COLUMN

ලංකාවේ ගඳ සුවඳ දෙකම හඳුනා ගනිමු : තුන් වන කොටස

Summary

ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය යයි විරුදාවලි ලැබුවේ මහා ධාන්‍ය කන්දරාවක් මේ රට තුල නිෂ්පාදනය කල නිසාම නොව, අතීත බුරුමයේ අරකන් ප්‍රදේශ ඇතුළුව වී ගොවිතැනින් සක්‍රීය වුනු අග්නිදිග ආසියානු පළාත් වල සහල් ප්‍රති නැව්ගත කිරීම පිණිස ඉතාම සුදුසු පහසුකම් ලංකාවේ තිබුණු ද නිසාය. මේ අනුව ඒ විරුදාවලියෙන් වැඩිමනත් කියවෙන්නේ රට අභ්‍යන්තරයේ ගොවි තැනේ සමත්කමටත් වඩා රට වටා පවුරු ලා තිබුණු අපේ වෙළඳ සමත්කම පිලිබඳ කතාන්දරයකි.

ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය යයි විරුදාවලි ලැබුවේ මහා ධාන්‍ය කන්දරාවක් මේ රට තුල නිෂ්පාදනය කල නිසාම නොව, අතීත බුරුමයේ අරකන් ප්‍රදේශ ඇතුළුව වී ගොවිතැනින් සක්‍රීය වුනු අග්නිදිග ආසියානු පළාත් වල සහල් ප්‍රති නැව්ගත කිරීම පිණිස ඉතාම සුදුසු පහසුකම් ලංකාවේ තිබුණු ද නිසාය. මේ අනුව ඒ විරුදාවලියෙන් වැඩිමනත් කියවෙන්නේ රට අභ්‍යන්තරයේ ගොවි තැනේ සමත්කමටත් වඩා රට වටා පවුරු ලා තිබුණු අපේ වෙළඳ සමත්කම පිලිබඳ කතාන්දරයකි. රට අභ්‍යන්තරයේ විශිෂ්ඨ වාරි කර්මාන්ත සමූහයක් තිබුණු බවද සැලකිය යුතු මට්ටමේ වී නිෂ්පාදනයක් සිදු වූ බවද ඇත්තක් වන නමුත් ඊට පරිබාහිර යතාර්ථයන්ද තිබුණු බව අමතක නොකළ යුතුය.

ලංකාව ඉන්දියන් සාගරයේ වැදගත් තැනක පිහිටන්නේ යයි අපට කිව හැක්කේ මේ සියලු කාරණා (සහ මෙහි නොකියවුණු තවත් අටෝ රාශියක් දේවල්) සැලකිල්ලට ගැනීමෙනි. එකල බලාත්මකව පැවති සියලු කොන්දේසි ඒ අයුරින්ම අද බලාත්මකව නැත. සුළං බලයෙන් සහ දියවැල් වලින් යාත්‍රා කෙරුණු නාවුකා මගින් පමණක් මුහුදු තරණය කල එකලත් , ෆොසිල ඉන්ධන වලින් දියත් වන නවීන යාත්‍රා සහ ගුවන් ගමන් යනුවෙන් වන නවතම මාධ්‍යයක් අධි සක්‍රීයව තිබෙන මෙකලත් අතර තිබෙන්නේ සුවිශාල වෙනසකි. මේ වෙනසට අනුකූලව ඉන්දියන් සාගරය තුල අපට තිබෙන වැදගත්කම කෙරෙහි බලපාන කොන්දේසිද වෙනස් වී තිබේ. මේ සියල්ල පිරික්සීමෙන් පසුව අප තේරුම් ගත යුත්තේ ලංකාවට සෑම කල්හිම වැදගත් කමක් ලැබී තිබෙන්නේ මේ හිස් හරිත චරිත කියන්නාක් මෙන් රට තුල තිබුණු මහානර්ඝ භෞතික සම්පතක් නිසා නොව ලාංකිකයා නමැති මානව සම්පත නිසා බවය. මේ පොලොව තුල උත්පාදනය වුනු සිංහල ථෙරවාදයත් , අවට බලවේග කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් රජදරුවන් දැක්වූ බුහුටි කමත් අප සතු වූ බලවත්ම උපකරණ ද්වය වුනු බව මගේ හැඟීමයි. මේ දෙකම මානවීය නිෂ්පාදන මිස ස්වභාව ධර්මයේ තිලිණ නොවේ.

මා ඉහතදී සඳහන් කල අනූව දශකය හා දෙදාහ දශකය මුල කාල වලදී හටගත් පරිසර සංවාද වල සැලකිය යුතු තරමේ ශාස්ත්‍රීය ගැඹුරක් තිබිණ. එකල තරුණ පරිසර ක්‍රියාකාරීන් අදට සාපේක්ෂව වැඩි වශයෙන් හැදෑරීම් වලට පෙළඹුණු අතර ඔවුන් ප්‍රායෝගිකව සිදු කල ක්‍රියාකාරකම් බොහෝ විට ඔවුන්ගේ දැක්මේ ප්‍රතිබිම්බයන් විය. මේ පැරණි සම්ප්‍රදායට අයත් යම් විශාල පිරිසක්ද තවමත් ඔවුන්ගේ අදහස් සමාජගත කරමින් මෙන්ම රටේ ප්‍රමුඛ ප්‍රශ්න වලදී ඉදිරිය ගනිමින්ද සිටින අතර මේ කියන කාලයෙන් පසු බිහි වූ සුළු පිරිසක්ද මේ සම්ප්‍රදායට අනුගත වී සිටිනු දක්නට ලැබේ. නමුත් බහුතරයකගේ අනුහසින්, පරිසරය පිලිබඳ සංවාදය අන්තිම විහිලු සහගත තැනකට විතැන් වී තිබේ. ඇතැමෙකුට පරිසර සංරක්ෂණය යනු සත්ත්ව සුභ සාධනය වන විට තවත් ඇතැමෙකුට ඒ පාර දෙපස ගස් සිටුවීම හෝ තැනින් තැන ඇති කුණු කසල ඉවත් කිරීමයි. සත්ත්ව සුභ සාධනය මෙන්ම අනෙක් ක්‍රියාකාරකම්ද ඉතා යහපත් වෙතත් පරිසරය පිලිබඳ සාකච්ඡාව එතනින් නිමා කිරීම හෝ පරිසර සංරක්ෂණය යනු මෙවැනි දේ පමණක් යයි සිතීම ඛේදවාචකයකි. මා මේ සිදු කරන්නේ චෝදනාවක් නොව නිරීක්ෂණයක් බවද සිහි කල යුතුය . යම් හෙයකින් මෙය චෝදනාවක් වන්නේ නම්, එහිදී චූදිතයා වන්නේද මමය. මා සිතනා ආකාරයේ පරිසර ව්‍යාපාරයක් අලුතෙන් බිහි වී ඉහත දැක්වුණු ක්‍රියාකාරකම් අභිබවා යා යුතු නම් මා වහාම එවැන්නක් කල යුතුය. නමුත් මා සිදු කරමින් ඉන්නේ පුටුවක හාන්සි වී ඒ පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කිරීමය. එනිසා මා අර්බුදයේම කොටසක් බවත් එහි ප්‍රකාශකයකු බවත් තේරුම් ගත යුතුය. කෙසේ නමුත් මේ සියලු තත්ත්ව යටතේ වුවද මට විවේචනයක් කල හැකිය.

මේ ලිපියට නිශ්චිත අරමුණක් හෝ කලින් සැලසුම් කරන ලද පිළිවෙලක් තිබුනේ නැත. මට අවශ්‍ය වූයේ කාරණා කීපයක් ගැන කතා කිරීමටය. පළමුව ලංකා ස්වෝත්තමවාදය (එනමින් මේ ලිපිය තුල එනමින් හඳුන්වන්නට යෙදුනු යම් ප්‍රපංචය) හා හිපි අරාජිකවාදය කෙතරම් මුග්ධ මතවාදී ප්‍රකාශනයන්ද යන්නය. ඉනුත් පළමු කාණ්ඩයට අයත් ඇතැම් හැසිරීම් විස්තර කිරීමට මේ ලිපියේ යම් සැලකිය යුතු ඉඩක් වෙන් විය. විශේෂයෙන්ම තත්කාලීන දේශපාලන අවකාශය තුල මතුව තිබෙන විකල්ප යයි කිව හැකි බලවේග(විශේෂයෙන්ම පාරිසරික දේශපාලන බලවේග බහුතරයක් ) මොන තරම් බොළඳ අන්දමට ලංකා ස්වෝත්තමවාදයට හසු වී තිබෙන්නේද යන්න පැහැදිලි කිරීමට මා යත්න දැරුවෙමි. අවසාන වශයෙන්, බොහෝ සෙයින් විසිරුණු , යම් නිශ්චිත ඉලක්කයක් නැතැයි සිතෙන සුළු මේ ලිපිය ලිවීමට මා පෙලඹවූ සාධකය ගැන කිව යුතුය. එය නම් ලංකා ස්වොත්තමවාදීන් , ග්‍රාමීය ජාතිකවාදීන් සහ හිස් හරිතවාදීන් ලංකාවේ පිහිටීම ගැනත් ස්වාභාවික සම්පත් ගැනත් පට්ටපල් මුසාවාද සහ අර්ධ සත්‍ය වපුරුවමින් සිටියදී රටට අහිමි වන ඇත්ත සම්පතක් පෙන්වා දීමය. මේ ලිපියේ ඉහතදී පේනවා දුන් ලෙස ලංකාවට සැමදාම තිබුනේ ප්‍රධාන වශයෙන්ම මානව සම්පතය. අපට තිබෙන්නා වූ සම්පත් වලට ප්‍රාමානිකව ලකුණු දමාගෙන ගියහොත් මේ මොහොතේ වුවද රට තිබෙන ලොකුම සම්පත මානව සම්පත යයි කිව හැක. නමුත් ලංකාවේ සමාජ බලවේග වල අඩුම අවධානය ඇත්තේත් මානව සම්පත කෙරෙහිය. ලංකාවේ සියලු ක්ෂේත්‍ර වල හොඳම පිරිස අධි වේගයෙන් යුක්තව රට හැර යාම ගැන කවුරුත් කතා කරන්නේ නැත. ලංකාවේ තඹ නිධියක්, ෆොස්ෆෙට් නිධියක් හෝ වරායක් පිටරකට දුනහොත් නැගෙන අවධානය අපේ මිනිසුන් රටට අහිමි වීම සම්බන්ධයෙන් නැගෙන්නේ නැත. නැති දේ ගැන බොරු පුරසාරම් දොඩන්නාට ඇත්තටම ඇති දේ අහිමි වෙයි. ලංකාවට සිදු වෙමින් තිබෙන්නේ එයයි. චීන කොලනි ගැනද, ඇමෙරිකන් කුමන්ත්‍රණ ගැනද ලෙව කන්නටත් මදි තරමේ ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් ගැනද හිස් වචන කියමින් සිටින කල මේ රට එක අඩියක්වත් ඉදිරියට ඇදෙන්නේ නැත. රටේ ආර්ථිකය ප්‍රසාරණය වන්නේ නැත. ධනය ඒකරාශී වන්නේ නැත. ඊට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදයද, නීතියේ ආධිපත්‍යයද , අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි උසස් මානව පැවැත්මකට අවශ්‍ය අංගෝපාංග ද විඛාදනය වෙයි. මේ සියල්ලේ සම්ප්‍රයුක්තය නම් යමක් කමක් කරගැනීමට හැකි සියලු දෙනාට රට එපා වීමයි. එළඹෙන වකවානුව තුලදී සිදු වන මහා සංක්‍රමණයක සලකුණු දැනටමත් පහල වී තිබේ.

දිනෙත් මල්ලිකාරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *