Opinion

ලංකාව හමුදා පාලනයකට යටත් නොවන්නේ ඇයි?

Summary

නිදහසේ මිල දැනෙන්නේ එය අහිමි වූ කලය. අප විසින් ඉන්දියාව සැලකිය යුත්තේ රාවණ රාජ්‍යය යට කිරීමට සිතන රාමකු ලෙස නොව, යම් පීඩාකාරී බලපෑමක් මැද වුවද බොහෝ යහපත් දේ වෙනුවෙන් පෙනී සිටින වැඩිමහලු සහෝදරයකු ලෙසය. ලංකාවේ හමුදාවේ ගෞරවනීය විනය පිලිබඳ මෙන්ම ලංකාව ඉන්දියාවේ කෙල බොක්කේ පිහිටා තිබීම සම්බන්ධයෙන්ද අපට සෑම දිනකම උදෑසන අවදි වීමෙන් පසුව සතුටු විය හැකිය.

  • Save

මියන්මාරය නැවතත් හමුදා පාලනයක් යටතට පත් වී තිබේ. හමුදා පාලනයක්  සාධාරණීකරණය කල හැකි කොතෙකුත් අවස්ථා රටවල් තුල පැන නැගුනද ,  එවැන්නක් කිසි විටෙකත් රටක දීර්ඝ කාලීන යහපත පිණිස හේතු වන්නේ නැත. අපේ ආදරණීය මියැන්මාරය නැවතත් අනතුරේ වැටී තිබේ. එක්දහස් නමසිය හතලිස් අටේ නිදහස ලැබූ දිනයේ පටන්, මියන්මාරය මුළුමනින්ම  හමුදා පාලනයකින්  තොරව පාලනය වුයේ යයි සැලකිය හැක්කේ එය පළමු වරට එවැන්නකට යටත් වුනු එක්දහස් නමසිය හැට  දෙක දක්වා ගෙවුණු වසර දාහතර පමණකි. දෙදහස් එකොළහ වසරේදී නැවතත් එරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වුවද එය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස සැලකිය නොහැක්කේ එහිදී බල ගැන්වුණු ව්‍යවස්ථාව හමුදාව විසින් සම්පාදනය කරන ලද එකක් වීමත්, එම ව්‍යවස්ථාව මගින්ම පාර්ලිමේන්තුවේ ආසන වලින්  හරි හතරෙන් එකක් නිතරඟයෙන්ම  හමුදා නියෝජිතයන්ට පිරි නමා තිබීමත් නිසාය. ඊට අමතරව හමුදාව සහ අභ්‍යන්තර කටයුතු අයත් අමාත්‍යංශය පාලනය වන්නේද හමුදා නායකත්වය යටතේය.  එම ව්‍යවස්ථාවට අනුව රටේ ව්‍යවස්ථා වෙනසක් ඇති කරන්නෙ නම් පාර්ලිමේන්තුවේ හතරෙන් තුනක බහුතරයක් ලබා ගැනීමට අවශ්‍ය වන අතර හමුදාවට අයත් හතරෙන් එක අත් හැරිය විට ඉතුරු සියලු මන්ත්‍රී වරුන්ගේ අනුමැතිය එවිට මේ සඳහා අවශ්‍ය වෙයි. මේ අතර තුර හමුදාව මගින් මෙහෙයවන දේශපාලන පක්ෂයක්ද මැතිවරණ වලට ඉදිරිපත් වන අතර කුමන තත්වයක් යටතේ වුවද ඔවුන්ටත් ආසන හත අටක් හෝ ලැබෙයි. ව්‍යවස්ථාව වෙනස් කොට එහි තිබෙන හමුදා බලය ඉවත් කිරීමට නම් එක්කෝ හමුදාව නියෝජනය කරන මන්ත්‍රීන් හැරුණු කල අනෙක් සියලු දෙනාගේ ඡන්දය ලැබිය යුතුය. නැතහොත් ඊට හමුදා සහයෝගයද ලැබිය යුතුය. ප්‍රයෝගික තත්වය යටතේ මේ දෙකම සිදු නොවන දෑය. ඒ අනුව මියැන්මාරයේ ව්‍යවස්ථාව ව්‍යවස්ථානුකූලව වෙනස් කල නොහැක්කක් බව වටහා ගැනීම අපහසු නැත.

ලංකාවට ඉතා ආසන්නයේ තිබෙන පකිස්ථානය, බංගලිදේශය, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් හතරටම හමුදා පාලන ආගන්තුක නැත. නිදහසේ පටන්ම මේ රටවල් විටින් විට හමුදා පාලන වලට යටත් වී තිබෙයි. නමුත් අපට ඉතා සමීප ඉන්දියාවත්,  අපත්,  කුමන හෝ හේතුවක් නිසා හමුදා පාලන වලට යටත් වීමෙන් වැලකි තිබෙයි. 1967 වසරේ ඉන්දීය මැතිවරණය ආසන්න වන විට ඉන්දියාවේත් , 1962 දි ලංකාවේත් හමුදා කුමන්ත්‍රණ උත්සාහයන් ගනු ලැබුවේ යයි කියන නමුත් ඒවා සාර්ථක වුයේ නැත. මේ අවස්ථා දෙකෙන් පසුව දෙරටේම එවැන්නක් පිලිබඳ අසන්නට නොලැබෙයි. මෙයට හේතුව විය හැක්කේ කුමක්ද?

කෙනෙකුට ඉතා පහසුවෙන් සිතිය හැක්කේ ඉන්දියාවේ සහ ලංකාවේ හමුදාවන් ඉතාමත් විනයානුකූල බවත් එනිසාම ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා යන කිසිවක් ඔවුන් නොසිතනා බවත්ය. එය සදොස් නොවෙතත් පකිස්ථානය, බංගලිදේශය සහ මියන්මාර යන රටවල තිබෙනේද ඉන්දියාවේ සහ ලංකාවේම මෙන් බ්‍රිතාන්‍ය පාලන කාලය තුලදී හැඩ ගස්වනු ලැබූ හමුදාවන්  සහ හමුදා විනයන්  වීම මෙම තර්කය තරමක් බල රහිත කරවයි.  එසේ නම් මෙහි සැබෑ හේතුව ඇත්තේ මීට වඩා ගැඹුරු තැනක විය යුතුය.  

නිදහසින් පසු ඉන්දියාවේ පස් වන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වන , නේරු අගමැති තුමාගෙ සමීපතමයකු වන වී. කේ ක්‍රිෂ්ණන් මෙනන් එම තනතුරට පත් වන්නේ එරට එවකට සිටි හමුදාපති ගෙ මුවින් ගිලිහුණු යම් විවේචනාත්මක වදනක් නිසාය. ඔහු එවකට තිබුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති  ප්‍රසිද්ධියේ විවේචනය කල අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව තනතුරින් ඉවත් කොට ආරක්ෂක අමාත්‍යාංශයට  නව අමාත්‍යවරයකු පත් කරනු ලැබීය. ක්‍රිෂ්ණන් මෙනන් යනු ඉතා තියුණු තීන්දු ගන්නා ලද අනාගතවාදී නායකයකු විය. ඔහු විසින් අනාගතයේ කිසිදු දිනයක හමුදාවට රටේ පාලනය හෙබවීමක් පිලිබඳ සිතීමටවත් ඉඩ නොලැබෙන පරිදි හමුදා ව්‍යුහය යලි සංස්කරණය කරනු ලැබෙයි.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු තනි රටක් වූවාට සංස්කෘති, ආගම් සහ භාෂාවන් සිය ගණනකින් සමන්විත වර්ණවත් එකතුවකි. මෙය කිසිසේත්ම හමුදාවක් මගින් එකට බැඳ තබා ගත හැකි ඒකකයක් නොවේ. ඉන්දියාව යන රටට ප්‍රයෝගිකව සාර්ථක වන එකම පාලන විධික්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වන අතර එයින් පිට පැනිය නොහැකි   ලෙස එරට තුල තිබෙන බලවේගද සකස් වී තිබේ.

ඇතැම් ලාංකිකයන් කුමනාකාරයේ මිථ්‍යාමතික ඉන්දියානු විරෝධයන්ගෙන් පෙලනු ලැබුවේ වුවද , ලංකාව ඇත්ත වශයෙන්ම සැලකිය හැක්කේ ඉන්දියාවේ සෙවනැල්ලක් ලෙසය. ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික වශයෙන් පමණක් නොව, තත්කාලීන දේශපාලනික වශයෙන්ද ලංකාව යනු ඉන්දියාවේ පොඩි සහෝදරයාය. සහෝදරයන් දෙදෙනකු අතර තිබෙන්නා වූ විරසකයන්, ඊර්ශියාවන් සහ තරඟකාරීත්වයන් මැද, ඇති විශාල ප්‍රමාණයේ  ආදරයක්ද මේ රටවල් දෙක අතර තිබෙන්නෙ යයි කිව හැකිය. මගේ අදහස නම් අන් කවර බලවත් රටක්වත් තමන් ආසන්නයේ පිහිටි කුඩා රාජ්‍යයක් නොඉවසන මට්ටමකට ඉන්දියාව අපව ඉවසන බවයි. තමන්ගෙ රටේ දේශපාලනයට අතිශයින්ම සංවේදී වූ උතුරේ ගැටළුව අනේක විධ අත පෙවීම් මැද වුවද අපට රිසි ලෙසින් විසඳා ගැනීමට ඉන්දියාව අපට අවසානයේදී ඉඩ දුන්නාය. ඇමෙරිකාව කියුබාවටත්, චීනය අසල්වැසි මියන්මාරයට සහ තායිවානයටත් සිදු කරන කෙනෙහිලි කම් ඉන්දියාව අපට සිදු කරන්නෙ නැත. මේ සියල්ලටත් වඩා ඉන්දියාවට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වෙයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහීමෙන්  ඉන්දියාවට අයහපතක් මිස යහපතක් වන්නේ නැත.
නිදහසේ මිල දැනෙන්නේ එය අහිමි වූ කලය. අප විසින් ඉන්දියාව සැලකිය යුත්තේ රාවණ රාජ්‍යය යට කිරීමට සිතන රාමකු ලෙස නොව, යම් පීඩාකාරී බලපෑමක් මැද වුවද බොහෝ යහපත් දේ වෙනුවෙන් පෙනී සිටින වැඩිමහලු සහෝදරයකු ලෙසය. ලංකාවේ හමුදාවේ ගෞරවනීය විනය පිලිබඳ මෙන්ම ලංකාව ඉන්දියාවේ කෙල බොක්කේ පිහිටා තිබීම සම්බන්ධයෙන්ද අපට සෑම දිනකම උදෑසන අවදි වීමෙන් පසුව සතුටු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap