Opinion

වික්ටර් ගැන නො ලියමි!

Summary

අද අපි කරන්න ඕන මේ පිල්ලිවලට දොස් කිය කියා ඉන්න එක නෙවෙයි.

  • Save

රත්නායක ආරච්චිලාගේ වික්ටර් ගැන සෑහෙන පිරිසක් ලිව්වා. ඉතින් එතුමා ගැන ලියන්න අදහසක් මට නෑ.

වයසට යද්දි මිනිස්සු දුර්වල වෙනවා. ඒක අපි කාටත් පොදු දෙයක්. ලෙඩෙක් මහල්ලෙක්, මළ මිනියක් ගැන අපි ඇහුවේ පුංචි ම පුංචි කාලේ. ඒත් පොඩි දවස්වල අහපු මේ කතා ගැන වැඩි අවබෝධයක් අපිට තිබුණේ නෑ.

හතර වටේ ම මිනිස්සු වයසට යනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. ඒත් තමන්ගේ එවුන් වයසට යන කල්, තමන්ගේ එවුන් ලෙඩ වෙන කල්, තමන්ගේ එවුන් මැරෙන කල් අපිට මේ දේවල් දුකක් කියලා ඒත්තු යන්නේ නෑ. වනවාටු රටේ ඉන්න එකෙක් මැරුණාම අපිට තියෙන අමාරුව මොකක් ද? අපිට රිදෙන්න නම් අපේ ම එකෙක්ට හානියක් වෙන්න ඕන. අන්තිමට මරණයේ දුක අපි තේරුම් ගන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමත් (පියෙහි විප්පයොගයත්) එක්ක.

අපේ අම්මලා තාත්තලා වයසට යනවා දකිද්දි, ඒ අය ලෙඩ වෙනවා දකිද්දි, ඒ අය අපෙන් ඈත් වෙලා යද්දි අපිට මේ ඇත්ත සහ දුක ප්‍රායෝගිකව ම දැනෙනවා. ඊට අමතරව, අපෙත් අතන මෙතැන රිදෙන්න පටන් ගන්නවා. ඉස්සර කරපු කෙළි දැන් කරන්න බෑ කියලා අපිට තේරෙනවා.

වයසට යන එක, ඒත් එක්කම දුර්වල වෙන එක, අන්තිමට මැරෙන එක ආපහු හරවන්න දෙවියන්වහන්සේට තියා උන්වහන්සේගේ දෙවියන්වහන්සේටත් බෑ. ඒත් පොඩි මානසික උත්ප්‍රේරණවලින් යම් යම් තාවකාලික පිබිදවීම් ඇති කරන්න බැරිකමක් නෑ. මේ කාරණය මැදි වයසේ ඉන්න, අත්දැකීම් තියෙන අපිට හොඳින් තේරෙනවා. ඒත් හුඟක් වයසට ගියාම මේවා තේරුම් ගැනීමේ සිහිකල්පනාව අපිට නැති වෙනවා. වයසට ගියාට පස්සේ ඉලන්දාරි කාලේ කරපු කෙළි කරන්න අපිට හිතෙන්න පුළුවන්. “ඒ, මොන තරම් සුන්දර කාලයක් ද” කියලා අපි හීන මවන්නත් පුළුවන්.

ඉතින් අවුරුදු 70 – 75 පැන්නාම (ඒ තරම් කල් ජීවත් වුනොත්) මම වුනත් එහෙම හීන දකින්න ඉඩක් තියෙනවා. “වයසක අය හරියට පොඩි ළමයි වගේ” කියලා කතාවකුත් අපි අතර තියෙනවා.
කොහොම වුනත් මම මේ ලියන්නේ වික්ටර් ගැන නෙවෙයි.

මට ඕන අපේ ගම්වල ඉන්න වැඩිහිටියෝ ගැන ලියන්න. කඩුගන්නාවේ ඉපැදුණත් වික්ටර් ජීවත් වුනේ කොළඹ. වික්ටර්ගේ ළමයි ඉන්න ඇත්තෙත් කොළඹ. මේ ගැන දැනුමක් මට නෑ. මම අපේ ගම්වල වැඩිහිටියෝ ගැන ලියන්නම්.

