Opinion

විග්නේෂ්වරන්ට පිළිතුරක් 3 – මෙගලිතික සුසානවල දෙමළ කර්තෘත්වය පිළිබද ගැටලූ

Summary

ලංකාවේ පූර්ව ඓතිහාසික සුසාන සංස්කෘතියට අදාළ එක් නිරීක්ෂණයක් නම් එය සුලූ වශයෙන් විවිධාංගීකරණය වූත්, බහුල වශයෙන් මංජුසා සුසාන ක‍්‍රමයට ආකර්ෂණය වූත් එකක් බවයි.
මේ රුචිකත්වය දකුණු ඉන්දීය දෙමළ ජනයා කෙරෙන් ප‍්‍රකට වේ ද? ඊනියා දෙමළ ඊළාම්වාදීන් පවසන පරිදි දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වූ දෙමළ ජනයා විසින් මේ සංස්කෘතිය හදුන්වා දෙන ලද නම් මෙරටට පැමිණි වහා ම ඔවුන්ගේ රුචිකත්වය පරිවර්තනයකට ලක් වූයේ කෙසේ ද? මේවාට පිළිතුරු දීම සදහා විග්නේෂ්වරන්ලාට බොහෝ කාලයක් වැය කිරිමට සිදුවනු ඇත.

kantharodai

ලංකාවේ මධ්‍යශිලා අවධිය පිලිබද මෑතකාලීන සාදක ක‍්‍රි. පූ. 1800ට අයත් වන අතර, මෙගලිතික සුසාන සහිත පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භය ක‍්‍රි. පූ. 900 පමණ වෙතැ යි පිළිගැනුණි.

ඒ අනුව මධ්‍යශිලා අවධියේ ඉහළ කාල සීමාව හා පූර්ව ඓතිහාසික සමයේ පහළ කාල සීමාව අතර පවත්නා කාල පරතරය වසර නවසියයක් පමණ වූවකි. පරිවර්තන අවධියේ හැඩගැසීම සම්බන්ධයෙන් තීරණාත්මක වූ මෙම කාල වකවානුව පිළිබද පසුගිය වසර කිහිපයේ දී රාජ් සෝමදේවගේ මූලිකත්වයෙන් පර්යේෂණ සිදු කෙරුණු අතර මෙරට යකඩ භාවිත මුල් කාල සීමාව ක‍්‍රි. පූ. 1350 පමණට අයත් වන සාධක ඔවුන් විසින් අනාවරණය කර ගන්නා ලදැ යි පැවසේ. ආසන්න භූ ඛණ්ඩයේ යකඩ භාවිත ආරම්භක කාලය ක‍්‍රි. පූ. 1200 සේ සලකන විට මෙකී සොයාගැනීම් මෙරට සංස්කෘතික ගතිකත්වය පිළිබද නව මානයන් පිළිබිඹු කරන්නකි. කෙසේ වෙතත් එකී අනාවරණ ප‍්‍රමාණවත් තරමින් පොදු සමාජ කතිකාවකට ලක්ව නැත.

මේ පර්යේෂණවලට කලකට පෙර, අනාගතයේ දී සිදු කරනු ලබන වැඩිදුර පර්යේෂණවලින් ශ‍්‍රී ලංකාව පූර්ව ඓතිහාසික මුල් යකඩ යුගයේ දැනට නිර්ණය වී ඇති කාල සීමාව දකුණු ඉන්දියාවට සමානව ඈත කාලයකට ගමන් කිරීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇතැයි දැරණියගල අනුමාන කර තිබිණි. මේ සාධකවලට අනුව මෙගලිතික සංස්කෘතිය දෙමළකරණය කළවුන්ට තවත් කාර්යභාරයක් පැවරේ. එනම්, ක‍්‍රි. පූ. 1350 හෝ 2400 පමණේ දී දකුණු ඉන්දියාවේ සුසාන සංස්කෘතියක් නිර්මාණය කර පැවැති බව සනාථ කර පෙන්වීම ය. එමෙන් ම එවක එහි විසූ ජනයා දෙමළ වූ බව හා දෙමළ භාෂාව කථා කළ බව සනාථ කර පෙන්වීම ය.

ලංකාවේ විසූ සංස්කෘතික පිරිස් ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ ඉතිහාසය සහශ‍්‍ර හතරකට වඩා පැරණි විය හැකි ය. සිරාන් දැරණියගල ක‍්‍රි. පූ. 02 සහශ‍්‍රයේ ඊජිප්තුවේ පාරාවෝ රාජ්‍යයට ගම්මිරිස් ගෙන ඒමට ඇත්තේ ඉන්දියාවේ කේරළයෙන් හෝ ශ‍්‍රී ලංකාව හෝ ගිනිකොන දිග ආසියාවෙන් බව අනුමාන කරමින්, දිවයිනේ වයඹ දිග පිහිටි මුතුපර, සේරුවිල පිහිටා ඇති තඹ නිධිය සහ ගිනිකොන දිග ආසියාව අතර ඇති දුරස්ථ වෙළෙද හුවමාරුවේ දී ශ‍්‍රී ලංකාවේ මනා පිහිටීම අනුව ශ‍්‍රී ලංකාව වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් ක‍්‍රියා කිරීම අනෙකුත් සිත් ගන්නා සාධක අතර වන බව පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයක් යටතේ මෙගලිතික සුසාන සංස්කෘතිය පිළිබද සංකල්ප මෙරටට ගලා ඒමට කිසිදු බාධාවක් නොපෙනෙයි. ඒවාට දෙමළ මූලයක් ආරෝපණය කරන්නන්ට ශිලා සුසාන ඉදි කිරීම සිංහලයන්ට නුහුරු වූ බව හෝ නොහැකි වූ බව හෝ තහවුරු කිරීම කළ නොහැක්කකි.

දකුණු ඉන්දියාවේ මෙගලිතික සුසාන සංස්කෘතිය ඉතා පුළුල් විවිධත්වයක් පෙන්නුම් කරයි. එමෙන් ම ඒවා ප‍්‍රමාණයෙන් ද විශාල ය. එහෙත් යාපන අර්ධද්වීපය ද ඇතුළත්ව ලංකාවේ පූර්ව ඓතිහාසික ක්ෂේත‍්‍රවලින් හමු වී ඇති සුසාන එතරම් විවිධත්වයක් පෙන්නුම් නොකරයි. බොහෝ විට මහාශිලා යැ යි කිව නොහැකි තරමට ප‍්‍රමාණයෙන් කුඩා ය. ඉන්දියාවේ දී මෙන් නොව ලංකාවේ දී මංජුසා සුසාන ක‍්‍රමයට වැඩි ජනප‍්‍රියතාවක් හිමි වී තිබේ. තැන්පතුවල පාරිසරික විවිධත්වය හැරුණුවිට වෙනත් කිව යුතු තරමේ වෙනස්කම් හෝ අනන්‍යතා ලක්ෂණ ඒවා අතර නොදක්නා ලැබෙන තරම්ය. දකුණු ඉන්දීයාවෙන් සංක‍්‍රමණය වූ දෙමළ ජනතාව විසින් ම මෙරට සුසාන සංස්කෘතිය කරවන ලද නම් ඔවුන්ට හුරු පුරුදු විවිධත්වය හා මහාත්වය ඒවා කෙරෙහි ආදේශ නොකරන ලද්දේ කුමක් නිසා දැ යි විමසිය යුතු වෙයි. ඉතිහාසය පුරා දක්නා ලැබෙන හැඩගස්වා ගැනීමේ සම්ප‍්‍රදායය මහාශිලා සුසාන සංස්කෘතිය කෙරෙහි ද බලපවත්වන ලද බව අපට නිසැකව ම කිව හැකි ය. සංස්කෘතික අවශෝෂණය හා හැඩගස්වා ගැනීම සිංහල සංස්කෘතියේ දිගුකාලීන සුවිශේෂී ලක්ෂණයකි. බුද්ධ ප‍්‍රතිමා, ස්තූප, සදකඩපහණ හා ලෙන් විහාර ආදී වෙනත් නිර්මාණ ආදිය සම්බන්ධයෙන් වුව ද හැඩගස්වා ගැනීම හා අනන්‍යතා ගොඩනංවා ගැනීම ප‍්‍රකටව පෙන්නුම් කරයි.

ලංකාවේ පූර්ව ඓතිහාසික සුසාන සංස්කෘතියට අදාළ එක් නිරීක්ෂණයක් නම් එය සුලූ වශයෙන් විවිධාංගීකරණය වූත්, බහුල වශයෙන් මංජුසා සුසාන ක‍්‍රමයට ආකර්ෂණය වූත් එකක් බවයි.
මේ රුචිකත්වය දකුණු ඉන්දීය දෙමළ ජනයා කෙරෙන් ප‍්‍රකට වේ ද? ඊනියා දෙමළ ඊළාම්වාදීන් පවසන පරිදි දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වූ දෙමළ ජනයා විසින් මේ සංස්කෘතිය හදුන්වා දෙන ලද නම් මෙරටට පැමිණි වහා ම ඔවුන්ගේ රුචිකත්වය පරිවර්තනයකට ලක් වූයේ කෙසේ ද? මේවාට පිළිතුරු දීම සදහා විග්නේෂ්වරන්ලාට බොහෝ කාලයක් වැය කිරිමට සිදුවනු ඇත.

විග්නේෂ්වරන්ට පිළිතුරක් 2 – මෙගලිතික සුසානවල කර්තෘත්වය දෙමළකරණය කිරිම

විග්නේෂ්වරන්ට පිළිතුරක් 1 – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *