Opinion

වැරැද්ද දැනුමෙවත් අරක්කුවලවත් නෙමෙයි පැටලිල්ලෙ.

Summary

අපි හැම දෙයක් ම කියනවා. ඒත් අපි නොකියන දෙයක් තියෙනවා. ඒක තමයි නූල් බෝලේ කතාව.

මේක නූල් බෝලයක් වගේ පැටලිච්ච සමාජයක්. අපේ සෑම ආත්මාර්ථකාමී ක්‍රියාවක් ම අප ව නූල් බෝලයේ තවත් පටලවනවා. නූල් බෝලය ඇතුළෙ සිටිමින් අප කරන සෑම ප්‍රකාශයක් ම පැටලිල්ල තවත් වැඩිකරනවා.

අප පැටලුනේ දන්නෙ නැතිව. ඒත් පැටලුනාට පස්සෙ අපි දන්නවා පැටලිලා කියලා. ඒත් අපි ඒක කියන්නෙ නෑ. ඒ නිසා පැටලිල්ල තවත් වැඩි වෙනවා. තවත් අය පැටලෙනවා.

‘අපි පැටලිලා ඉන්නෙ. එන්න එපා’ කිව්වා නම් තවත් අය එන්නෙ නෑ. ඒත් අපි කියන්නෙ නෑ. පැටලුනේ නෑ වගේ ඉන්නවා. ඉන්න හදනවා.

තවත් අය එනවා. පැටලෙනවා. පැටලුනේ නෑ වගේ ඉන්නවා. අන්තිමට ඔක්කොම නූල් බෝලෙ ඇතුළෙ. ලෙහන්න කවුරුවත් නෑ.

අපේ සෑම ක්‍රියාවකින් ම, ප්‍රකාශයකින් ම පැටලීම තවත් වැඩිවෙනවා. අපි හිර වෙනවා. ඒත් අපි පැටලිලා නෑ වගේ ඉන්නවා. එතකොට තවත් හිර වෙනවා.

අපි හැම දෙයක් ම කියනවා. ඒත් අපි නොකියන දෙයක් තියෙනවා. ඒක තමයි නූල් බෝලේ කතාව. ඒ නිසා මේ පැටලිල්ල කවදාවත් ලෙහෙන්නෙ නෑ. ඒ වෙනුවට වැඩි වෙනවා. අද තියෙන්නෙ ඒ වගේ සමාජයක්.

මට උදාහරණ දෙන්න පුලූවන්. ඒත් ඒ උදාහරණ දීමෙන් ප්‍රශ්නය ලෙහෙන්නෙ නෑ. තවත් වැඩිවෙනවා. ඒ නිසා තමා නූල් බෝලය තුළ දකින්න උත්සාහ කරන්න.

අප පටලා ගත්තෙ අපේ වාසියට. අප පැටලුණේ අපේ වාසියට ඒක හේතුවෙයි කියලා හිතලා. ඒත් වුණ එකම වාසිය තවත් හිරවිල්ල. මේ හිරවිල්ල තවතවත් වැඩි වෙනවා. අපට ඒක දැනෙනවා. ඒ නිසා ම ඒක කියන්නෙ නෑ. කියන්න ඕනැ ම දේ අපි කියන්නෙ නෑ. අනිත් ඔක්කොම කියනවා.

අනිත් අතට අපි මෙහෙමත් හිතනවා. පටලවලා පටලවලා අපි පැටලෙන්නෙ නැතිව ඉන්න පුලුවන් වාගේ. ඒත් නූල් බෝලයක් ඇතුළෙ ඒක බෑ. ඒක දැනගන්න සමාජවාදය හරි සාපේක්ෂතාවාදය හරි ඉගෙනගෙන ඉන්න ඕනැ නෑ.

පැටලුණු නූල් බෝලෙන් ගැලවෙන්න බැරි නිසා හරි ගැලවෙන්න හිතන්නෙ නැති නිසා හරි අපි දැනුම කියලා හිතන්නෙ නූල් බෝලය අපට නොපෙනීමට සලස්වන දේවල්. ඒ නිසා අපි ඒ දැනුම තව තවත් රැස් කරනවා. මේ රැස්කිරීම ඇතුළෙ අපට නූල් බෝලෙ නොපෙනී යන්නෙ නෑ. නූල් බෝලේ නැතිව යන්නෙ නෑ. ඒත් තාවකාලිකව නොපෙනී යාමක් සිදුවෙනවා. හරියට අරක්කු බිව්වා වගේ. දැනුම කියන්නෙ අපිට අරක්කු. අරක්කුත් අරක්කු. දැනුමත් අරක්කු.

මේ කියන්නෙ සුරාමේරය කියන එක නෙමෙයි. නූල් බෝලය ඇතුළෙ දැනුමෙන්වත් අරක්කුවලින් ලැබිය යුතු ප්‍රයෝජනය අහිමිවෙලා තියෙන බව පමණයි. වැරැද්ද දැනුමෙවත් අරක්කුවලවත් නෙමෙයි පැටලිල්ලෙ.

මං මේ කියන්නෙ සංසාර නූල් බොලේ නෙමෙයි. අපේ දිවයින කියන නූල් බෝලේ ගැන. ඒක පටලගන්නත් එපා.

මේක දැන් මටත් පැටලෙනවා. නැත්නම් තවත් පටලවනවා. ඒ නිසා නවත්වනවා. කොහොම හරි මට අන්තිමට කියන්න ඕනැ ඒ වගේ පෙන්නුවට මේ රටේ උගත්තු වියත්තු කලාකාරයෝ නෑ. ඔක්කොම පැටලිච්ච අය. ගෝටා මහත්තයා නාමල් මහත්තයා වුණත් එහෙමයි කියන්න යාමෙන් මේක තවත් පටලැවෙනවා. චම්පික කොච්චර පැටලිලා ද ඉන්නෙ කියන එක හිතාගන්නත් බැරි තරම්. පැටලීම නවත්තන්න කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. තිත. නැවතීමේ තිත..

Leave a Reply

Your email address will not be published.