අපි ඉගෙන ගෙන, ලොකු මහත් වෙලා ගමෙන් පිටට යනවා. හොඳ, ඉහළ රස්සා තියෙන්නේ නගරයේ. හොඳ ම සුපිරි රස්සා තියෙන්නේ කොළඹ. ඊටත් වඩා හොඳ ජීවිතයක් හොයා ගන්න නම් ඉතින් ඕස්ට්‍රේලියාවට, කැනඩාවට යන්න ඕන. පුළුවන්කමක් තියෙනවා නම් ඇමෙරිකාවට යන්න ඕන. මේ තමයි අපිට අත්පත් කරගන්න පුළුවන් ලොකු ම ජයග්‍රහණය.

අපි මේ විදිහෙ ජයග්‍රහණ ලබද්දි අපේ අම්මලා තාත්තලා ගම්වල තනි වෙනවා. කොළඹ කිට්ටුව පර්චර් හය – හතේ ඉඩම්වල ඒ අයට ජීවත් වෙන්න අමාරුයි. ඊට අමතරව, ජීවිත කාලයක් හම්බ කරගත්ත ඉඩම් කඩම් ටික රැකලා දරුවෝ, මුණුබුරාලා වෙනුවෙන් රැකලා දෙන වගකීමත් ඒ අය පවරා ගන්නවා. හයිය හත්තිය තියෙද්දි මාසයකට සැරයක්වත් දුවලා පුතාලාගේ ගෙවල්වලට පොල් ටිකක්, වත්තේ හැදෙන මොනවා හරි දෙයක් කරපින්නගෙන යන එකත් ඒ අය කරනවා. ඒත් තවත් වයසට යද්දි (70 පනිද්දි) ඒවා කරන්න බැරි වෙනවා.

අම්මලා තාත්තලාට අවුරුදු හැත්තෑව පනිද්දි දරුවෝ හතළිහෙ සීමාව පන්නනවා. ඒ වෙද්දි දරුවන්ට තියෙන වගකීම් මෙච්චරයි කියලා කියන්න බෑ. අපි ඒ විදිහට මැදි වයසට එද්දි තමයි අපේ ළමයි ඇටෙන් පොත්තෙන් එළියට එන්න පටන් ගන්නේ. ඉතින් කොච්චර ලොකු ඉස්කෝලවලට දාලා තිබුණත් ළමයි ටියුෂන්වලට යවන්න අපිට සිද්ද වෙනවා. ඉතින් ඒ අය පංති යවන වගකීම, ආපහු එක්කර ගෙන එන වගකීම දෙමව්පියන්ට පැවරෙනවා. සති අන්තයේ පවා ළමයින්ට ටියුෂන් තියෙනවා.

ඒ මදිවට ඔෆිස්වල ඉහළට යන්න ලැබෙන්නෙත් ඒ කාලේ දී. ඉතින් වැඩක් තිබුණත් නැතත් හැම දා ම ඔෆිස් යන්න වෙනවා. වෙලාවට කලින් ඔෆිස් එකට ගිහිල්ලා ටිකක් පහුවෙලා ගෙදර එන්න පුළුවන් නම් තමයි ලොක්කෝ සතුටු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කළාම අනිත් අයට තරගයක් දෙන්නත් ලේසියි. අවංකව වැඩ කළත් ගැලැවීමක් ලැබෙන්නේ නෑ. අනිත් එවුන් කරන (ඇත්තෙන්ම නො කරන) වැඩ ගොඩ දාන්න අපිට සිද්ද වෙන්නෙත් මේ කාලෙට. ඉතින් ඔෆිස්වල ඉහළින් ඉන්න එවුන්ගේ විතරක් නෙවෙයි පහළින් ඉන්න එවුන් කරන කඩප්පුලි වැඩවල බර කර ගහන්න වෙන්නෙත් මේ කාලෙට. ඉහළ ඉන්න එවුන් වැඩ පවරනවා. පහළ ඉන්න එවුන් වැඩ අල කරනවා.

මේ හැම දෙයක් ම කළාම මහ ගෙදර ගිහිල්ලා අම්මා තාත්තා බලන්න වෙලාවක් හොයා ගන්නේ කොහොම ද? මුලින් ම දුර්වල වෙන්නේ තාත්තා. ඉතින් තාත්තා බලා ගන්න වැඩේ අම්මා කරනවා. අම්මාත් දුර්වල වුනොත්? එකම විසඳුම වැඩට කෙනෙක් හොයලා දෙන එක. ඒත් ගෙවල්වල වැඩට යන්න අපේ සිංහල මිනිස්සු කැමැති නෑ. අරාබියේ ගිහිල්ලා නම් එළුවෝ මරන්න වුනත් අපිට පුළුවන්. ඒත් හිත හදාගෙන ලංකාවේ ගෙදරක වැඩට යන්න පුළුවන් කාට ද? ඉතින් අන්තිමට වැඩට කෙනෙක් හොයා ගන්න පුළුවන් වෙන්නේ නුවරඑළිය, කඳපොළ පැත්තෙන්. ඒත් උනුත් දැන් සෑහෙන්න සිංහල වෙලා!

දෙමව්පියෝ ගම්වල තනිවෙලා. අපේ මේ සංස්කෘතිය ඇතුළේ ඒ අයව වැඩිහිටි නිවාසයකට යවන්නත් බෑ. ඉතින් මොනවා කියලා කරන්න ද? එක පැත්තකින් ළමයි. තව පැත්තකින් ඔෆිස් එක. අනිත් පැත්තෙන් දෙමව්පියෝ. මේ තමයි අපේ මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙන කාලය.

මේ ප්‍රශ්නය විසඳගන්න ක්‍රමයක් නැද්ද? මට හිතෙන විදිහට නම් මේකට අදාළ යම් විසඳුමක් අපිට හොයා ගන්න පුළුවන්. මේ විකෘති පාලන ක්‍රමය වෙනස් කරනවා නම් මේ ප්‍රශ්නය මුළුමනින්ම වුනත් විසඳන්න පුළුවන්. ඒත් ඉතින් ඒක කවදා සිද්ද වෙන දෙයක් ද?

මේ ක්‍රමය ඇතුළේ මේක විසඳගන්නේ කොහොම ද? ගම්වල වැඩිහිටි ක්‍රියාකාරකම් මධ්‍යස්ථාන හදලා මේ අවුල යම් ප්‍රමාණයකට විසඳන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒවා එක්තරා ආකාරයක ඩේ-කෙයාර් සෙන්ටර්. වැඩිහිටි අයට පුළුවන් මේ මධ්‍යස්ථානවල දවල් දවස ගත කරන්න. ඒ තැන්වලට ඇවිල්ලා අනිත් වැඩිහිටි අයත් එක්ක එකතු වෙලා පරණ පම්පෝරි හරි දරුවෝ ගැන පම්පෝරි හරි කියවන්න ඒ අයට පුළුවන්. දාම් අතක් ඇදලා, කැරම් ගහලා, පත්තරයක් බලලා, රූපවාහිනියෙන් බණ ටිකක් අහලා, තේ – කෝපි ටිකක් බීලා ආපහු ගෙදර යන්න ඒ අයට පුළුවන්.

මෙහෙම මධ්‍යස්ථාන හදනවා නම් ඒ වෙනුවෙන් මාසික ගාස්තුවක් ගෙවන්න දරුවන්ට බැරිකමක් නෑ. වෙලාව නැතත් ඒ අයට සල්ලි ටිකක් තියෙනවා. ඉතින් මෙහෙම වැඩක් වෙනුවෙන් අවශ්‍ය පාලන, කළමනාකරණ වියදම් දරන්න ඒ අයට බැරිකමක් නෑ.

අපේ බෞද්ධ සමාජය මේ ගැන හිතන්න ඕන. එහෙම නොවුනොත් අපේ ගම්වල තියෙන මේ හිල අස්සෙනුත් බෝර්න් අගේන්කාරයෝ රිංගන්න බැරිකමක් නෑ. ඒ වගේ ම, නගරවලට වෙලා දුක් විඳින දරුවෝ වුනත් එහෙම උගුල්වලට අහුවෙන්න ඉඩක් තියෙනවා.

අද අපි කරන්න ඕන මේ පිල්ලිවලට දොස් කිය කියා ඉන්න එක නෙවෙයි. පුළුවන් තරමින් මොකක් හරි ප්‍රායෝගික වැඩක් කරලා මේ ප්‍රශ්නයේ බරපතලකම සමහන් කරගන්න අපි උත්සාහ කරන්න ඕන. වික්ටර්ටයි, බෝර්න් අගේන්ලාටයි බනින්න වැය කරන වෙලාවෙන් ටිකක් හරි කැප කරලා මේ ගැනත් හිතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap