COLUMN

ලිබ්බන්ගේ නිවන

Summary

බෞද්ධයෝ විදිහට අපි යම් යම් ප්‍රාර්ථනාකරනවා. මෛත්‍රී භාවනාවේ යෙදෙන අතර අපි කරන ප්‍රාර්ථනා ගැන පොඩි ළමයි පවා දන්නවා. ඒ භාවනාවේ යෙදෙන අතර “මාගේ හිතවත් වූ ද, අහිතවත් වූ ද, මැදහත් වූ ද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා” කියලා අපි පතනවා.

බෞද්ධයෝ විදිහට අපි යම් යම් ප්‍රාර්ථනාකරනවා. මෛත්‍රී භාවනාවේ යෙදෙන අතර අපි කරන ප්‍රාර්ථනා ගැන පොඩි ළමයි පවා දන්නවා. ඒ භාවනාවේ යෙදෙන අතර “මාගේ හිතවත් වූ ද, අහිතවත් වූ ද, මැදහත් වූ ද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා” කියලා අපි පතනවා.

මෙහෙම ප්‍රාර්ථනාවක් කරපු ගමන් ම ඒකෙන් අරමුණු කරන දේ සිද්දවෙන්නේ නෑ. “සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා” කියපු ගමන් ම ඒ දේ වෙන්නේ නෑ කියලා ඕන කෙනෙක් දන්නවා. ඒත් එහෙම ප්‍රාර්ථනාකරන්න බැරිකමක් අපිට නෑ. එහෙම ප්‍රාර්ථනාවක් කරන එක වැරැදි වැඩකුත් නෙවෙයි.
තමන්ට වඳින දරුවෙක්ගේ ඔළුව අතගාන වැඩිහිටියෝ කියන ප්‍රාර්ථනා පාඨත් අපි හැමෝම වගේ අහලා තියෙනවා. “මයේ පුතාට බුදු සරණයි, දෙවි පිහිටයි, කරන කියන හැම දෙයක් ම සාර්ථක වේවා!” කියලා තමයි ඒ වෙලාවට කියන්නේ. ඔළුව අතගාලා එහෙම කියපු ගමන් ඒ ළමයා කරන කියන හැම දෙයක් ම සාර්ථක වෙනවා ද? ඒත් ඒ ප්‍රාර්ථනාව හොඳ එකක්. අපි ඒක අගයකරන්න ඕන.

“ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා! වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!” කියලා කියන සින්දුවක් තියෙනවා. මේක අපේ ලිබ්බෝ කැමැති සින්දුවක්. දැන් මෙහෙම කියපු ගමන් ඔය කියන ප්‍රාර්ථනාව ඉෂ්ටවෙනවා ද? හැබැයි ඒ පමාවෙන් ඒක වුනේ නෑ කියලා මෙහෙම ප්‍රාර්ථනා කරන එක අපි නවත්තන්නේ නෑ.
“ධනපතියෝ භංගවේවා” කියලා මාක්ස්වාදියෝ කියද්දිත් ඒ කියන පමාවෙන් ඒක වෙන්නේ නෑ. ඒත් ඒ ප්‍රාර්ථනාව ඇතිව ඒ වෙනුවෙන් වැඩකරන්න අදාළ අයට පුළුවන්.
ඉතින් අවස්ථානුකූලව මේ ලෝකයේ කවුරුත් ඒ ඒ වෙලාවට, ඒ ඒ කාරණයට අදාළ යම් යම් ප්‍රාර්ථනා කරනවා.
දන්න කියන, අපිට අදාළ කෙනෙක් මියගියාම “නිවන් සැප ලැබේවා!” කියන ප්‍රාර්ථනාව බෞද්ධ අපි කරනවා. අපි එහෙම කියන්නේ මියගිය කෙනා ඒ මොහොතේ ම නිවන් යතවා කියලා සියයට සීයක් ෂුවර් කරගෙන නෙවෙයි. එහෙම නිවන් දකිනවා නම් ඒක හොඳ දෙයක්. හැබැයි එහෙම වෙන්නේ නැතිනම් ඒක අපේ මෝඩකමක් විදිහට සළකන්න පුළුවන් ද?

නිවන දක්වා යනවා කියන්නේ සුළුපටු වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් කළ යුතු දේවල් ගැන අපි දන්නවා. ඉහළ බුද්ධියක් තියෙන, යමක් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් අංගුලිමාල වගේ කෙනෙක්ට බොහොම ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒත් එහෙම හැකියාවක් බහුතරයකට නෑ. ඉතින් ඒ අයට නිවන වෙනුවෙන් යන්න තියෙන ගමන ඉතාමත් දුර එකක්. අමාරු එකක්. වෙහෙසවෙලා ශීල, සමාධි, ප්‍රඥා පිළිවෙළට අදාළ ගමන යන එක ඒ අයට අදාළයි.
මේ දුර සසර ගමනේ දී නරකයක ඉපැදුණොත් නිවන් කරා යෑම තවත් පමාවෙනවා. පිනක් කරගන්න බැරි, කුසලයක් රැස් කරගන්න බැරි තැනක ඉපැදුණොත් ඒත් එහෙමයි. ඉතින් මියගිය කෙනෙක්ට “නිවන් සැප ලැබේවා!” කියලා අපි ප්‍රාර්ථනා කරද්දි ඒ තුළින් මේ බාධක මග හැරේවා කියන අදහස අපිට තියෙනවා.

නැඳුන්ගමුවේ ඇතා මියගිය වෙලාවෙත් අපි මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. පාරමිතා පිරූ බෝධිසත්වයන්වහන්සේත් විවිධ වූ තිරිසන් භවවල ඉපැදුණු බව ත්‍රිපටකයේ සහ අදාළ අනෙකුත් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. බුද්ධත්වය පතාගෙන පාරමිතා පිරූ උන්වහන්සේට තිරිසන් භවයක ඉපැදීම බාධාවක් වුණේ නෑ. ඉතින් නැඳුන්ගමුවේ රාජා හස්තියාට නිවන දකින්න බාධාවක් අපි දකින්නේ නෑ. අපේ පිළිගැනීම් සහ විශ්වාසයට අනුව ඒ උතුම් හස්තියා මහා පින්කමක් කරලා තියෙනවා. පෙර භවවල දී පවා ඒ හස්තිරාජයා මහා පින්කම් කරන්න ඇති බව අපිට විශ්වාසයි. රටේ මිනිස්සු බහුතරයක් ඒ හස්තිරාජයාට ගරු කළා. රාජා හස්තියාගේ මියයෑම අපි තුළ මහා කම්පාවක් ඇතිකළා.
ඒ නිසා ඇතිවුණු වේදනාව නිසා පුද්ගලිකව මමත් කම්පාවුණා. ගෙදර කෙනෙක්, ළඟ හිතවතෙක් මියගියා වගේ හැඟීමක් මටත් ඇතිවුණා. ඒ දවස තුළ මම වචනයක්වත් ලිව්වේ නෑ. ඒ උතුම් හස්තියා සම්බන්ධයෙන් වෙනත් අය පළකරපු පෝස්ට් තුනක් ෂෙයාර් කරන එක විතරයි මම එද‍ා කළේ. ඒ වගේ ම, රාජා හස්තියාගේ සසර ගමන සුබවේවා, ඉක්මනින් නිවන් අවබෝධ කරගනිත්වා කියන ප්‍රාර්ථනා මම කළා. එදා හවස බුදුන් වඳිද්දි රාජාටත් මම පින්දුන්නා. බෞද්ධ අපි මෙහෙම තමයි.

ඒත් ලිබ්බෝ පතන නිවන වෙනත් එකක්. උන්ට ඕන තමන්ගේ බටහිර ස්වාමියෝ වෙනුවෙන්, උන්ගේ රෙපරමාදු ලිබරල් ව්‍යාපෘතිය වෙනුවෙන් අපේ රට සුද්දකරලා දෙන්න. ඒ වෙනුවෙන් බුද්ධාගමට සහ බෞද්ධයන්ට පහරදෙන එක මේ ලංකා ලිබ්බෝ කරනවා. මේ රටින් බුද්ධාගම නැතිකරලා දාපු දවසට තමන් පතන නිවන ලැබෙන බවක් මේ ලිබ්බෝ හිතනවා.
ඒකට කමක් නෑ. සියලු ලිබ්බනි, නුඹලාත් වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා!

Leave a Reply

Your email address will not be published.