COLUMN

වසන්තය වෙනුවෙන් අරාජිකත්වය වැලද ගැනීම…!

Summary

අපි ඉන්නේ තෙල්, ගෑස්, බූමි තෙල් පෝලිමේ පැය ගනන්, දවස් ගනන් හිටගෙන ඉන්න ජනතාව ඉන්න රටකය. අපි ඉන්නේ දවසකට පැය 10ක් විදුලිය කපන රටකය. අපි ඉන්නේ බඩුමිල ඇහුවාම 33000 වැදෙන රටකය. අපි ඉන්නේ දවසේ තුන්වේල අමාරුවෙන් ගොඩ දාගන්න හදන ජනතාවක් ඉන්න ‍රටකය.

ලංකාවේ ආර්ථිකය හොම්බෙන් ගොස්, එන එන තෙල්, ගෑස් නැව ගානට, එක එකාගෙන් හිගා කන තත්ත්වයට පත්ව ඇති බවට ඌන පූර්ණ අවශ්‍ය නැතිය.

අපි ඉන්නේ තෙල්, ගෑස්, බූමි තෙල් පෝලිමේ පැය ගනන්, දවස් ගනන් හිටගෙන ඉන්න ජනතාව ඉන්න රටකය. අපි ඉන්නේ දවසකට පැය 10ක් විදුලිය කපන රටකය. අපි ඉන්නේ බඩුමිල ඇහුවාම 33000 වැදෙන රටකය. අපි ඉන්නේ දවසේ තුන්වේල අමාරුවෙන් ගොඩ දාගන්න හදන ජනතාවක් ඉන්න ‍රටකය.

දැන් අපිට අඩු වසන්තයක් පමණි.

GoHomeGota2022 කියලා පටන්ගත්ත කැම්පේන් එකේ අරමුණ වසන්තයකි. අපට අඩුවට තිබුනේ ඒකමය. දැන් හැමදේම හරිය. #GoHomeGota2022ට බයවී ගෝඨාභය, රාජපක්ෂලා මෙන්ම ආන්ඩුවද නිකම්ම ගෙදර යනවාය.

ලංකාවේ සියලු පක්ෂ, විපක්ෂ දේශපාලකයෝ 225ම පට්ට දූශිත බැවින් #GoHomeGota2022 කට්ටිය විසින් ජනතා ආන්ඩුවක් හදනවාය. පැතුම් කර්නර්ව ඒ ආන්ඩුවේ ජනාධිපති කරනවාය. පැතුම්ගේ ඔන්ලයින් සගයෝ ඒ ආන්ඩුවේ මැති ඇමතිලා කරනවාය. ඒ ආන්ඩුවෙන් රාජපක්ෂලා ඇතුළු සියලු පක්ෂ, විපක්ෂ දේශපාලකයෝ 225ම මෙතෙක් හොරකාපු සියලු වත්කම් රාජසන්තක කරනවාය. අපේ භාන්ඩාගාරය පුරවනවාය.

GoHomeGota2022 කට්ටිය විසින් සාදන ජනතා ආන්ඩුවෙන් තෙල්, ගෑස් නැවු එකපිට එක ගෙන්වා තෙල්, බූමි තෙල්, ගෑස් පෝලිම් අහෝසි කරනවාය. ඒ ආන්ඩුවෙන් සූර්ය බලයෙන්, සුලං බලයෙන් විදුලිය නිපදවා, පැය 24ම අඩුම මිලට විදුලිය දෙනවාය. ඒ ආන්ඩුවෙන් තෙල්, බූමි තෙල්, ගෑස්, බඩුමිල අඩුකරනවාය. ඒ ආන්ඩුව ඩොලරයේ ගාන අඩුකරනවාය. ඒ ආන්ඩුව විදේශ ආයෝජන එකපිට එක ගෙන්වා ඩොලර් සංචිතය වැඩි කරනවාය. ඒ ආන්ඩුව කිසිදු විදේශීය රටකට, IMF එකට යටත් නොවී, දේශීය ආර්ථිකය ශක්තිමත් කර, ලංකාවේ මජර දේශපාලනය පිරිසිදු කර, ආර්ථිකය ශක්තිමත් කොට, රට ස්වයංපෝෂිත කර, ලංකාව නැවතත් සුඛිත, මුදිත දේශයක් කරනවාය.

ඔන්ලයින් විප්ලවය ඒතරම් සිම්පල්ය…!

GoHomeGota2022 කට්ටිය දකින සිහිනය ඒකය. අපිත් 1948 සිට දකින්න ආසවුන සිහිනය ඒකය. නමුත් ඇත්ත ඊට ගොඩාක් එහාය. අපි සිහින ලෝකේ තනිවී, වසන්තය ඉල්ලා අරාජිකත්වය වැලද ගනිමින් සිටි…!

“Go Home Gota” කියලා කෑගසන විට ගෝඨාභය එක්ක, මේ ආන්ඩුව එක්ක ගේම ඉල්ලන විපක්ෂය ඇතුළු ඔක්කොටම චූන්ය. හැබැයි කවුරුත් Gota ගෙදර ගිය පසු රටේ ආර්ථික ගැටලුව විසදන ක්‍රමයක් ගැන උනන්දුවක් නැතිය. System Change එක කරන ක්‍රමයක් ගැන අදහසක් නැත. #GoHomeGota2022 ඔන්ලයින් විප්ලවය කරන කට්ටියටත් එහෙම එකක් නැත, විපක්ෂයටත් එහෙම එකක් නැත, Aටවත්, Bටවත්, Cටවත්, කාටවත් එහෙම එකක් නැත. හැබැයි අපිට කොහොමහරි වසන්තයක් ඕනාය.

1971 රැල්ල කැරල්ලක් විය. එතකොට #GoHomeGota2022 කට්ටිය ඉපදිලාවත් නැතිය. 1983 ජාතිවාදි රැල්ල කැරල්ලක් විය. එතකොට #GoHomeGota2022 කට්ටිය පොඩි ඉස්කෝලේය. 1989 රැල්ල කැරල්ලක් විය. එතකොට #GoHomeGota2022 කට්ටිය ලොකු ඉස්කෝලේය. මේ රැලි, කැරලි, ඔන්ලයින් කැරලි වලට වඩා ගැඹුරු බව අත්දුටුවෝ දනිති. මේ රැලි, කැරලි මැද ලංකාව අරාජිකවූ තරම දන්නෝ දනිති. අදත් අපි විදින්නේ ඒ තුවාල වල වේදනාවය. එදා තරම් නොවුනත් මිරිහාන, මැදමුලන, පිලියන්දල, පොලොන්නරුව සිදුවීම් අතීතය ආවර්ජනය කිරීමකි. 83 කලබල #GoHomeGota2022 කට්ටියට මතක නැති වුනාට අපිට මතකය. බොර දියේ මාලු බෑම ලංකාවේ සංස්කෘතික ලක්ශණයකි.

ආන්ඩුව අනාගෙන තියෙන තරමට #GoHomeGota2022 එකක් ඕනා නැත, හයියෙන් හුලගක් ආවත් ආන්ඩුව වැටෙනවාය. ආයේ කතා දෙකක් නැත. මාස ගානක්, ප්‍රශ්නෙට උත්තර නොදී, හැංගිමුත්තන් කෙලපු එකේ ආදීනව ආන්ඩුව දැන් විදිනවාය. ඒත් ලංකාවේ සබුද්ධික ජනතාවගේ ප්‍රශ්නය Gota or no Gota අපි මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්නේ කොහොමද කියලාය. තෙල්, බූමි තෙල්, ගෑස් පෝලිම් නැතිකිරීම කෙසේ වෙතත් අඩු කරන්නේ කොහොමද කියාය. නිදහස් චතුරශ්‍රයට රැස්වුන, ශැන්ග්‍රිලා එක ලගට, ගෝල්ෆේස් එකට ආව ජනතාවට විතරක් නොව, ලංකාවේ අන්තිම කොනේ ඉන්න, උද්ඝෝෂණ වැකියක් ලියාගන්න, බ්‍රිස්ටල් බෝඩ් එකක් ගන්න, අතේ සතේ නැති අහිංසක ජනතාවට තුන්වේල කන්න දෙන්නේ කොහොමද කියාය. රට මේ තියෙන නය උගුලෙන් ගොඩ එන්නේ කොහොමද කියාය.

මේ ප්‍රශ්න වලට උත්තරේ තියෙන්නේ රනිල්ද, සජිත්ද, අනුරද, පැතුම්ද, Aද, Bද, Cද අදාල නැත. අපි ගෙන්විය යුත්තේ ඔහුය. හැබැයි පේන විදියට මේ කාටවත් එහෙම master ප්ලෑන් එකක් නැත,

ලංකාවට ඕනා system change එකක්ය. මේවැනි කොලම් තුල අපි කවදත් ප්‍රවර්ධනය කලේ system changesය. ඒත් අතීතයේ ඉදන් ජනතාව කලේ ආන්ඩු changes මිස system changes නොවේය. ඉතින් මේ තත්ත්වයට අපිත් වැරැදිය. ඒ වැරැදි වල ආදීනව, අවුරුදු 74කට පසු, ලීදේ අඩියටම වැටී, අද අපි විදිනවාය. ගොඩ එන ක්‍රමයක් ගැන තාමත් හිතනවාය. ඒත් තාමත් අපි ඉන්නේ හරි පාරේද, වැරදි පාරේද කියා කවුරැත් දන්නේ නැත.

ඉතින්, හැමෝම එන්න, අපි වසන්ත සිහිනයෙන් ඔද්දල්වී ආරාජිකත්ව වැලද ගමු…!

Leave a Reply

Your email address will not be published.