COLUMN

වහාබ් අන්තවාදී උවදුර කල්තියා පෙන්වා දුන් වරදට අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික මුස්ලිම් සාන්තුවරයා.

Summary

වහබ්වාදය ලංකාවට පැමිණෙන්නේ 1950 දශකයේ දී පමණ ය. ඒ වන තුරු ශ්‍රී ලංකාවේ පැවැතුනේ ආසියාතික සංස්කෘතික ලක්ෂණවලින් යුතු මුස්ලිම් සංස්කෘතියකි. අරාබිකරයෙන් ඉස්ලාම් දහම ලබා ගත්තද ඔවුන්ගේ සංස්කෘතිය තුළ ආසියානු ලක්ෂණ දක්නට ලැබිණි. අපි බුදු තෙමඟුල සමරන අයුරින් ඔවුහු මොහොමඩ් නබිතුමාගේ […]

වහබ්වාදය ලංකාවට පැමිණෙන්නේ 1950 දශකයේ දී පමණ ය. ඒ වන තුරු ශ්‍රී ලංකාවේ පැවැතුනේ ආසියාතික සංස්කෘතික ලක්ෂණවලින් යුතු මුස්ලිම් සංස්කෘතියකි. අරාබිකරයෙන් ඉස්ලාම් දහම ලබා ගත්තද ඔවුන්ගේ සංස්කෘතිය තුළ ආසියානු ලක්ෂණ දක්නට ලැබිණි.

අපි බුදු තෙමඟුල සමරන අයුරින් ඔවුහු මොහොමඩ් නබිතුමාගේ උපන්දිනය උත්සවාකාරයෙන් සැමරූහ. රබිවුල් අව්වල් මාසයේ පළමු දින දොළහ තුළ සුබහාන මව්ලුදු නම් භක්ති ගීත ගැයෙන අතර දොළොස් වැනි දිනය නබිතුමාගේ උපන්දිනය ලෙස ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමතුන් විසින් සමරනු ලැබේ. ශුද්ධ වූ කුරාණය හදාරනු ලබන දහම් පාසල් හෙවත් මද්‍රසා වල ළමයින් භක්ති ගීත කියමින් පෙරහැරෙන් ගම් පුරා සංචාරය කරනු ලැබේ. මේ ළමුන්ට ගමේ තැනින් තැන තේපැන් බිස්කට් බීම වර්ග ආදියෙන් සංග්‍රහ කරනු ලැබේ. මෙය අපේ පෙරහැර පිංකම් සහ දන්සැල් සිහිකරවන ඉස්ලාම් ආගමික සිරිතකි.

වලියුල්ලා වරු යනු අල්ලා දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදලත් සාන්තුවරු විශේෂයකි. ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය වලි යුල්ලා වරු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේගෞරවයට පාත්‍ර වේ. අපේ ගලේ බණ්ඩාර දෙවියන් හෙවත් කුරාසාන් මොහොමඩ් වලි යුල්ලා දේශීය මුස්ලිම්වරුන්ගේ ගෞරවයට පාත්‍ර වන වලියුල්ලා වරයෙකු වේ. දකුණු ඉන්දියාවේ නාගූර් සිට පැමිණි ෂාහුල් හමීඩ් වලියුල්ලා ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වන විදේශීය මුස්ලිම් සාන්තුවරයෙකි. එතුමා දකුණු ඉන්දියාවේ සැමොරින් රජුගේ සහයෝගය අපේ මායාදුන්නේ රජුට ලබා දීමට මැදිහත් වූ අයකු බව කියැවේ.

පොහෝ දින ආදී වැදගත් ආගමික උත්සව වලදී ධජ පතාක වලින් සැරසිලි කරන්නාක් මෙන් ශ්‍රී ලාංකික මුස්ලිම්වරු ද කොඩි උත්සව පවත්වා මේ ශාන්තුවරයින්ට ගෞරව කරනු ලැබේ. ඒ කොඩි උත්සව සඳහා සැකසෙන “මිනාරාවන්” ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විදහාපායි.

ශාන්තුවරයින්ගේ සොහොන් ෂියාරම් නම් වන අතර සාම්ප්‍රදායික මුස්ලිම්වරු ඒවාට වාර්ෂිකව ගෞරව දක්වති. ඒ උත්සවවලදී කන්තූරි නම් දානයක් පවත්වනු ලැබේ. මේවාට ප්‍රදේශවාසි සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාම සහ සම්බන්ධ වීම දක්නට ලැබේ. බේරුවල, කූරගල, කල්මුණේ කඩකර, මාතර පෝරුවේ යන මුස්ලිම් පල්ලි වල පැවැත්වෙන වාර්ෂික කන්තූරි උත්සව ඒවායින් කීපයකි.

තම මිය ගිය සමීප ඥාති වරුන්ට පින් පැමිණවීම සිංහල බෞද්ධ චාරිත්‍රයකි. එවැනි චාරිත්‍රයක් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු අතර ද තිබේ. ඒ කත්තම් දානයයි. කෙනෙකු මිය ගොස් වර්ෂ 3කින් වර්ෂ 7 කින් වර්ෂ 10 කින් සහ 40කින් මේ කත්තම් දානය දෙන ඔවුන් ඉන්පසුව වාර්ෂිකව දන් දී මියගිය ඤාතියාට අල්ලා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරති.

එදිනෙදා ජීවිතයේ යෙදෙන උපන්දින, දරු ප්‍රසූතිය, ගෙවැදීම, විදේශ ගතවීම, පළමු වැටුප ලැබීම ආදී අවස්ථාවලදී ෆාතිහා නම් ආශිර්වාද පින්කම් පැවැත්වීම ඔවුන්ගේ තවත් වැදගත් ආගමික චාරිත්‍රයකි. කෑම බීම වලින් අසල්වාසීන්ට සංග්‍රහ කර අල්ලා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීම “ෆාතිහා” මඟින් බලාපොරොත්තු වේ.

ෆාතිහා අතර “තලෙයි ෆාතිහා” නම් විශේෂ චාරිත්‍රයක් ඔවුන් අතර වෙයි. දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ගැබිනි මව්වරුන්ට දෙවියන්ගේ ආශිර්වාදය පතමින් නබිතුමාගේ දියණිය වන පාතිමාතුමියට ට බැති ගී ගැයීම මෙහිදී සිදුවේ. මවට අවශ්‍ය ආහාරපාන ඇඳුම් පැළඳුම් රන් භාණ්ඩ ආදි ත්‍යාග ලබා දීමද මෙහිදී සිදු කෙරේ.

මජ්ලිස් ගායනා කරන ස්ථානවල තබනු ලබන ආහාර සහ පැන් පරිභෝග කිරීමට දේශීය සම්ප්‍රදායට අයත් මුස්ලිම්වරු ඉමහත් කැමැත්තක් දක්වති.පකීර් වරුන්ගේ බයිත් ගායනා හෙවත් ඉස්ලාම් බැති ගී සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ පොල් අඩි, චීනඩි, සිලම්බු අඩි ආදී ලී කෙළි සංදර්ශන දේශීය ඉස්ලාම් සංස්කෘතියේ අලංකාර ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.

සුෆිවරු යනු ඉස්ලාම් ආගමේ දැක්වෙන භාවනා අනුගමනය කරන මුස්ලිම් නිකායකි.
ශ්‍රී ලංකාවේ වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම්වරු මෙන්ම සවුදි අරාබියානු හෙවත් වහාබ්වාදී මුස්ලිම්වරු යන දෙපිරිසම හජ් උත්සවය සහ උපවාස උත්සවය සමරති. වහබ්වාදී න් ගේ අදහස වන්නේ මේ උත්සව දෙක හැර ඉහත කී සියලු උත්සව සහ චාරිත්‍ර බැහැර කළ යුතු බවයි. ඔවුන් අනුගමනය කරන්නේ සවුදි අරාබියානු වහබ්වාදී සංස්කෘතිය වන අතර ආසියාතික සංස්කෘතික ලක්ෂණවලින් යුතු සාම්ප්‍රදායක මුස්ලිම් සංස්කෘතියට ඔවුහු දැඩි ලෙස විරුද්ධ වෙති.

1970 වසරේ පමණ සිට වහබ්වාදි උවදුරේ භයානක අනාගත ප්‍රතිඵල ගැන අවබෝධයකින් කටයුතු කළ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් නායකයකු ගැන මට අසන්නට ලැබිණි. එතුමා වන්නේ සම්සූල් උලමා, සේහුනා ඒ.අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජී තුමාය. වසර 26 ක තරුණයකු වශයෙන් එතුමා 1970 වේදී පමණ වහබ්වාදයට එරෙහි ව දේශනා පැවැත්වීම ද පටන් ගත්තේය.

1979 දී ජමියතුල් උලමා සංවිධානය විසින් එතුමාට මුස්ලිම් ආගම හැර ගිය අයෙකු බව දැක්වෙන ෆැට්වා ආඥාවක් පනවනු ලැබිණි. එතුමා මුරුතද් හෙවත් ඉස්ලාම් ආගම හැර ගිය අයෙකු බවත් එතුමාගේ අනුගාමිකයන් ද මුරුතද්වරුන් බවත් මේ ආඥාව මඟින් ප්‍රකාශ කෙරිණි. දැනට මෙරට වහබ්වාදී ඉස්ලාම් ධර්මය ඉගැන්වෙන පෙළ පොත්වලට අනුව මුරුතද්වරු යනු මරාදැමිය යුත්තෝ වෙති.

කිසිදු පල්ලියකට ගොස් දේශන පැවැත්වීම මින් පසුව එතුමාට තහනම් විය. ඊට පසුව මේ වහබ්වාදී අනතුර ගැන දේශන පැවැත්වීම සඳහා එතුමාගේ ශිෂ්‍යයෙකු වූ පාරුක් මවුලවි තුමා කටයුතු කරනු ලැබිණි. වර්ෂ 1998 දී එක් දිනෙක ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර එතුමාව ඝාතනය කර දැමීමට ප්‍රදේශයේ වහබ්වාදී අන්තවාදීහු කටයුතු කළහ. 2004 දී සහ 2006 දී අබ්දුල් රවුෆ් තුමාව ද ඝාතනය කිරීමට තැත් කළ අතර එතුමාගේ අනුගාමිකයන්ට ද පහර දෙන ලදී.

අබ්දුල්ලා ෆයිල්වාන් තුමා මවුලවි වරයෙකු නොවුනත් සුෆි භාවනා අනුගමනය කළ තවත් සාම්ප්‍රදායික මුස්ලිම් නායකයෙකි. එතුමා වාසය කළේ කල්මුණේ අසල මරුඳමුනේ නම් ග්‍රාමයේ ය. එතුමාගේ මරණින් පසු එතුමාගේ මෘත ශරීරය කාතන්කුඩි ප්‍රදේශයේ භූමිදානය කර ස්මාරකයක් ද තැනවීමට එතුමාගේ අනුගාමිකයන් විසින් කටයුතු කරන ලදී. සවුදි අරාබියානු වහබ්වාදී සංස්කෘතිය අනුගමනය කරන අන්තවාදී මූලධර්මවාදීහු ඊට එරෙහි වූහ. අබ්දුල්ලා තුමාගේ වළ දැමුණු දේහය නැවත ගොඩ ගත් ඔවුහු ඊට මුත්‍රා කර පාර දිගේ ඇදගෙන ගොස් ගිනි තබා විනාශ කළහ.එතුමාගේ බැතිමතුන් ගේ නිවාස සියයක් පමණ කුඩුපට්ටම් කර දැමීමට ද මේ අන්තවාදියෝ කටයුතු කළහ. මේ කාලය, ශ්‍රී ලංකා රජය කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව උතුරේත් නැගෙනහිරත් සටන්වැදී සිටි කාලයයි. එබැවින් කාතන්කුඩියේ සහ නැගෙනහිර පළාතේ වෙසෙන මේ වහබ්වාදි අන්තවාදී ක්‍රියාකාරකම් ගැන රජයේ අවධානය යොමු වන්නට ඇත්තේ ඉතා අඩුවෙනි.

දැනට පහළොස් දහසක් පමණ වන කාතන්කුඩියේ වෙසෙන මේ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් නායකයාට සහ ඔහුගේ බැතිමතුන්ට දිගින් දිගටම අන්තවාදීන්ගේ බාධක, හිරිහැර සහ වෙනස්කොට සැලකීම් වලට මුහුණ දීමට සිදුව තිබේ. ඔවුන්ට සිදු වන හිරිහැර බාධක ගැන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල තබා ශ්‍රී ලංකා රජයේ වත් අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි.

අන්තවාදීන් ගේ දඬු අඬුවට හසුවී සිටින ඔවුන්ට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වලින් ද කිසිම පිහිටක් මෙතෙක් ලැබී නැත. ආරක්ෂක අංශවලට අනුව එය මුස්ලිම් සමාජයේ අභ්‍යන්තර ගැටලුවක් වන අතර එය ඔවුන්ම විසඳාගත යුතුය. සහරාන් හෂීම්ට එරෙහිව ප්‍රදේශයේ මුස්ලිම්වරු විසින් කරන ලද පැමිණිලි අනු ගණන ගැන ප්‍රමාණවත් විමර්ශන කටයුත්තක් කාතන්කුඩි පොලීසිය මගින් සිදු කර නැත.

මේ නොසලකා හැරීමේ සහ නිවට බවේ ප්‍රතිඵල පාස්කු ප්‍රහාරය ලෙස රටටම දැකගන්නට ලැබිණි. පාස්කු ප්‍රහාරයෙන් පසු වහබ්වාදී සංවිධාන කීපයක් තහනම් කිරීමට රජය කටයුතු කළේය. එහෙත් දැන් වෙනත් සංවිධාන හරහා වහාබ්වාදය යහමින් ක්‍රියාත්මක වන බව බලධාරීන් දැනුවත් දැයි මම නොදනිමි. අනාගත ව්‍යසනයක් කරා රට ගෙන යන වහබ්වාදය තහනම් කර දැමීමට රජය වහාම පියවර ගත යුතුය.

වහබ්වාදී අන්තවාදීන් දැනට කටයුතු කරන්නේ නිහඬ සහ සැඟවුණු ස්වභාවයකිනි. ඔවුන් නැවත අළු ගසා බසා දමා නැගිටින්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන වැනි නිවට පාලකයන් නායකයත්වයට පත් වූ විට ය.

සාම්ප්‍රදායික සුපි මුස්ලිම්වරුන්ට එරෙහිව මේ කෲරකම් සිදු කරනු ලබන්නේ කාතන්කුඩියේ මුස්ලිම් පල්ලි සම්මේලනයයි. ඔවුහු නිල නොවන ලෙස කාතන්කුඩි නගරය තවමත් පාලනය කරති. ප්‍රදේශයේ පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා සිටින්නේ ඔවුන්ගේ අණසකට සහ වරදාන වලට යටත්ව බව කියැවේ.

මෙවන් තත්ත්වයක් තුළ එහි සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන්ගේ තත්ත්වය ඛේදනීය වන බව මෙරට වාසී සියලු දෙනා සිතට ගත යුතුය. අබ්දුල් රවුෆ් මවුලවිතුමා දැන් වයෝවෘද්ධයකු වන නමුත් තවමත් ඉතා ජවයකින් අන්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියි. “වාන්මරෙයි මාරුක්කුම් වහාබිසම්(ශුද්ධ වූ අල් කුර්ආනය මගින් ප්‍රතික්ෂේප කෙරෙන වහබ්වාදය) නම් කෘතිය එතුමා විසින් මෑතක දී රචනා කරන ලදී. අවුරුදු 26ක තරුණයෙකු ලෙස වහබ්වාදී මූලධර්ම වාදයට එරෙහිව සටන් වැදුණු මේ ඉස්ලාම් අධ්‍යාත්මික නායකයා තවමත් සටන අතහැර නැත. එහෙත් ඔහුගේ සහ ඔහුගේ බැතිමතුන්ගේ මේ ධෛර්යයට වටිනාකමක් ශ්‍රී ලංකා රජයේ සහ රට වැසියන් වන අප මෙතෙක් ලබා දී නැති බව පැහැදිලිය.

ශ්‍රී ලංකා රජය වහාම මේ අන්තවාදී මූලධර්මවාදය නවතා දැමීමට කටයුතු කළ යුතු වන අතර ආරක්ෂක හා රාජ්‍ය බුද්ධි අංශවල අවධානය මේ සඳහා යොමු කළ යුතු වේ. සෞදි අරාබියානු සංස්කෘතිය මෙරට පතුරුවන කාතන්කුඩියේ මුස්ලිම් පල්ලි සම්මේලනය සහ ඔවුන්ට ඒ සඳහා උදව් උපකාර කරන ශ්‍රී ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් අබ්දුල් රවුෆ් මවුලවිතුමා ට එරෙහිව පනවා තිබෙන මුලධර්මවාදී ආඥාව ගැන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ඒවා ඉල්ලා අස්කර ගැනීමට රජය විසින් බල කළ යුතු වේ.

රජයේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල අන්තවාදීන් ස්ථානගත වී ඇත්නම් ඒ ගැන ද සොයා බලා ඉක්මන් පිළියම් යෙදීමට ද රජය කටයුතු කළ යුතුය. අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරීම සහ නුදුටුවා සේ කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට මුල්තැනක් දෙන රජයකට යුතු නොවේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක වෙනුවෙන් රටේ අනාගතය පාවා දෙන රජයේ මැති ඇමතිවරු ගැන ජනතාව මීට වඩා අවධානයෙන් සිටිය යුතුය.

සෞදි අරාබියානු වහබ්වාදයට උල්පන්දම් දෙන මුස්ලිම් අන්තවාදී දේශපාලනඥයන්ගේ සහයෝගය, මේ රජයට අවශ්‍ය නැත. වසර දහස් ගණනකට වැඩි කාලයක සිට අප සමඟ එකට දුක සැප බෙදා ගත් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ගේ සහ ඔවුන්ගේ සංස්කෘතියේ ආරක්ෂාව සහතික කිරීම අනාගත සාමකාමී ශ්‍රී ලංකාවක් සඳහා මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.

One thought on “වහාබ් අන්තවාදී උවදුර කල්තියා පෙන්වා දුන් වරදට අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික මුස්ලිම් සාන්තුවරයා.
Leave a Reply

Your email address will not be published.