වය ගැන විමසා සිටියේය. ආහාර ගෙන්වීමට බැරි වෙන තරමට විදේශ සංචිත හිඟ වීගෙන යන බව ඇත්තදැයි විමසා සිටියේය. එහි සත්‍යතාවයක් ඇති බව මම කියා සිටියෙමි.
” Migrate කරන එක ගැන මොකද හිතන්නෙ? තව option එකක් තියාගත්තොත් හොඳයි නේද?
ඔහු විමසා සිටියේය…
“බලමු මචං” මම කියා සිටියෙමි.
මම එදින රාත්‍රියේ මේ ගැන තනිවම කල්පනා කළෙමි.

2018 දී එක්සත් රාජධානියෙන් මා පිටත්ව ආවේ බලා⁣පොරොත්තු ගොන්නක් පොදි බැඳ ගෙනය. වෘත්තීය පැත්තෙන් වෙනස් දෙයක් කරන එක, අලුත් තාක්ෂණය ගේන එක, සහෝදර වෘත්තිකයන් අතර දැනුම බෙදා දෙන එක ඒ අතර විය. ඒ බොහෝ දේ මම ඉටු කරගෙන ඇත්තෙමි. පුද්ගලික ජීවිතයේද මට උවමනා තරමට ජීවත් වෙන්නට ලොකු ගැටලුවක් නැත. රාජකාරි ජීවිතයේ වේවා පුද්ගලික ජීවිතයේ වේවා ඕනෑම දෙයකට උදව් කරන්නට වැඩ කරගන්නට මිනිස්සුද සිටිති. ඇති සැටියෙන් තෘප්තිමත් මනුස්සයෙකු ලෙස ජීවත් වන්නට පුරුදු වී ඇති නිසා පුද්ගලික අර්ථයෙන් බැලු විට මයිග්‍රේට් කරන්නට තරම් ලොකු අවුලක්ද නැත…
එහෙත්, මම ලංකාවේ පුරවැසියෙක්මි.

රට පැත්තෙන් බැලූ විට සෑහීමකට පත් වන්නට පුලුවන්ද? පැහැදිලිවම බැරිය. රටක් හැටියට අප අවසාන වතාවට ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් ලැබුවේ යුද්ධයේදීය. එතකොට හිටියේද මේ දේශපාලකයන්මය. නමුත් ඒ මොහොතේදී මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී තම පවුලේ නොවන, තම මිත්‍රයෙක් නොවන, තමන්ට ආම්බාං කරන්නට බැරි වුවද යුද්ධයට දක්ෂ ජනරාල් සරත් ෆොන්සේකා හට යුද්ධය මෙහෙයවීම පැවරීය. මම එයට යුද්ධයේ “මහින්ද සාධකය” යැයි කියමි. ජනරාල් සරත් ෆොන්සේකා සාම්ප්‍රදායික ධූරාවලිය පසෙක ලා යුද්ධයට දක්ෂ නිලධාරීන් තෝරාගෙන ඔවුන්ව මෙහෙයවා යුද්ධය තීරණාත්මක ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. මම එයට යුද්ධයේ “ෆොන්සේකා සාධකය” යැයි කියමි
නමුත් මේ ආදර්ශය එතැනින් කෙළවර විය…

රටේ ජයග්‍රහණද එතැනින් කෙළවර විය…
දේශපාලන ගැත්තන් කුමක් කීවද අප අන් කිසිම ක්ෂේත්‍රයක සමස්තයක් හැටියට ආඩම්බර වෙන තරම් ජයග්‍රහණ ලබා නැත. තැන තැන ඉන්නා හුදකලා මිනිසුන්ගේ කැපවීම නිසා ලැබුණු ජයග්‍රහණ වලට ගෞරවය පුදන ගමන්ම සමස්තයක් හැටියට ජයග්‍රහණ ලබා නැති බව අකමැත්තෙන් වුවත් පිළිගන්නට වෙයි. මෙයට වගකිව යුත්තේ කවුද?

අපේ රටේ දේශපාලකයා අසමත්ය. ඉදිරියට එන්නට ඉන්නා අය මේ අයටද වඩා අසමත් නොවන බවට කිසිම සාධකයක්ද නැත. අපේ දේශපාලකයා කවදාවත් තම පැළැන්තියෙන් පිට නිර්මාණශීලී තරුණ නායකයෙකුට ඉඩ දෙන්නේද නැත. නමුත් මේ අසමත් දේශපාලනයේම කන්නංගර වැනි අසමාන මිනිසුන්ට පිංසිදු වන්නට අපට බලා⁣පොරොත්තු දල්වා ගන්නට ‘නිදහස් අධ්‍යාපනය ‘ නම් ප්‍රබලතාව බිහි විය.

සංකල්පීයව ඒ මත ගොඩ නැගෙන්නට අවශ්‍ය නම් අපේ රටේ මේ ප්‍රබලතාව පමණක් ප්‍රමාණවත් විය යුතු නමුත් ඒ මත ගොඩනැගෙන අවසාන ප්‍රඩක්ට් එක හෙවත් නිදහස් අධ්‍යාපනයේ අග්‍රපලය වන රජයේ ඉහළ නිලධාරීන් සමත් විය යුතුය. නමුත් අපේ රටේ ඉහළ නිලධාරීන් සමත්ද? වැක්සීන ක්‍රියාවලියේ ඇති අවුල මේ නිලධාරීන් ගැන තේරුම් ගන්නට ප්‍රමාණවත් විය යුතුය. දේශපාලකයා සේම රට කරවන ඉහළ නිලධාරීන්ද අසමත්ය.

ආදරණීය මිත්‍රවරුනි, ඔබ පත් කර යවන දේශපාලකයාද ඔවුන් පත් කරන නිලධාරීන්ද අසමත් නම් රට සමත් වන්නට හේතුවක් නැත.

ඔබ ඔබගේ ක්ෂේත්‍ර ගැන සාධාරණව කල්පනා කර බලන්න. ඔබේ ක්ෂේත්‍රය භාර ඇමතිවරයා දක්ෂයෙක්ද? ඔහු සමඟ වැඩ කරන්නට සිටින ලේකම්වරයා දක්ෂයෙක්ද ? නිර්මාණශීලී කාර්යක්ෂම පුද්ගලයෙක්ද? ඔහු තමන් වෙනුවෙන් වැඩ කරගන්නට සිටින දක්ෂ කණිෂ්ඨ නිලධාරීන් තෝරා ගන්නේද?

හැම අමාත්‍යාංශයකම තැන තැන විසිරී හුදකලා දක්ෂයන්, නිර්මාණශීලී නිලධාරීන් සිටිනවාට සැක නැත. නමුත් ඔවුන්ට සමස්තය ඇතුළේ දෙයක් කරන්නට බලය හෝ අවස්ථාව නැත. අවාසනාවන්ත ඇත්ත ඕකය…
දක්ෂ නිර්මාණශීලී අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරන්නට ජනපතිවරයාට නොහැකි නම් යුද්ධයේ “මහින්ද සාධකය” එතැනින්ම හුටස්ය. තෝරාගත් ලේකම්වරයාට දක්ෂ නිලධාරීන් තෝරාගෙන නිර්මාණශීලීව වැඩ කරන්නට බැරි නම් යුද්ධයේ “ෆොන්සේකා සාධකය” ද හුටස්ය. මේ සාධක දෙකම නැති කල රටම හුටස්ය.

රටට ඇත්ත ජයග්‍රහණ ලැබෙන්නේ නැති රහස ඔන්න ඕකය…
ඇත්ත ජයග්‍රහණ ලැබෙන විට අමුතු “මාකටින් කැම්පේන්” ඕනෑ නැත. රට දිනන විට නායක⁣යාද දිනන්නේය. රට ⁣අසමත් වන විට නායකයාද අසමත් වන්නේය. දැං වෙලා තියෙන වින්නැහිය ඕකය…

රට දිනන්නට නම් “මහින්ද සාධකය” ඇති දේශපාලන නායකයන් කිහිප දෙනෙක් හා “ෆොන්සේකා සාධකය” ඇති නිලධාරීන් කිහිප දෙනෙකි හොයා ගන්නට වෙනවාට සැක නැත…
එහෙම හොයා නොගතහොත් රටට දෙයක් කරන්නට අසාමාන්‍ය ඇම්මක් ඇති කිහිප දෙනා හැරෙන්නට හැකියාවක් ඇති අන් බොහෝ අය “ලංකාවෙන් යන්න කාලෙ හරි ” කියනවාට සැක නැත…

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published.