COLUMN

ලිබරල්වංශය

Summary

ලිබරල් ආගම පටන්ගන්නේ “හැමෝම සමානයි” කියන තැනින්.. ඉතින් ජාති, ආගම් කිසිම දෙයක් නැති මානවයෙක් ඉන්නවා කියලා ලිබරල් භක්තිකයෝ අදහනවා. ඒ සම්බන්ධයෙන් ඉවරයක් නැති කතන්දර කියනවා. ඒත් අපේ රටේ ලිබරල් සමාජය ඇතුළේවත් මෙහෙම සමානකමක් දකින්න නෑ. මූලික විදිහට ගත්තාම අපේ ලිබරල් […]

ලිබරල් ආගම පටන්ගන්නේ “හැමෝම සමානයි” කියන තැනින්.. ඉතින් ජාති, ආගම් කිසිම දෙයක් නැති මානවයෙක් ඉන්නවා කියලා ලිබරල් භක්තිකයෝ අදහනවා. ඒ සම්බන්ධයෙන් ඉවරයක් නැති කතන්දර කියනවා.
ඒත් අපේ රටේ ලිබරල් සමාජය ඇතුළේවත් මෙහෙම සමානකමක් දකින්න නෑ. මූලික විදිහට ගත්තාම අපේ ලිබරල් භක්තිවන්තයෝ සමාජ පංති හතරකට බෙදලා දක්වන්න පුළුවන්. මේ බෙදිල්ල බ්‍රාහ්මණ ආගමේ එන බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍යය, ශුද්‍ර කියන චතුර් වර්ණයට මුළුමනින්ම සමාන නෑ. හැබැයි යම් යම් තැන්වලින් පොඩි පොඩි සමානකම් දකින්න පුළුවන්.

1. ක්‍ෂත්‍රිය
අපේ ලිබරල් සමාජ සංස්ථාවේ ඉහළින් ම ඉන්නේ ක්‍ෂත්‍රිය වංශය. රනිල් මහත්තයලා, චන්ද්‍රිකා නෝනලා තමයි මේ සමාජ ස්ථරය නියෝජනය කරන්නේ. මේක මේ අය උරුමයෙන් ලබාගත්ත එකක්. කොච්චර දැඟළුවත් මේ ඉහළ ස්ථරයට අනිත් අය වද්දගන්නේ නෑ. මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි මංගල සමරවීර මහත්තයා. එතුමා තමන්ගේ ජීවිතය මුළුමනින්ම ලිබරල් ඇදහිල්ල වෙනුවෙන් කැපකරපු කෙනෙක්. ඒත් ඉහළ ස්ථරයට ඇතුළුවෙන්න ඉඩක් එතුමාට ලැබුණේ නෑ.

2. බ්‍රාහ්මණ
ලිබරල් වේද ශාස්ත්‍ර කියවලා කෙළ පැමිණි බමුණෝ පිරිසක් මේ පැළැන්තිය නියෝජනය කරනවා. මේ අතර ඉන්න සැළැකිය යුතු පිරිසක් නිර්මාල් දේවසිරි, හරිනි අමරසූරිය වගේ සරසවි ඇදුරෝ. ඊට අමතරව ජාත්‍යන්තර සම්මානලාභි සිනමාකරුවෝ, නාට්‍යකරුවෝ, විචාරකයෝ, ජනමාධ්‍යවේදියෝ වගේ පිරිසකුත් මේ පැළැන්තියට ඇතුළත්. වැඩි අධ්‍යාපනයක් නැති වුනත් මංගල සමරවීර මහත්තයා වගේ භක්තිවන්තයෝ අයිතිවෙන්නෙත් මේ පැළැන්තියට. ඒ විතරක් නෙවෙයි. එක වචනයකින් මුළු ලෝකය ම විග්‍රහකරන එක්ස් මාස්ටර්ලත් මේ පැළැන්තියට අයිතියි. මේ හැමෝම වගේ යහමින් විදේශ විනිමය උපයනවා. ඒ මුදල් ලබාගැනීම වෙනුවෙන් හදාගත්ත රාජ්‍ය නොවන සංවිධානවල මේ අය වැජඹෙනවා. මේ අයගෙන් සෑහෙන පිරිසකට විශ්‍රාම වැටුප් ගන්නත් පුළුවන්.

3. ජබජබ නා සෙට් එක
මෙතැන “නා සෙට් එක” කියලා යොදලා තියෙන්නේ “නායක පිරිස” කියන අදහසින් මිසක් “නයි සෙට් එක” කියන අදහසින් නම් නෙවෙයි. මහන්සියක් නැතුව ගන්න පුළුවන් හින්දා මේ අය මූලික උපාධියක් ලබාගෙන තියෙනවා. ඒත්, ඒ වෙනුවෙන් ඉගෙනගත්ත දේවල් මොනවා ද කියලා අහන්න හොඳ නෑ. මේ අය කතාවට දක්‍ෂයි. “ජබ ජබ” කියලා නිතර ම මොනවා හරි කියවනවා. මේ නා සෙට් එකට කිසිම අහේනියක් නෑ. ආදායම් වියදම් පෙන්නලා ජීවත්වෙන පිරිසකුත් නෙවෙයි. මාමණ්ඩිගෙන් ලැබුණා, නැන්දම්මාගෙන් ලැබුණා, අරයාගෙන් ලැබුණා, මෙයාගෙන් ලැබුණා කියලා තමයි මේ අය තමන්ගේ ආදායම් පෙන්නන්නේ.

4. අතකොළු පංතිය
අපේ ලිබරල් සමාජයේ බහුතරය සමන්විත වෙලා තියෙන්නේ අතකොළු පංතියෙන්. සැබෑ අන්තවාදියෝ ප්‍රමාණය (ප්‍රධාන වශයෙන් ක්‍ෂත්‍රිය සහ බ්‍රාහ්මණ පංති දෙක නියෝජනය කරන ප්‍රමාණය) ජනගහනයෙන් සීයට එකක්වත් නැති වුනාට මේ අතකොළු පංතියේ දායකත්වය හින්දා සමස්ත පිරිස් බලය තුන් හතර ගුණයකින් වැඩිවෙනවා.

අතකොළු පංතිය මූලික වශයෙන් පාර්ශ්ව දෙකකට වෙන්කරලා දක්වන්න පුළුවන්.

මේ පාර්ශ්ව දෙක අතර ඉස්සරහින් ම ඉන්නේ කල්ලත් ලැති බොල්ලත් ලැති රතු හැට්ට කණ්ඩායම. තමන්ගේ නා සෙට් එක කියන කතා ඉහ මුදුණින් පිළිගන්න මේ කණ්ඩායම පුදුමාකර දුකක් විඳින පිරිසක්. නා සෙට් එක කියන ඕන වැඩක් මේ අය බොක්කෙන් ම කරනවා. මේ අතර ඉන්න සමහරු පහළ මට්ටමේ රාජ්‍ය සේවකයෝ. එහෙම නැතිනම් කිසිම රස්සාවක් නැති අය.

අතකොළු පංතියට දායකත්වය දක්වන අනිත් පාර්ශ්වය තමයි ෆේෂ් බුක් විද්‍යාඥයෝ සෙට් එක. මේ අයට කෑම බීම පිළිබඳ ප්‍රශ්නයක් නම් නෑ. මේ අය මොකක් හරි රස්සාවක් කරලා පවුලක් නඩත්තු කරගෙන ඉන්න පිරිසක්. මේ අය දන්නේ නැති දෙයක් නෑ. ටිකක් වෙලා මෙහෙම කෙනෙක් එක්ක කතාකරන්න. කළු කුහරයකට එහා පැත්තෙන් තියෙන බෑවුම් සහිත වංගුවක් ගැන වුනත් මේ අය කියලා දෙයි.

බටහිර ආධිපත්‍යයේ දේශපාලන සහ ආර්ථික බලය තහවුරුකරන්න මේ අතකොළු පංතියේ සේවය ලැබෙනවා. කාබනික පොහොර විරෝධී, එන්නත් ප්‍රේමී පෙරමුණුවල මේ අය සටන් කරන්නේ ඒ වෙනුවෙන්. මේ සටන් හරියට කරන තරමට තමයි බටහිර සමාගම්වලට තමන්ගේ භාණ්ඩ හොඳින් විකුණගන්න පුළුවන් වෙන්නේ. බටහිර වෙළෙඳ ආධිපත්‍යයට තර්ජනයක් වෙලා තියෙන චීන හතුරාට විරුද්ධවත් මේ අය සටන්කරනවා.

අතකොළු පංතිය කරන මේ සේවය හින්දා බටහිර සමාගම්වලට යමක් කමක් හොඳින් හම්බ කරගන්න පුළුවන්. ඒ මුදල්වලින් කොටසක් වැය කරලා ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ සහ නා සෙට් එක නඩත්තුකරන්නත් පුළුවන්.
හැබැයි එකක් මතක තියාගන්න. මේ හැමෝම මානවයෝ!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.