COLUMN Opinion

ලංකාවේ ගඳ සුවඳ දෙකම පිළිගනිමු : පළමු කොටස

Summary

ලෝකය සම්බන්ධ බොහෝ සත්‍යයන් ඇත්තේ මැද තැන් වලය. මැද තැන් උද්වේගකර නැත. භාවාතීෂමය නැත. හැඟීම් දනවන සුළු නැත. එනිසාම ඒවා අන්තයන් තරම් ආස්වාදජනක හෝ ආකර්ශනීයද නැත.

ලංකාව පිලිබඳ අන්තවාදී මිත්‍යාවන් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් ලංකාව ලෝකයේ උතුම්ම රට යයි කියවෙන මිථ්‍යාවය. දෙවැන්න මෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධය , එනම් ලංකාව ලෝකයේ නොවටිනාම අවුල්ම රට යයි කියැවෙන මිථ්‍යාවය. මේ දෙකම මුසාවන්ය. සත්‍යය ඇත්තේ මේ දෙක අතරතුර තැනකය. මින් පළමු වැන්න විශ්වාස කරන්නන් ලංකා ස්වෝත්තමවාදීන් ලෙසද දෙවැන්න විශ්වාස කරන්නන් හිපි අරාජිකවාදීන් ලෙසද පහසුව සඳහා හඳුන්වමු. මේ දෙපදයම තියුණු ලෙස ගතහොත් නිවැරදි පද නොවේ.

ලෝකය සම්බන්ධ බොහෝ සත්‍යයන් ඇත්තේ මැද තැන් වලය. මැද තැන් උද්වේගකර නැත. භාවාතීෂමය නැත. හැඟීම් දනවන සුළු නැත. එනිසාම ඒවා අන්තයන් තරම් ආස්වාදජනක හෝ ආකර්ශනීයද නැත.

විද්‍යාව පිලිබඳ අවංක ඥාණවිභාගාත්මක අධ්‍යනයක් කරනු වෙනුවට “ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්” යයි කී විට බොහෝ දෙනාට එය ආකර්ශනීය වන්නේ එහෙයිනි. ලෝකයේ හට ගත් ශිෂ්ඨාචාර සහ රාජ්‍යයන් පිලිබඳ තුලනාත්මක අධ්‍යනයක් කරනු වෙනුවට ඊජිප්තුවේ පිරමීඩ සෑදුවේ රාවණා යයි කී විටද, සිදුහත් කුමරුන් එතෙර වූ නේරංජනාව තිබෙන්නේ මනම්පිටියේ යයි කී විටද ඒ වටා ප්‍රක්ෂකාගාරයක් ගොඩනැගෙන්නේ මෙනිසාය.

කෙසේ නමුත් අන්තයන් පෝෂණය කරමින් රටකට සැබෑ ලෙස ඉදිරියට යාමට නොහැකිය. රටක් , ජනප්‍රජාවක් සැබෑ ලෙසත්, තිරසාර ලෙසත් ඉදිරියට තල්ලු කල හැක්කේ සත්‍යයට පමණි. සත්‍යය පවතින්නේ මැද මිස අන්ත වල නොවේ.

ලංකාවේ ශ්‍රේෂ්ඨත්වය අතිශෝක්තියට නංවන මිථ්‍යාවෙන් රටට සිදු වී ඇති සෙතක් නැත. එක් අතකින් මේ මිථ්‍යාව දේශපාලනික රසකාරක සමග පියවරක් ඉදිරියට දියුණු කිරීමෙන් විශාල ජන සමූහයක් අමු අමුවේ රැවටීම පිණිස භාවිතා වෙමින් තිබෙන අතර අනෙක් අතින් මේ මනෝභාවය විසින් රටේ පවතින ඇත්ත ප්‍රශ්න හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම වළකාලමින් තිබේ.

මෙහිම අනෙක් පස වූ ලංකාව සහමුලින්ම පිරිහෙලීමේ මිථ්‍යාව විසින් සිදු කරන්නේ සම්පූර්ණ අරාජිකත්වයක් යෝජනා කිරීමය. මේ අරාජිකවාදීන්ට අනුව ලාංකිකයන් ලෝකයේ වෙසෙන අන්තිම තුන් වැනි පංතියේ වැසියෝ වෙති. අවුරුදු දෙදහසක් පමණ තිස්සේ මෙහි වාසය කොට ඇත්තේද ඊට නොදෙවැනි ලුම්පන් මුතුන් මිත්තන් පිරිසකි. මොවුනට අනුව අතීත රජවරුන් බලය සඳහා තම සහෝදරයන් සමග යුධ කිරීම, ඔවුන් බුක්ති විඳි අසීමිත බලය යනාදිය මනුෂ්‍ය ඉතිහාසය හා මානව වර්ගය සම්බන්ධ ඉතාම සාමාන්‍ය සත්‍යයන් නොව ලංකාවටම විශේෂ වූ ඍනාත්මක ලක්ෂණය. මේ දෙවන කොටසට අයත් අයවලුන් පළමු කොටසට අයත් අයට ලිං ගෙම්බන් වැනි ගර්භිත පද වලින් කෙතරම් පරිභව කලද ඔවුන්ගේ භාවිතය අයත් වන්නේත් කරුණු තරමක් විදග්ධ ලෙස අගතීන්ගෙන් තොරව කියවාගත හැකි කාණ්ඩයකට නොව සහමුලින්ම මතුපිට කියවීම් මගින් අවබෝධය අවුල් සහගත වූ කාණ්ඩයකටය.

මෙවැනි එක් පුද්ගලයකු වරක් මට චෝදනා කලේ මා නිරන්තරයෙන් භාවිතා කරන “සිංහල ථෙරවාදය ” යන පදය අතිශයින් ජාතිවාදී නොමග යවන සුළු පදයක් බවත්, බුදු හාමුදුරුවන් ජාතියකට හෝ ජනවර්ගයකට සීමා නොවුන් උතුමකු බවත්ය. බුදු හාමුදුරුවන් ජාතියකට හෝ ජනවර්ගයකට අයත් නැති බව සැබෑ බවත්, මා සිංහල ථෙරවාදය යයි කියන විට එයින් අදහස් වන්නේ කිසිසේත්ම එවැන්නක් නොවන බවත්, එයින් හැඳින්වෙන්නේ අතීත ලංකාවේ සිංහල යයි හඳුනාගත හැකි ජනකණ්ඩායම විසින් සංස්කෘතික හැඩතල සකස් කල ථෙරවාදී සසුන බවත්, මෙම යෙදුම මගේ නිර්මාණයක් නොව පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ ලාංකීය ශාසනික ඉතිහාසය අධ්‍යනය කල පෙරපර දෙදිග විද්‍යාර්තීන් විසින් නිර්මාණය කල පදයක් බවත් මා ඔහුට අවබෝධ කරවීමට උත්සාහ කලද එයින් පලක් නොවිණි. ග්‍රීසියත් මැඩගස්කරයත් ඊජිප්තුවත් පැවතියේ රාවණාගේ පාලන බලය යටතේ යයි විශ්වාස කරන ග්‍රාමීය සිංහල ජාතිකවාදියකුට එම අදහස් වල තිබෙන බොළඳ බවත් සකල ලෝක වර්ගයා සිනහගන්වන සුළු බවත් අවබෝධ කරවීම තරම්ම නිරර්ථක උත්සාහයකි මෙන්න මේ දෙවැනි වර්ගය සමග යමක් කතා කොට විසඳීමට සිතීමත්.

අපට කුඩා කල සිට සාමාන්‍යයෙන් උගන්වා ඇත්තේ ලංකා ස්වෝත්තමවාදය උසි ගැන්වෙන කරුණුය. ලංකාව ඉතා රමණීය දිවයිනක් බවද, ස්වාභාවික සම්පත් වලින් අනූන වාසනාවන්ත දිවයිනක් බවද, ලංකාවේ ඉතිහාසය ලොව අන් කිසිදු රටක ඉතිහාසයකට නොදෙවැනි බවද , මේ වන විට වියැකී ගියාට ඉතා ශ්‍රේෂ්ඨ ඥානයක් සහ ශිල්පීය හැකියාවක් අප සතු වූ බවද අපට උගන්වා තිබේ. මෙවැනි ස්වරයකින් දරුවන්ට උගැන්වීම අමුතු කාරණයක් නොව ලොව බොහෝ තැන් වල පසුගිය සියවසේ සිදු වූ දෙයකි. තමන් උපන් භූමිය සමග අතාර්කික ප්‍රේමයකින් නොබැඳෙන ජන සමූහයක් මෙලොව නැත. මෙකී ” භූමි අනුබද්ධ ” ලබැඳියාව අතිශයින්ම ස්වාභාවික, අතිශයින්ම මානවීය මනෝභාවයක් වේ. රාජ්‍යක් තනි ඒකකයක් ලෙස ශක්තිමත්ව සංවිධානය කිරීමට අවශ්‍ය වන මූල ධාතුව පවතින්නේද මෙකී භූමි අනුබද්ධ සිතුවිල්ල තුලය. රටක අධ්‍යාපනය සකස් විය යුත්තේ මේ භූමි අනුබද්ධ සිතුවිල්ල යම් විදග්ධ ආකෘතියකින් දරුවන් තුලට කාන්දු කරන අතර තුරදීම භූමියෙන් පිටතට හැරුණු මනසක් ඔහු තුල වර්ධනය කිරීම පිණිසය. දරුවාගේ පරිකල්පනය ඔහු උපන් භූමියට සීමා විය යුතු නැත.

ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු සියල්ල කොතෙක් ජරාජීර්ණ වී තිබුනද , මෑත කාලීනව මතුව ආ ” විකල්ප” සියල්ල ඒවාටත් වඩා දුර්වල ලඳ බොළඳ තත්වයක තිබෙන බව මගේ හැඟීමයි. මීට අවුරුදු විස්සකට විසි පහකට පෙරත් ලාංකිකයා සිටියේ විකල්ප සොයමිනි. නමුත් එකල තිබූ සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය, අනූ හතරෙන් පසු අලුතෙන් සකස් වූ ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණට එකතු වීමට පෙර තිබූ මහජන එක්සත් පෙරමුණ පමණක් නොව හරිස්චන්ද්‍ර විජයතුංග මහතාගේ භූමි පුත්‍ර පක්ෂය පවා මීට වඩා විශ්වසනීය සහ බලාපොරොත්තු දල්වන සුළු විය. ජනතා විමුක්ති පෙරමුණ බලය පිලිබඳ බරපතල ප්‍රාර්ථනාවක් නැති සැහැල්ලු ධනපති සංවිධානයක් වී ඇති අතර අනෙක් බලවේග සියල්ල විවිධ කොටස් වලට බෙදී ප්‍රධාන පක්ෂ වලට අවශෝෂනය වී තිබේ. මේ අවකාශය පිරවීමට බිහි වී තිබෙන සියලු කණ්ඩායම් තවමත් පවතින්නේ ගිවන්ත අර්ථසාත් මහතාගේ දුටුගැමුණු කාටූනයේ තත්වය වැනි තත්වයකය. කියන්නට හදන කතාව මොන තරම් බැරෑරුම් වුවද කථනය දුටු විගස සිනා පහල වේ

(ඉතා ඈත යුගයක අලුත් වැඩ කල, ඒ මහතාට මගේ ශීර්ෂ ප්‍රණාමය).

දිනෙත් මල්ලිකාරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *