Opinion

ලෝකයේ කොටම සින්දුව

Summary

සිගරට්ටුවේ නැති මෙන්තෝල් සිසිල ඔහුට වැස්සේ සීතලෙන් ලැබිණි. ඒ මෙන්තෝල් මොන ම සිගරට්ටුවකවත් නැත.

මේ කතාවේ වැදගැම්මක් ඇත්තේ මේ වන විට අපේ ජීවිතයේ කිසිම වැදගැම්මක් නැතිවීම නිසා විය හැකිය.

සාමාන්‍යයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ගෙවල්වල ඉදිරිපස දොරට අඩි පහළොවක් පමණ ඉස්සරහින් ඇත්තේ මිනිසුන් යන එන පාරකි. පටුමගක් වූවොත් යන එන මිනිස්සු වාහන අඩුය. පටුමගක් නොවුණොත් යනඑන මිනිස්සු වාහන වැඩිය. අපේ ගේ ඇත්තේ පටු මගක නොවේ.

එසේම ගේ ඉස්සරහින් තාප්පයක් ද නැත. ඇත්තේ කොටු දැලකි. ගේට්ටුව ද කණු කණු ගේට්ටුවකි. ඒ නිසා ඉස්සරහ දොර ඇරිය විගස ම පෙනෙන්නේ පාරය. පාරේ යන එන කෙනෙක් සිටී නම් ඔවුන්ය. නැතිනම් වාහනය.

එදා හවස දෙක තුනට පටන්ගත්ත මහ වැස්ස සවස හත පමණ වන විට මඳ වැස්සක් පොද වැස්සක් බවට පත්ව තිබිණි. දවල් මහ වැස්ස නිසා දොරවල් ජනෙල් වසාගෙන සිටි නිසා වැස්ස අඩුවූ විට මට සවස හතට පමණ ඉදිරිපස දොර හරින්නට සිතිණි.

පාරේ චලනය වන රුවක් පෙණිනි. ඔහු කමිසය අත් දිගට දමා සිටියේය. සෙරෙප්පු ජෝඩුවක් පැළඳ සිටියේය. සරම දණහිසට උඩින් කැහැපොට ගසාගෙන සිටියේය. ඒ වැස්සට අමතවර වැහි බිදු පොළවට වැටී නැවත විසි වීමෙන් හා සෙරෙප්පුවෙන් විසිවන වතුරවලින් සරම තෙත්වීම වැළැක්වීම සදහාය.

එයට අමතරව ඔහුට වැහිබිදුවලට දෙපා නිරාවරණය කරගැනීමට අවශ්‍යතාවක් ද තිබෙන්නට ඇත. ඒ ඒ වන විට ඔහුගේ පපුව උණුසුම් වී තිබීම නිසා ය. මට කියන්නට අමතක විණි. අත්දිග කමිසයට, සරමට, සෙරෙප්පුවට අමතරව ඔහුගේ මුහුණට අගල් දෙකක් පමණ ඉස්සරහින් ගිනි පුළිගුවක් දිලෙමින් පැවතිණි. සිගරට්ටුව නොපෙණුනත් එ එළිය ඔහුගේ කටේ රැදුණු සිගරට්ටුවේ බව සිතාගැනීමට මට අහස පොළව ගැටලන්නට අවශ්‍ය වූයේ නැත.

සිගරට්ටුවෙන් එන පපුවේ උණුසුම හරියට දැනෙන්නට නම් දෙපාවලට සිසිලස දැනිය යුතුය. සරම කැහැපොට ගසාගත්තේ ඒ නිසා ය. රෑ බෝවීමත් සමග පැතිරුණු අදුර විසින් ඔහුට ඒ සදහා සදාචාරත්මක අයිතිය ලබාදී තිබිණි.

ඇත්තටම ඔහුගේ දෙපය රැදි සෙරෙප්පු යුගල නම් මගේ නෙතට පෙණුනේ නැත. එය පෙනුණේ මගේ මනසටය. නොඑසේනම් උපකල්පනය කළෙමි. ඒ ඔහුගේ ගමන් ඉරියව්ව අනුවය. සෙරෙප්පු දාගෙන යන මිනිසෙකු යන ආකාරය හා සෙරෙප්පු නැතිව මිනිසෙකු ගමන් කරන ආකාරය දැක ඇති නිසා අප තුළ ඉබේම යමෙකුගේ දෙපා දෙස නොබලාම ඔහුගේ ගමනේ ආකාරය අනුව සෙරෙප්පු දමා ඇති ද නැති ද යන්න කිව කීමේ හැකියාව පවතියි. ඔහුගේ ගමන් කරන ආකාරය දකිත්ම දෙපතුල් නොපෙනීම මට දෙපය පැළදි සෙරෙප්පු යුවළ පෙණුනේ ඒ නිසාය.

දෙපයට වැස්සට දැනෙන සීතලෙන් වළක්වාගෙන පපුව උණුසුම් කරගැනීමට සිගරට්ටුව දල්වා ගත්තා විය හැකිය. පපුව උණුසුම් වන විට සිරුරමඕනෑවට වඩා රත්වීම වළක්වාගැනීමට කැහැපොට ගහගත්තා විය හැකිය. කමිසය අත් දිගටම දමාගෙන සරම දණහිසත් ඉනත් අතර හරි මැද රැදෙන ආකාරයෙන් කැහැපොට කවාගෙන ඔහු සිගරට්ටුවේ උපරිම ආස්වාදය ලබමින් සිටියේය. උණුසුම උගුරින් ඇතුලු වේ. සීතල දෙපයෙන් ඉහළට එයි. උඩින් එන උණුසුමට පහළින් එන සීතල අත්දිග කමිසයෙන් වැසුණු උඩුකය ප්‍රදේශයේ දී මුණ ගැසේ. පහළින් එන සීතලට උඩින් එන සීතල ද එතනදී ම මුණ ගැසේ.

ඔහු දාඩිය මාන්සියෙන් ජීවත්වන ගැමියෙකි. ඔවුන් ජීවිතයේ සතුට භුක්ති විදින්නට රෙස්ටුවරන්ට් එකකට සුවපහසු අසුනකට බරදී සදළුතලයෙන් පෙනෙන අහස දෙස බලමින් විස්කි වීදුරුවක් තොලගාමින් සිගරට්ටුවක් තොල ගාන්නට සිතන්නේ නැත. සතුට යනු එලෙස ආයාසයෙන් සොයා යා යුත්තක් නොවේ. ආයාසයෙන් සොයාගැනීමට හැක්කක් ද නොවේ. එය ජීවිතය තුළ ඉබේ මෙසේ හමුවන්නකි. සොයා නොයන විට හමුවන්නකි. ළගට එන්නකි.

එතරම් රස සිගරට්ටුවක් ලෝකයේ කිසිම ධනපතියෙකුට භුක්ති විදින්නට හැකිවන්නේ නැත.

අනිත් කාරණය ඔහුගේ මුව අග ගින්දර රැදුනාට ඔහු කිසිවෙකුට ගින්දර දී නැත. ඔහු ගින්දර නොදී ගින්දර ලැබීමේ ශාස්ත්‍රය දන්නා අයෙකි. ඒ ගින්දරේ දැල්වෙන්නේ ඔහුගේ දාඩිය මහන්සියයි. දාඩිය මහන්සියෙන් යම්තමින් මිලදී ගත් එකම එක සිගරට්ටුවේ සතුටයි. ඒ එකම එක සිගරට්ටුවෙන් උපරිම සතුට ගැනීමට ඔහු සරම ද කැහැපොට ගසාගත්තේය. අදුර ඒ අවසරය ඔහුට දුන්නේය.

සිගරට්ටුවේ නැති මෙන්තෝල් සිසිල ඔහුට වැස්සේ සීතලෙන් ලැබිණි. ඒ මෙන්තෝල් මොන ම සිගරට්ටුවකවත් නැත.

කෙසේවුවත් මුවට සිගරට්ටුවේ උණුසුම ඒ්මට පෙර තවත් යම් කිසි දෙයකින් ඔහු රත්වී සිටි බව මම අනුමාන කරමි. නැතිනම් වැස්සෙන් මෙතරම් සතුටක් ලබාගැනීමට තරම් ඔහු නිර්මාණශීලී වන්නේ නැත. එහෙත් ඔහුගේ ගමනේ තිබුණේ සෘජු භාවයකි. වැනීමක් තිබුණේ නැත. ඔහු අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන තිබුණි. ඒ ඉන්ධනයෙන් ශරීරය නමැති එන්ජිම දහනය වෙමින් පවතින බව මුව ඉස්සරහින් දැල්වුණ එළිය ද කියා පෑවේය.

මේ දොර කවුළුවෙන් මා දුටුවේ ගීතයක් බව මට සිතිණි. මම එයට වචන අහුලන්නට වූවෙමි. මට මුලින් ම ආවේ පොදවැස්සේ යන වචනයයි. ඉන්පසුව තවත් එවැනි ම කාලයක් කල්පනා කරන විට මට උණුසුම් යන වචනය කල්පනා විය. ඊට පසු තවත් එවැනි කාල දෙකක් පමණ කල්පනා කරන විට පාගමනක් යන වචනය කල්පනා විය.

ඒත් මගේ පර්චස් දහයේ ඉඩම ඉස්සරහින් මාරුවුණු ඒ ගීතයට ඊට වඩා වචන නැති බව මට ඉන්පසුව කල්පනා විය. ඒ නිසා ගීත රචනය අවසන් කළ මම තනුවක් යොදන්නට වූවෙමි. සංගීතය නොදත් නිසා එය එතරම් අමාරු වූයේ නැත.

ලෝකයේ කෙටි ම සින්දුව ඒ අනුව මම තනිව ගායනා කරන්නට වූයේ මගේ මුවේ සිගරට්ටුවක උණුසුම හා සිරුර තුළ වෙනත් උණුසුමක් නොවීමේ පාලුව නැතිකරගැනීමටය. අනිත් අතට වැදගැම්මකට නැති ම‌ගේ ජීවිතයෙන් වැදගැම්මක් ඇති ඒ මිනිසාගේ ජීවිතයට උපහාර පුදන්නට ද මට අවශ්‍ය ව තිබිණි.

පොදවැස්සේ………උණුසුම්..පාගමනක්

එසේ ගැයූ මම ඉන්පසුව මෙසේ ගැයුවෙමි.

උණුසුම් පාගමනක් පොදවැස්සේ….

එසේ ගැයූ මම ඉන්පසුව මෙසේ ද ගැයුවෙමි.

පාගමනක් උණුසුම් පොද වැස්සේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *