COLUMN Opinion

ලංකාවේ ගඳ සුවඳ දෙකම පිළිගනිමු : දෙවන කොටස

Summary

ඛේමර් අධිරාජ්‍යය , ශ්‍රී විජය අධිරාජ්‍යය වැනි පෙරදිග බලවත් අධිරාජ්‍ය ඉන්දියන් සාගරයේ වෙළඳාමේ සක්‍රීය වන විට ඊට අනුරූපීව ලාංකීය අභ්‍යන්තර දේශපාලන ගතිකයන් වෙනස් වුයේ කෙසේද යන්නත් දීර්ඝව අධ්‍යනය කල යුතුය. අනුරාධපුරයේ සිට පොළොන්නරුවට රාජධානි මාරු වූයේ හුදෙක්ම දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා පමණක් නොව පෙරදිගත් මධ්‍ය ධරණී කලාපයත් අතර සිදු වෙමින් පැවති මුහුදු මාර්ග වෙළඳාමේ ලංකාව ඉටු කල අතරමැදි භූමිකාව වෙනස් වූද නිසාය.

Sril anka elephant
Criminal punishment in Ceylon. 1834 illustration of an elephant standing on a man’s groin as a form of punishment in Ceylon (now Sri Lanka).

නීතියේ ආධිපත්‍යය ගැන උනන්දු වන විකල්ප ඉතා කඨෝර ලෙසත් ගොරහැඩි ලෙසත් ලංකා භූමියට ආගන්තුකය, ජන විකර්ශක ය. නීති තර්ක වලින් සියල්ල කල හැකි යයි සිතීම එක්තරා ලෙසකින් මුග්ධ කමකි, අනෙක් අතින් උද්දච්ච කමකි. මේ ඇතැමුන් සිතා සිතා සිටින්නේ රටක දේශපාලන ව්‍යාපාරයක් යනු සම්පූර්ණ වශයෙන්ම නීති තර්ක සහ නීති ක්‍රියාවලීන් වලින් පමණක් සමන්විත වන දෙයක් ලෙසය. උසාවි වලදී නීතීඥයන් තර්ක කරන ආකාරයෙන් සංස්කෘතික හා සමාජීය කාරනා වලදී තර්ක කිරීම මොන තරම් මුග්ධ වැඩක්ද යන්න මේ අයගේ සාකච්ඡා නැරඹීමෙන් අවබෝධ කරගත හැක.

අලුතෙන් මතුව ආ පරිසර දේශපාලන විකල්ප බොහොමයක් තිබෙන්නේ ඊටත් වඩා විහිලු සහගත තැන් වලය. කිසිදු සාධනීය අදහසක් සංයුක්ත ලෙසත් අනාගතවාදී ලෙසත් ප්‍රක්ෂේපණය කරගත නොහැකි ඒ බලවේග නිකම්ම නිකං විදුලි බුබුලු වැනි හිස් වචන වලින් සහ වර්ණවත් පසුබිම් වලින් තම මාධ්‍ය අවකාශ පුරවමින් සිටිති. නැවුම් දැනුමේත් තත්කාලීන සංවාද විෂයෙහිලාත් පවතින මේ හිස් කම ඔවුන් වසා ගන්නට යත්න දරන්නේ ආචීර්ණ කල්පික “ලංකා ස්වෝත්තමවාදී ” අදහස් වලිනි. මොවුන් තවමත් කියමින් සිටින්නේ ලංකාව ඉතාම සුන්දර, ස්වාභාවික සම්පත් වලින් අනූන වාසනාවන්ත දිවයිනක් බවත් ලංකාවේ පිහිටීම අති විශාල ආර්ථික විභවයක් සහිත බවත්ය. මේ එකක්වත් සම්පූර්ණ මුසාවන් නොවුනත් තව දුරටත් සරලව කිව හැකි සත්‍යයන් ද නොවේ. විකිණීමෙන් හෝ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමෙන් යම් සීමිත ධනයක් උපයාගත හැකි සම්පත් ස්වල්පයක් මිස ලෝක වෙළඳ පලට දැනෙන තරමේ කිසිදු බලපෑමක් කල හැකි ස්වභාවික සම්පතක් ලංකාව සතුව නැත. ගල් අඟුරු නැත, ඛණිජ තෙල් නැත, ස්වාභාවික වායූන් නැත, රත්තරන් නැත, විශාල ඛනිජ නිධි හෝ ලෝහ නිධි නැත, රත්තරන් නැත. මෙවැනි මහා සම්පත් ලංකාවේ ඇතැයි පට්ටපල් මුසාවන් තරුණයන්ට නැවත නැවතත් කීමෙන් සිදු වන්නේ කිසිදා සිදු නොවන මනෝරාජික දෙයක් පිලිබඳ ඔවුන් බොරු බලාපොරොත්තු ඇති කරගැනීමත්, ඉන් පසුව ඒවායින්ම අපේක්ෂා භංගත්වයට පත් වීමත්ය.

ලංකාවේ සුවිශේෂී පිහිටීම පිලිබඳ තිබෙන අතිශෝක්තිසහගත මුසාවද මෙවැනිම එකකි. ලංකාව ඉන්දියන් සාගරයේ ඉතා උනන්දු සහගත ස්ථානයක පිහිටා තිබෙන බවද අපේ සමස්ථ ඉතිහාසයම මේ ” පිහිටීමේ පර්යාවලොකනයෙන්” කියවා ගත හැකි බවද සත්‍යයකි. නමුත් එසේ වන්නේ ඇයිද යන්නත්, පිහිටීමට අනුබද්ධ වූ අනෙකුත් සාධක වල සම්ප්‍රයුක්ත බලපෑම මත රටේ දේශපාලනය සහ සමාජ බලවේග පරිණාමය වුයේ කෙසේද යන්නත් පිලිබඳ විචාරාත්මක අදහසක් ඇති කරගැනීමෙන් විනා “අප ඉතා සුවිශේෂී තැනක පිහිටා ඇත්තෙමු එනිසා මුළු ලෝකයම කුමන්ත්‍රණ කරන්නේ අපව යටත් කරගන්නටය” වැනි මෝඩ අදහස් ජනනය කිරීමෙන් සිදු වන සෙතක් නැත. මට මෙසේ කියන්න සිතුනේ පසුගිය දවසක දුටු තරුණ හරිත දේශපාලඥයකුගේ අදහස් දැක්වීමක් නැරඹීමෙනි. ඔහු අර්ථ ශූන්‍ය වචන බර ගණනක් පුරුද්දා කියන්නට උත්සාහ කරන්නේ චීනය මෙහි පැමිණ ඇත්තේ කෙදිනක හෝ ලංකාවම මිලදී ගැනීමට බවය. එය එසේ වන්නේ කෙසේද යන්නත්, මේ මොහොතේ කල යුත්තේ කුමක්ද යන්න පිළිබඳව වත් ඔහුගේ ආඛ්‍යානය තුල කිසිවක් අඩංගු නැත. ලංකාවේ පිහිටීම ඉන්දියාවටත්, ඇමෙරිකාවටත්, චීනයටත් උපායමාර්ගික ලෙස වැදගත් බව සැබෑය. නමුත් එතැන ඇත්තේ ආර්ථික විභාවයකට වඩා මේ රටවල් එකිනෙකා තරඟ කිරීමෙන් අප මත පැටවෙන අනවශ්‍ය පීඩනයකි.

චීන රාජ්‍යයන් පමණක් නොව සමස්ථ අග්නි දිග කලාපයේම තිබුණු අතීත රාජ්‍යයන් ලංකාවත් සමග දේශපාලන සහ ආගමික ගනුදෙනු සිදු කලේ අද ඊයෙක සිට නොවේ. අතීත බුරුම රාජ්‍යයන්ගේත්, අතීත තායි රාජ්‍යයන්ගේත්, අතීත ඛේමර් සහ ලාඕ පළාත් වලත්, දකුණු වියට්නාම් මීකොං ඩෙල්ටා ප්‍රදේශ වලත් , චීනයේ යුනාන් පළාතේත් ථෙරවාදී බුදු දහම ස්ථාපනය කලේ සිංහල භික්ෂූන් වහන්සේ බව මේ සියලු දේශයන්හි ඉතිහාස වියතුන් මෙන්ම සාම්ප්‍රදායික ජන විශ්වාසයද අදටත් පිළිගනිති. මේ සම්බන්ධ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි දහස් ගණනකි. පැරණි සහ අලුත් පොත් පත් සිය ගණනකි. ලංකාවත් අග්නිදිග ආසියාවත් අතර පැවති බෞද්ධ සම්බන්ධකම් පිලිබඳ හැදෑරීම පැතිරුණු විෂය පරාසයකි.

ඇතැම් අවස්ථා වලදී මේ ගනුදෙනු රටේ අභ්‍යන්තර බල පෙරලි වලට පවා තුඩු දී තිබේ. අතීත ලාංකිකයා විදේශයන්ට බියේ මුළු ගැන්වී සිටි පිරිසක් නොව, ඉතා සක්‍රීය ලෙස විදේශයන් සමග වෙළඳ මෙන්ම සංස්කෘතික ගනුදෙනු වල යෙදුනු පිරිසකි. සිංහලයාගේ භෞතික ශරීර වලින් මෙන්ම රටේ සංස්කෘතික භූමි දර්ශණයේ සෑම බිම් අඟලකින්ම විදහා දැක්වෙන්නේ මේ “පිටතට හැරුණු ” ස්වභාවයේ රමණීය ලක්ෂණයන්ය. රටේ අධිපති ආගමික සංස්ථාව ථෙරවාදය වන විට මහායානික සහ වජ්‍රයානික මධ්‍යස්ථාන අනුරාධපුර යුගය තුල පාලකයන් විසින් ස්ථාපනය කරවුයේ අහඹු සිතුවිල්ලකින් නොව මෙකී සංස්කෘතික සහ වෙළඳ ගනුදෙනු වලට ආගමික අර්ථයකින් පෙර සවි භාවයක් ලබා දීමටය. රාජ්‍ය ගොඩනැගීමට සහ ආගමික අවනත භාවයන් තිබුණු රටවල් සමග ගනුදෙනු කිරීමට ථෙරවාදයත් , එසේ නොවන තැන් වලදී මහායානයත් යොදා ගැනීමට අතීත රජදරුවන් ප්‍රයෝගිකවාදී වූ බව පැහැදිලිය.

ඛේමර් අධිරාජ්‍යය , ශ්‍රී විජය අධිරාජ්‍යය වැනි පෙරදිග බලවත් අධිරාජ්‍ය ඉන්දියන් සාගරයේ වෙළඳාමේ සක්‍රීය වන විට ඊට අනුරූපීව ලාංකීය අභ්‍යන්තර දේශපාලන ගතිකයන් වෙනස් වුයේ කෙසේද යන්නත් දීර්ඝව අධ්‍යනය කල යුතුය. අනුරාධපුරයේ සිට පොළොන්නරුවට රාජධානි මාරු වූයේ හුදෙක්ම දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා පමණක් නොව පෙරදිගත් මධ්‍ය ධරණී කලාපයත් අතර සිදු වෙමින් පැවති මුහුදු මාර්ග වෙළඳාමේ ලංකාව ඉටු කල අතරමැදි භූමිකාව වෙනස් වූද නිසාය. මාන්තොටත් , යාපා පටුනත්, ගෝකන්න තිත්තයත් සක්‍රීයව තිබෙන තාක් කල් මේ තැන් තුනෙහි නාභිගත ප්‍රදේශය ලෙස අනුරාධපුරය වඩාත් ප්‍රථිඵලදායක වූ අතර මේ වරාය ත්‍රිත්වයෙන් මාන්තොට , විවිධ හේතූන් නිසා අවලංගු වූ කල අලුතෙන් වැදගත් වුයේ පොළොන්නරුවයි. එක් ආක්‍රමණික ශ්‍රිතයකින් පසුව රාජධානිය අනුරාධපුරයෙන් පොළොන්නරුවට එන්නේ මේ සියලු කරුණු වල සම්ප්‍රයුක්තයක් ලෙසය. ජාවා දූපත් වල බොරෝ බදූර් සහ රෝටෝබකුන් විහාර අනුරපුර අභයගිරියේ ශාඛාවන් ලෙස හෝ එයත් සමග දැඩි සම්බන්ධකම් පැවැත්වූ මධ්‍යස්ථාන ලෙස ඉදි වන්නේ මේ වෙළඳ යතාර්ථයන් ද සමග බව කිව යුතුය.ඇතැම් අවස්ථා වලදී නැගෙනහිර වෙරළෙන් මහායානික රටවලට පිටත් කොට යැවූ වෙළඳ නෞකා වල ප්‍රධානියා ලෙස අභයගිරි වාසි භික්ෂූන් වහන්සේ පත් කොට යැවූ බව මා අසා තිබේ.

දිනෙත් මල්ලිකාරච්චි

Leave a Reply

Your email address will not be published.