Opinion

ලංකාව පොඩිද ලොකුද?

Summary

ලංකාවෙ ලොකුම සම්පත මේ එකක්වත් නෙවෙයි ලංකාවෙ මානව සම්පත. සිංහල භාෂාව අපි නොදන්නව උනාට ලෝකෙ සැලකිය යුතු භාෂාවක්. ඒක ලංකාවෙ මානවීය නිෂ්පාදනයක්. ලංකාව පොලොන්නරු යුගයෙන් පස්සෙ නැගෙනහිර ආසියාවට දැනෙන සුලු සංස්කෘතික බලපෑමක් කරල තියෙනවා ථෙරවාදී බුදු දහම අනුසාරයෙන්. සිංහල ථෙරවාදය කියන්නෙ ලංකාවෙ මානවයගෙ නිෂ්පාදනයක්.

  • Save

ලංකාව ලොකු රටක්ද පොඩි රටක්ද කියන එක මට කවදාවත් හිතා ගන්න අමාරු කරුණක්.

ලංකාවට ප්‍රමාණයෙන් ලඟ රටක මිනිස්සුන්ට තමන්ගෙ රටේ අභ්‍යන්තරය ගැන හිතෙන්නෙ මොන විදිහටද? ඒක ලංකාවෙ ඒ වර්ගයේ හැඟීමට වඩා දුරස්ථ එකක්ද සමීප එකක්ද?

ජාතිකවාදය කියන්නෙ “භූමි අනුබද්ධ” සිතුවිල්ලක්. නමුත් ඉතිහාසයේ මේ යුගයෙන් පස්සෙ ජාතියකට භූමියේ තිබෙන අදාලත්වය අහෝසි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් වෙන්න පුළුවන්.

ඉතාම විශාල රටකට මහා පරිමාණ කෘෂිකර්මාන්තය, ඛණිජ සම්පත් කළමනාකරණ වගේ දේ වල නිරත වෙන්න පුළුවන්. ඉතාම කුඩා රටකට සේවා සැපයීම හා ගමනාගමන තොටක් වීමට සම්පූර්ණ ශක්තිය යොදවන්න පුළුවන්. ලංකාවට මේ දෙකම ආන්තිකව කරන්න අමාරුයි. මගේ මතයට අනුව ලංකාව සතුව ඍජුව නිස්සාරණය කොට මුදල් කල හැකි ඛණිජ සම්පත් නැහැ ( තියෙන්නෙ ලෝක වෙළෙඳ පලත් සමග හැරෙන්නවත් බැරි තරමේ කුඩා ප්‍රමාණයන්). ලංකාව සතුව තිබෙන ස්වාභාවික සම්පත තමයි නිවර්තන දේශගුණය සහ පලදාව යම් ප්‍රමාණයක් වැඩි භූමිය. මෙයින් යම් ආර්ථිකයක් ගොඩනැංවිය හැකියි, නමුත් එහි සීමාවක් තිබෙනවා. වනාන්තර එළිපෙහෙළි කිරීම වගේ ප්‍රශ්නත් එක්ක මේ සීමාව තවත් තීව්‍ර වෙලා තියෙනවා.

අනිත් පැත්තට ලංකාවෙ පිහිටීම ගැන තියෙන්නෙත් තරමක් අතිශෝක්තියට නංවපු මතයක්. නාවුක කේන්ද්‍රස්ථානයක් විදිහට ලංකාවට යම් වැදගත් කමක් තිබෙන බව ඇත්ත. නමුත් මේ වැදගත්කම අවට කලාපයේ නාවුක යටිතල ඉදිකිරීම් එක්ක විචලනය වන දෙයක් කියන එකයි මගේ අවබෝධය. රටේ විශාල ආර්ථික ක්‍රියාවලියක් හටගන්නෙ නැතුව ගුවන් කලාපයක් විදිහටත් ලංකාවට විශාල ප්‍රගතියක් අත් කර ගන්න අමාරුයි. මොන තරම් සක්‍රීය ආර්ථික කේන්ද්‍රයන් ලංකාව වටේ පිහිටියත් ඒ අතර සිදුවන ගුවන් ගමන් වලින් ලංකාව මගහැරෙන එක අපහසු නැහැ. ලංකාවෙ පිහිටීම වැදගත් තමයි. හැබැයි ඒක වැදගත් වෙන්නෙ අපිට නෙවෙයි ලෝකෙ බල කඳවුරු වලට.
ලංකාවෙ ලොකුම සම්පත මේ එකක්වත් නෙවෙයි ලංකාවෙ මානව සම්පත. සිංහල භාෂාව අපි නොදන්නව උනාට ලෝකෙ සැලකිය යුතු භාෂාවක්. ඒක ලංකාවෙ මානවීය නිෂ්පාදනයක්. ලංකාව පොලොන්නරු යුගයෙන් පස්සෙ නැගෙනහිර ආසියාවට දැනෙන සුලු සංස්කෘතික බලපෑමක් කරල තියෙනවා ථෙරවාදී බුදු දහම අනුසාරයෙන්. සිංහල ථෙරවාදය කියන්නෙ ලංකාවෙ මානවයගෙ නිෂ්පාදනයක්. මම හිතන්නෙ අපේ අනාගතය රඳා පවතින්නෙත් මානව සම්පත මතමයි.

ලංකාවෙ ඛණිජ සම්පත් කුනු කොල්ලයට පිටරටකට වික්කොත් අපිට ඒක පේනව, තේරෙනව. ලංකාවෙ ජෛව සම්පතක් සොරකම් කලොත් ඒක අපිට තේරෙනවා. නමුත් අපි අපේ මානව සම්පත පිටරට පටවන්නෙ කුණු කොල්ලයට පමණක් නොවෙයි අතිනුත් ගනනක් දීල. පොඩ්ඩක් හිතල බලන්න , මැරෙන තෙක් ජීවත් වීමට හිතාගෙන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය, ඇමරිකාව සහ කැනඩාව වගේ රටවලට ගිහිල්ලා ඉන්න අපේ ඥාතියො, මිත්‍රයො සියලු දෙනා මේ වෙනකොට ලංකාවෙ හිටිය නං කොහොමද? ලංකාවෙ ජනඝනත්වය වැඩියි තමයි. නමුත් අපිට තිබෙන එකම සම්පතත් ඒක. ලංකාව ඉදිරියෙදි විශාල මානව සම්පත් හිඟයකටත් මුහුණ දෙනවා. මොන දේ උනත් ලාංකීය ජනගහනය වර්ධනය වීමට මම කැමතියි.

(රටට ආදරේ නම් රටෙන් පිට නොයා යුතුය, රටෙන් පිට පදිංචි අයකුට රටට ආදරය කල නොහැකිය, කොටින්ම කෙනෙකු ජනප්‍රියවාදී ලෙස “රටට ආදරය කල යුතුය” හෝ රටෙන් පිට වීමට කෙනෙකුට හේතුවක් අවශ්‍යය වැනි කිසිදු මුග්ධ අදහසක් මෙයින් ගම්‍ය නොවන බව සැලකුව මනාය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap