Opinion

ලොකු පුටුවේ සතුට හොයන අතෘප්තිමත් මිනිස්සු…

Summary

මේ පුටු දෙකේ කථාන්තරය අප බොහෝ දෙනා තේරුම් ගන්නකොට ජීවිතය ගෙවිල ගිහින්.

ලංකාවෙ ⁣මිනිස්සු, විශේෂයෙන්ම උගත් සමාජයෙ බොහෝ අය සතුටෙන් ඉන්න අය නෙවෙයි. නිදහස් අධ්‍යාපනය නිසා ඉහළට ආපු බොහෝ අය සතුටෙන් ඉන්න අය නෙවෙයි. අඩුම ගාණෙ එලියට පේන්න හිනාවෙලා ඉන්න අය නෙවෙයි. හිනාවෙලා ඉන්න කාරණා කොච්චර තිබුණත් මේ අය හිනාවෙලා ඉන්නෙ නෑ. කතා කරන්න ගියත් ජීවිතයෙ මොකක් හෝ නෙගටිව් පැත්තක් හොයා ගන්න මේ අයට පහසුවෙන් පුලුවන්. මේ අය එක්ක ගනුදෙණුව හරි අසීරුයි; අප්‍රසන්නයි.
මේ සතුටෙන් ඉන්න මිනිස්සු නැතිවීමේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා සමාජයට බලපෑම් ඇති කරනව. වැඩක් කරගන්න කාර්යාලයකට ගියත් සියයට අනූනවයක් වෙලාවට අපි එලියට එන්නෙ අසහනයෙන්. රෝහලක⁣ට බෙහෙත් ගන්න ගියත් එන්නෙ කාට හෝ බැණ බැණ. ළමයව ගන්න ඉස්කෝලෙට ගියත් එහෙමයි. වැඩිය ඕනෙ නෑ. ෆේස්බුක් එකට ගියාම තත්ත්වය කොහොමද? අසහනය පිරිල ඉතිරිල යනව නේද?

මේ වගෙ අසහනෙන් ඉන්න, අසතුටෙන් ඉන්න මිනිස්සු වැඩි වුණාම ඒ මිනිස්සු තමන්ගේ අසහනය තමන්ට මුණ ගැහෙන මිනිස්සුන්ගෙන් පිට කරනව. තමං ළඟට එන මිනිහට හිනාවෙලා කතා කරන්නෙ නෑ. වැඩේ හරියට කරල දෙන්නෙ නෑ. වැඩක් නොකරන්න හේතුවක් හොයාගෙන මිනිස්සු රස්තියාදු කරවනව. හොඳක් කියනවට වඩා ඇදයක් හොයාගෙන බණිනව ; ඇගට ගොඩ වෙනව. වැඩිය ඕනෙ නෑ. අපේ කාර්යාලවල ඉන්න ලොකු මහත්තුරු, නෝනල කීදෙනෙක් තමන්ගෙ මේසෙ ඉස්සරහ තියෙන පුටුව එන මනුස්සයට වාඩිවෙන්න දෙනවද? ⁣
ඒ ලොකු මහත්තුරු නෝනල වාඩිවෙල ඉන්න මහ පුටුව ඉස්සරහ තියෙන මේ කුඩා පුටුව අපිට ලොකු සමාජ කතාන්තරයක් කියල දෙනව කියල මට හිතෙනව…

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න අපට ඔලුවලට දාන දේ තමයි, ඉගෙනගෙන ලොක්කෙක් වෙන එක. අනෙකා පෙරලගෙන ඉස්සරහට යන එක. උපාධි ගහල “ලොකු පුටුවකට” යන එක. ලොකු පුටුවට හම්බ වෙන වරප්‍රසාද භුක්ති විඳින එක. පර්මිට් එකට තඩි කාර් එකක් ගන්න එක. කාමර හයක ගෙයක් හදන එක. ඉතිං කුඩා කළ හිටන් අපේ සිහිනය තමයි අර කියපු තඩි පුටුවෙ වාඩිවෙන එක. ඔපිසිවල ලොකු මහත්තුරු ඉන්න, ඉස්පිරිතාලවල දොස්තර මහත්තුරු ඉන්න, උසාවිවල නඩුකාර මහත්තුරු ඉන්න තඩි පුටුවෙ වාඩි වෙන එක…තඩි පුටුවෙ වාඩි වුනාට පස්සෙ අපි අර තඩි පුටුව එහෙට මෙහෙට කරකර සතුට හොයනව. පුටුවෙ වාඩි වුනාට සතුට හොයාගන්න දන්නෙ නෑ…

ඒකට හේතුවක් තියෙනව ආදරණීය මිත්‍රවරුනි,
අපිට කවුරුත් අර තඩි පුටුව ඉස්සරහ තියෙන කුඩා පුටුව ගැන කියල දෙන්නෙ නෑ…අපි හැල්මෙ ගිහින් අර තඩි පුටුවෙ වාඩිවෙලා සතුට හොයනව…සතුට එතන නෑ මිත්‍රවරුනි…ඊට පස්සෙ අර ලොකු මහත්තයා තමන්ගෙ සතුට කියන එක මේන්ටේන් කරගන්න අර කුඩා පුටුව දිහා බලන් ඉන්නව…ඒකෙ කුඩා සයිස් එක තමයි ලොකු නෝන මහත්තුරුන්ගෙ සතුට මේන්ටේන් කරන ටූල් එක. ඒ නිසා තමයි උගත් කියන බොහෝ දෙනාට තමන් සතුටෙන් ඉන්න තමන්ගෙ පුටුව ලොකු වෙලා විතරක් මදි වෙන්නෙ. අර ඉස්සරහ තියෙන පුටුව පොඩි වෙන්නත් ඕන. සරලවම කීවොත් ගොඩක් උගත් උදවියට තමන්ට කොච්චර තිබ්බත් සතුටෙන් ඉන්න නම් අනිත් එකාට කෙළ වෙන්නත් ඕන…

මේක කියවන කොට හිනත් යනව නේද? අපේ රටේ මිනිස්සු අතෘප්තිමත් වීමේ ගඳගහන කථාන්තරය ඔය පුටු දෙකෙන් කියවෙනව නේද? අනුන්ගෙ ළමය පාස් වුනාට කමක් නෑ, හැබැයි තමන්ගෙ ළමයට වඩා ලකුණු අඩුවෙන් ගන්න ඕනෙ. අනෙක ලස්සන ගෙයක් හැදුවට කමක් නෑ, මගෙ එකට වඩා පොඩි වෙන්න ඕන. මේ ගඳගහන මානසිකත්වය හැම තැනම ඔඩු දුවල ඉවරයි. සතුටෙන් ඉන්න දන්නෙ නැති මනුස්සයා කවදාවත් අවට සමාජය සතුටෙන් ති⁣යන්නෙ නෑ. ඒ හින්ද තමයි ලංකාවෙ ඉහළ සමාජය ගැන මිනිස්සුන්ට වෛරයක් තියෙන්නෙ. ඒ හින්ද තමයි ඉගෙන ගත්ත සමාජය ගැන මිනිස්සුන්ට අප්‍රසාදයක් තියෙන්නෙ…

මේක හරි ගස්ස ගන්න බැරිද?
සතුටෙන් ඉන්න මිනිස්සු හදා ගන්න බැරිද?
සමාජය මීට වඩා ලස්සන තැනක් කරගන්න බැරිද?
පුලුවන්…

ඇත්ත සතුට තියෙන්නෙ තමන්ගෙ ඉස්සරහ තියෙන පොඩි පුටුවෙ කියල ලොකු පුටුවෙ වාඩි වෙන මිනිහ තේරුම් ගත්ත දවසට මේ සමාජය වෙනස් වෙයි. තමන්ගෙ ඉස්සරහ තියන පොඩි පුටුවෙ වාඩි වෙන මිනිහගෙ ප්‍රශ්නය තමන්ගෙ කරගෙන විසඳන්න ලැබිච්ච බලය ලොකු උගත් මිනිහ පාවිච්චි කරන දවසට මේ සමාජය වෙනස් වෙයි. ඇත්ත සතුට තියෙන්නෙ ලොකු පුටුවෙ නෙවෙයි කියල තේරුම් ගන්න දවසට මේ සමාජය වෙනස් වෙයි…

ආදරණීය මිත්‍රවරුනි,
මේ පුටු දෙකේ කථාන්තරය අප බොහෝ දෙනා තේරුම් ගන්නකොට ජීවිතය ගෙවිල ගිහින්. ඒ වෙනකොට ඔබ අන්තිම අතෘප්තිමත්, ආත්මාර්ථකාමී ජීවිතයක් ගෙවල ඉවරයි. ඊට පස්සෙ හිත රවට්ටගන්න පන්සල්වල රන්වැටවල් හදල වැඩක් නෑ. චෛත්‍යය වටේ රෙදි ඔතල වැඩක් නෑ. පෙරහර ගිහින් ඉවරයි….

ඒ හින්ද, ලොකු පුටුවට යන්න. ඒ ලොකු පුටුවට ආපු ගමන ගැන සතුටු වෙන්න. හැබැයි, අර පොඩි පුටුව එළියට ඇදල එන මිනිහට වාඩිවෙන්න දෙන්න. පොඩි පුටුවට එන මිනිහගෙ ප්‍රශ්නය විසඳන්න. ඒ මිනිහගෙ දරුවටත් ලොකු පුටුවට එන්න උදව් කරන්න. තමන්ගෙ පුටුවෙ බලය පාවිච්චි කරළ තමන්ගෙ කාර්යාලය, රෝහල, සමාජය ලස්සන තැනක් කරන්න පුලුවන් ⁣දේවල් කරන්න. මිනිස්සුන්ගෙ පුශ්න විසඳන්න. ඒවගෙන් සතුටු වෙන්න ඉගෙන ගන්න.⁣

එහෙම කරන ඔබේ දරුවට හරි යන එක සක්කරයටවත් වලක්කන්න බෑ….ඇයි, තෘප්තිමත් අම්මෙක් තාත්තෙක් කියන්නෙ දරුවන්ට චූඩාමාණික්‍යයක් වගේ නිසා…

මේ පුටු දෙකේ කථාන්තරය තේරුම් ගත්තොත් ඔබ නොදන්නව වුනාට “මහ මුඩු මිනිහෙක්” කියල ඔබට කියන සමාජයම “ඌ සුන්දර මිනිහෙක් ” කියල කියයි. ඊට වඩා ලොකු පුටුවක් නෑ මිත්‍රවරුනි.

Leave a Reply

Your email address will not be published.